Latest Posts

ගුවන් යානයක නොනැගී ගෝලීය වෙළෙඳපොළ ජයගන්නා ශ්‍රී ලාංකිකයින්ගේ අලුත්ම ඩිජිටල් පාලම: ‘GLEC’

දශක ගණනාවක් පුරා ශ්‍රී ලංකාව මුහුණ දුන් ප්‍රධානතම ආර්ථික අභියෝගයක් වූයේ මෙරට බුද්ධිමතුන්, වෘත්තිකයන් සහ ව්‍යවසායකයින් විදෙස්ගත වීමත් සමඟ රටට අහිමි වන මානව සහ මූල්‍ය ප්‍රාග්ධනයයි. එහෙත්, ලොව පුරා විසිරී සිටින ඒ සාර්ථක ශ්‍රී ලාංකිකයින්ගේ දැනුම, අත්දැකීම් සහ ආයෝජන ශක්තිය නැවතත් මව්බිමේ ආර්ථිකය සමඟ බද්ධ කළ හැකි නම් එය කෙතරම් ප්‍රබල හැරවුම් ලක්ෂ්‍යයක් වනු ඇතිද?

ඊයේ (15) කොළඹදී නිල වශයෙන් එළිදැක්වුණු ‘Global Lankan Entrepreneur Club’ (GLEC) ඩිජිටල් වේදිකාව දෙස විමර්ශනාත්මකව බලන විට පෙනී යන්නේ, එය හුදු වෙබ් අඩවියකට එහා ගිය, දේශීය ව්‍යවසායකයාට ගෝලීය වෙළෙඳපොළ විවර කර දෙන නවීන ‘ආර්ථික පාලමක්’ ලෙස ගොඩනගා ඇති බවයි.

සාම්ප්‍රදායික ව්‍යාපාරික සීමාවන් බිඳ දමන ඩිජිටල් ප්‍රවේශය

සාමාන්‍යයෙන් දේශීය ව්‍යවසායකයෙකුට ජාත්‍යන්තර වෙළෙඳපොළකට පිවිසීමට හෝ විදේශීය ආයෝජකයෙකු සම්බන්ධ කර ගැනීමට විශාල පිරිවැයක් මෙන්ම දීර්ඝ ක්‍රියාවලියක් පසු කිරීමට සිදු වේ. එහෙත්, GLEC වේදිකාව හරහා සිදු කර ඇත්තේ එම සංකීර්ණ බාධක ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ඉවත් කිරීමයි.

මෙහි ක්‍රියාකාරීත්වය පිරික්සීමේදී පෙනී යන ප්‍රධානතම සාධනීය ලක්ෂණ කිහිපයකි:

  • නොමිලේ විවර වන ගෝලීය ජාලය: ඕනෑම අයෙකුට වෙබ් අඩවිය හරහා සාමාජික ගිණුමක් ආරම්භ කර, තමන් නියැලෙන ක්ෂේත්‍රය ඔස්සේ ලොව පුරා සිටින ප්‍රවීණයන් සමඟ සෘජුව සම්බන්ධ වීමට අවස්ථාව හිමි වේ.
  • ආයෝජන සහ වෙළෙඳපොළ අවස්ථා: ව්‍යාපාරයක් පුළුල් කිරීමට අවශ්‍ය නව ව්‍යාපාරික සබඳතා සහ ආයෝජන අවස්ථා කිසිදු අතරමැදි ගාස්තුවකින් තොරව නොමිලේම ලබා ගැනීමට මෙහිදී ඉඩ සලසා තිබේ.
  • නිවසේ සිටම ජාත්‍යන්තර ගනුදෙනු: එළිදැක්වීමේ අවස්ථාවට එක්වූ ව්‍යවසායකයින් පෙන්වා දුන් පරිදි, ගුවන් යානයක නොනැගී, තම නිවසේ සිටම ලොව විවිධ නගරවල ව්‍යාපාරිකයින් සමඟ ගනුදෙනු කරමින් විදේශ විනිමය උපයා ගැනීමේ ප්‍රායෝගික මාවතක් මෙමගින් විවර වී ඇත.

