Latest Posts

සයිබර් ජාවාරම්කරුවන් ඇල්ලූ වැලිකඩ OIC හිරේ ගියේ ඇයි? අතුරුදන් වූ පාස්පෝට් 19 සහ ‘ටෙනිස් පිටියේ’ අභිරහස

රාජගිරිය මැද වැලිකඩ පාරේ සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක පවත්වාගෙන ගිය මහා පරිමාණ අන්තර්ජාල මූල්‍ය වංචා (සයිබර් අපරාධ) මධ්‍යස්ථානයක් වැටලීමේ මෙහෙයුම, මේ වන විට ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව අභ්‍යන්තරයේ දැඩි ආන්දෝලනයක් මෙන්ම බරපතළ බෙදීමක් නිර්මාණය කළ සිදුවීමක් බවට පත්ව තිබේ.

2026 මැයි 02 වන දින වැලිකඩ පොලිසිය විසින් සිදු කළ මෙම සාර්ථක වැටලීමේදී චීන ජාතිකයන් 92 දෙනෙකු ඇතුළු විදේශිකයන් 120 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකි විය. එහෙත් එම මෙහෙයුමට සෘජුවම නායකත්වය දුන් වැලිකඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක (CI) සමන් ජයසිංහ මහතා, අල්ලස් හා නඩු භාණ්ඩ වසන් කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමත් සමඟ මෙම සිදුවීම පිටුපස ඇති සැබෑ කරුණු පිළිබඳව බරපතළ ප්‍රශ්නාර්ථ රැසක් මතුව ඇත.

‘බී’ වාර්තාවේ හෙළිදරව්ව සහ ලක්ෂ 57ක අල්ලස් චෝදනාව

මැයි 02 වන දින වැටලීමේදී විදේශිකයන් 120 දෙනෙකු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී, එම ස්ථානයෙන් පලා ගිය තවත් විදේශිකයන් 19 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර (Passports) පොලිස් භාරයට ගෙන තිබිණි. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය (අංක 04) වෙත මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ (CCIB) මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශය විසින් ඉදිරිපත් කර ඇති COL/MC4/PC/79357/2026B දරණ ‘බී’ වාර්තාවට අනුව, මෙම විමර්ශනය ආරම්භ වී ඇත්තේ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වෙත 2026.05.17 වන දින ලැබුණු සෘජු තොරතුරක් හා පැමිණිල්ලක් මතය.

අධිකරණයට ඉදිරිපත් කර ඇති බී වාර්තාවේ කරුණු අනුව ස්ථානාධිපතිවරයාට එල්ල වී ඇති ප්‍රධාන චෝදනා මෙසේය:

  • අදාළ ගුවන් ගමන් බලපත්‍ර 19 නඩු භාණ්ඩ වශයෙන් අධිකරණයට ඉදිරිපත් නොකර සඟවා තබා ගැනීම.
  • පලා ගිය චීන ජාතිකයන්ට එම බලපත්‍ර ආපසු ලබා දීම සඳහා එක් අයෙකුගෙන් රුපියල් ලක්ෂ 3 බැගින් (මුළු මුදල රුපියල් ලක්ෂ 57කට ආසන්නව) මුදල් ලබා ගැනීමට උත්සාහ කිරීම.
  • ඒ සඳහා කොළොන්නාව, නාගහමුල්ල පාරේ පදිංචි එම්.ආර්.එෆ්. ෆස්රිනා (M.R.F. Fazrina) නමැති කාන්තාවක සමඟ එක්ව WhatsApp සහ දුරකථන (077-7204056) ඔස්සේ සම්බන්ධීකරණය කර ආධාර අනුබල දීම.

වැලිකඩ පොලිසියේ කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂක නිරෝෂණී, පොලිස් කොස්තාපල් චාමර සඳරුවන් (94905) සහ පොලිස් කොස්තාපල් කසුන් දිසානායක (104073) යන නිලධාරීන්ගේ ප්‍රකාශ උපුටා දක්වන බී වාර්තාව, ස්ථානාධිපතිවරයාගේ උපදෙස් මත අදාළ ගමන් බලපත්‍ර නඩු භාණ්ඩ ලෙස සටහන් නොකර, ස්ථානමාරුවීම් ලැබ පිටව ගිය පොලිස් පරීක්ෂක සජිත් රත්නායක නමැති නිලධාරියාගේ ලොකරයක තැන්පත් කර තිබූ බව සඳහන් කරයි.