“ව්‍යාපාරිකයෙකු වීමට පෙර ව්‍යවසායකත්ව මනසක්” – දශකයක දැක්මක ප්‍රතිඵලයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතාගේ සංකල්පයක් මත, ජපානයේ ‘ආයුබෝ ටීවී’ (Ayubo TV) ආයතනයේද දායකත්වයෙන් ගොඩනැගුණු මෙම ව්‍යාපෘතිය පිටුපස දශකයකට ආසන්න කාලයක් තිස්සේ වර්ධනය වූ දැක්මක් පවතී. එළිදැක්වීමේ අවස්ථාවේදී ඔහු කළ ප්‍රකාශය තුළ ශ්‍රී ලංකාවේ ආර්ථික දිශානතිය වෙනස් කළ හැකි ප්‍රබල පණිවිඩයක් ගැබ්ව තිබුණි.

“ව්‍යවසායකත්වය කියන වචනය පවා අපට නුහුරු නුපුරුදු වචනයක්ව පැවති කාලයක, ‘අපේ අරමුණු සංවිධානය’ පුරෝගාමීව කටයුතු කරමින්, මෙම සංකල්පය සමාජගත කිරීමට දශකයකට ආසන්න කාලයක් උත්සාහ කළා. අද වන විට විද්වතුන්, වෘත්තිකයන්, දේශපාලනඥයන් මෙන්ම රාජ්‍ය තාන්ත්‍රිකයන් පවා මේ වචනය භාවිත කරනවා. මේ සංවාදය මහපොළොවේ යථාර්ථයක් බවට පත් කළ හැකි ප්‍රායෝගික සංවාදයක්.

මෙහිදී අපි උත්සාහ කරන්නේ මේ වේදිකාවට සම්බන්ධ වන සියලු දෙනාටම සමාන අවස්ථාවක් ලබා දෙමින්, ගෝලීය ව්‍යවසායකත්වය පිළිබඳ දැනුම සහ සත්‍ය තොරතුරු බෙදාහදා ගන්නටයි. ලෝකයේ සිටින විශිෂ්ටතම සහ දීප්තිමත්ම ශ්‍රී ලාංකික ව්‍යවසායකයන් මේ වැඩපිළිවෙළ සමඟ සම්බන්ධ කරගැනීමටත්, ඔවුන්ගේ ආශීර්වාදය ලබාගැනීමටත් අපට හැකි වී තිබෙනවා.

අපි විශ්වාස කරන්නේ සෑම අයෙකුම ව්‍යවසායකයෙකු හෝ ව්‍යාපාරිකයෙකු වීමම අත්‍යවශ්‍ය කාරණයක් නොවන බවයි. අපට අවශ්‍ය වන්නේ ජන මනස තුළ ව්‍යවසායකත්ව සංකල්පය ඇති කරමින්, ව්‍යවසායකත්ව මනසකින් යුත් ශ්‍රී ලාංකිකයන් ශ්‍රී ලංකාව තුළත්, ශ්‍රී ලංකාවෙන් පිටතත් බිහි කරමින්, ඒ හරහා අපේ මව්බිමට ධනය නිර්මාණය කර දීමයි.”

ජපානයෙන් ඇරඹෙන ජාත්‍යන්තර මෙහෙයුම

මෙම වැඩපිළිවෙළ කොළඹට පමණක් සීමා නොවී ජාත්‍යන්තර ප්‍රජාව වෙත ගෙන යාමේ පළමු පියවර දැනටමත් සැලසුම් කර අවසන්ය. ඒ අනුව, ලොව පුරා වෙසෙන ශ්‍රී ලාංකික ව්‍යවසායකයින් දැනුවත් කිරීමේ ගෝලීය වැඩසටහන් මාලාවේ පළමු අදියර ජපානයේ සුකුබා (Tsukuba) නගරයේදී පැවැත්වීමට නියමිතය.

ගුවන් යානයක නොනැගී තම නිවසේ සිටම ලෝකය ජය ගැනීමට වෙර දරන දේශීය ව්‍යවසායකයාට ගෝලීය දැනුමත්, විදෙස්ගත ශ්‍රී ලාංකිකයාට මව්බිමේ ආයෝජන අවස්ථාත් එකම වේදිකාවකින් හිමිවන GLEC වැඩපිළිවෙළ, ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථික ගමන්මඟට නව බලාපොරොත්තුවක් එක් කරනු නොඅනුමානය.

HariDeshaya.lk

Latest Posts

spot_imgspot_img