මෙම කරුණු මත පදනම්ව දණ්ඩ නීති සංග්‍රහයේ 201, 490, 162 වගන්ති සහ ආගමික විගාමික පනතේ 45(1)(ආ) වගන්ති යටතේ වරදක් සිදු කර ඇති බවට චෝදනා කරමින්, 2026 මැයි 27 වන දින වේයන්ගොඩදී ප්‍ර.පො.ප. සමන් ජයසිංහ මහතා අත්අඩංගුවට ගෙන වැඩතහනමට ලක් කර රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

පොලිස් පොතේ සටහන කියන වෙනස්ම කතාව

කෙසේ වුවද මෙම චෝදනාවලට ප්‍රතිචාර ලෙස, ගමන් බලපත්‍ර 19 අධිකරණයට ඉදිරිපත් කිරීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් ජයසිංහ මහතා විසින් 2026.05.17 වන දින පෙරවරු 11.00ට වැලිකඩ පොලිස් ස්ථානයේ දෛනික තොරතුරු සටහන් පොතේ (පිටුව 163, ඡේදය 4302) තබන ලද නිල සටහන මගින් හෙළි වන්නේ හාත්පසින්ම වෙනස් චිත්‍රයකි.

එම සටහනට අනුව සිදුවීම් පෙළ ගැසෙන්නේ මෙසේය:

  1. වගකීම පැවරීම: 2026.05.02 රාත්‍රී වැටලීමේදී හමු වූ ගුවන් ගමන් බලපත්‍ර අධිකරණයට ඉදිරිපත් කිරීමේ වගකීම, මෙම විමර්ශනයේ ප්‍රධාන විමර්ශන නිලධාරියා ලෙස කටයුතු කළ අපරාධ අංශයේ ස්ථානාධිපති පො.ප. සජිත් නිලධාරියාට එවකට භාර දී තිබේ.
  2. සොයා බැලීම: පසුව 2026.05.16 වන දින ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීතුමා (SSP) මේ පිළිබඳව විමසූ විට තමා සතුව කිසිදු ගුවන් ගමන් බලපත්‍රයක් නොමැති බව ස්ථානාධිපතිවරයා දැනුම් දී ඇත. පසුව සිදු කළ සොයා බැලීමේදී පො.ප. සජිත් නිලධාරියා එම බලපත්‍ර අධිකරණයට ඉදිරිපත් නොකර ඔහුගේ ලොකරයේ තබා ගොස් ඇති බව පො.කො. කසුන් මාර්ගයෙන් අනාවරණය වී ඇත.
  3. නඩු භාණ්ඩ ලෙස ඇතුළත් කිරීම: ඒ අනුව වහාම ඒ පිළිබඳව නියෝජ්‍ය පොලිස්පතිතුමා (DIG) සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීතුමා දැනුවත් කර, 2026.05.17 වන දින සහකාර පොලිස් අධිකාරී (ASP III) අජිත් ප්‍රසන්න මහතා ඇතුළු නිලධාරීන් ඉදිරිපිටදී පො.ප. සජිත්ගේ අගුළු නොදැමූ ලී ලොකරය විවෘත කර තිබේ. එහි සුදු පැහැති පොලිතීන් කවරයක බහා තිබූ විදේශ ගමන් බලපත්‍ර 19 සොයාගෙන PR 1859/26 යටතේ නඩු භාණ්ඩ ලෙස විධිමත්ව ඇතුළත් කිරීමට කටයුතු කළ බව ස්ථානාධිපතිවරයාගේ නිල සටහනේ දැක්වේ.

‘ටෙනිස් පිටියේ’ සහ ‘පරිගණක පරිත්‍යාගයේ’ අභිරහස

මෙම ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගැනීම හුදෙක් අල්ලස් සිද්ධියකට පමණක් සීමා වූවක්ද, නැතහොත් ඊට එහා ගිය ඉහළ පෙළේ බලපෑම් හා සම්බන්ධතා මෙහි තිබේද යන්න පිළිබඳව පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ග බරපතළ ප්‍රශ්න කිහිපයක් මතු කරයි.

වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගත් මෙම ජාත්‍යන්තර සයිබර් අපරාධ කල්ලියේ ප්‍රධානියා (Smuggling Leader) සහ ඇතැම් උසස් පොලිස් නිලධාරීන් අතර ඉතා සමීප සබඳතා පැවති බවට තොරතුරු වාර්තා වේ. විශේෂයෙන්ම, මෙම ජාවාරම්කාර කණ්ඩායමේ ප්‍රධානියා විසින් නාරාහේන්පිට පොලිස් ක්‍රීඩාංගණයේ ටෙනිස් පිටියක් (Tennis Court) සකස් කර දීම සහ පොලිස් සේවා වනිතා ඒකකයට පරිගණක තොගයක් පරිත්‍යාග කිරීම වැනි සුබසාධන කටයුතු සිදු කර ඇත්තේ කුමන පදනමකින්ද යන්න පිළිබඳව මේ වන විට දෙපාර්තමේන්තුව තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.

විමර්ශන ක්‍රමවේදය ගැන මතුවන සැකය

සාමාන්‍යයෙන් පොලිස් ස්ථානාධිපතිවරයෙකුට එරෙහිව පැමිණිල්ලක් ලැබුණු විට එය විමර්ශනය කිරීම සඳහා අදාළ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට හෝ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට (CIABOC) යොමු කිරීම සාමාන්‍ය පිළිගත් ක්‍රමවේදයයි.

එහෙත් මෙම සිදුවීමේදී පොලිස්පතිවරයා විසින් සෘජුවම මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) යොදවා විමර්ශන මෙහෙයවීම පිටුපස, ඉහත කී සයිබර් ජාවාරම්කරුවන් ආරක්ෂා කිරීමේ හෝ තමන්ට හිතවත් ජාවාරම්කරුවන්ට අත තැබීමට එරෙහිව OIC වරයාගෙන් පළිගැනීමේ වුවමනාවක් තිබුණේද යන සැකය OIC පාර්ශ්වය විසින් දැඩිව මතු කරයි.

අත්අඩංගුවට පත් ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් ජයසිංහ මහතා සම්බන්ධයෙන් පොලිසියේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ මෙය සම්පූර්ණයෙන්ම ඔහුව කොටු කිරීම සඳහා ගොතන ලද සැලසුම්සහගත කතාවක් බවයි. පොලිස් සේවය තුළ වෙනත් ඇතැම් නිලධාරීන් මෙන් සුඛෝපභෝගී ජීවිත ගත නොකරන, අයථා ලෙස මිල මුදල් රැස් නොකළ සාමාන්‍ය ජීවන රටාවක් ගෙන යන නිලධාරියෙකු ලෙස ඔහු ප්‍රකට බව ඔහුට සමීප නිලධාරීහු පෙන්වා දෙති.

මහා පරිමාණ ජාත්‍යන්තර සයිබර් අපරාධ ජාලයක් කොටු කර ගැනීමේ ගෞරවය හිමිවිය යුතු නිලධාරියෙකු අවසානයේ සිරගත වීමෙහි ඇත්තේ සැලසුම්සහගත අයුක්තියක් නම් එය බලවත් අසාධාරණයකි. එමෙන්ම, එම ජාවාරම්කරුවන්ගෙන් වරප්‍රසාද සහ පරිත්‍යාග ලැබූ බව කියන ඉහළ පාර්ශ්වයන් නිදැල්ලේ සිටීම හරහා මෙරට නීතිය ක්‍රියාත්මක වීමේ විනිවිදභාවය පිළිබඳව බරපතළ ප්‍රශ්නාර්ථයක් ඉතිරි කර තිබේ. මෙවැනි සංකීර්ණ සහ මතභේදාත්මක අවස්ථාවන්හිදී සත්‍යය හෙළි කර ගැනීම සඳහා ජාතික පොලිස් කොමිසම වැනි ස්වාධීන ආයතනයක මැදිහත්වීම අත්‍යවශ්‍ය බව අප වගකිවයුතු මාධ්‍යයක් ලෙස අවධාරණය කර සිටිමු.

HariDeshaya.lk විශේෂ වාර්තාකරුවෙකු විසින් සකස් කරන ලදී

(මෙම විමර්ශනාත්මක ලිපියේ සඳහන් කරුණු පිළිබඳව අදාළ ඕනෑම පාර්ශ්වයකට පිළිතුරු දීමේ අයිතිය – Right of Reply – යටතේ තම අදහස් හෝ නිවැරදි කිරීම් ඉදිරිපත් කිරීමට සම්පූර්ණ අවස්ථාව හිමිවේ.)

Latest Posts

spot_imgspot_img