Latest Posts

Asiri Hospital අභිරහස් මරණය යටපත් කරන්න දියණියට ‘වංචා නඩුවක්’: ඇප පිට සිටින Asiri අධ්‍යක්ෂ මණ්ඩලයේ නින්දිත මාධ්‍ය මෙහෙයුමේ නිරුවත!

ප්‍රධාන ධාරාවේ මාධ්‍ය හරහා අද දින සමාජගත කෙරුණු ප්‍රවෘත්තියකින් කියැවුණේ, “කොළඹ ප්‍රමුඛ පෙළේ පෞද්ගලික රෝහලකට රුපියල් කෝටියකට අධික මුදලක් වංචා කළ කාන්තාවකට ඇප හිමිවූ” බවයි. මතුපිටින් බලන ඕනෑම අයෙකුට මෙය එක්තරා මුදල් වංචාකාරියකගේ ක්‍රියාවක් ලෙස පෙනී යා හැක. එහෙත් එම සංවේදී සිරස්තල පිටුපස සඟවා ඇති සාහසික යථාර්ථය කුමක්ද?

එය හුදු මුදල් වංචාවක් පිළිබඳ කතාවක් නොවේ. කොළඹ නොරිස් කැනල් පාරේ පිහිටි Asiri Hospital (Asiri Central) හිදී අභිරහස් ලෙස ජීවිතක්ෂයට පත් වූ මවකගේ මරණය පිටුපස ඇති බරපතළ වෛද්‍ය නොසැලකිල්ල වසන් කිරීමටත්, එම මරණය සම්බන්ධයෙන් සාධාරණත්වය ඉල්ලා පොලිසියට සහ අධිකරණයට ගිය ප්‍රධාන සාක්ෂිකාරියක වන දියණියව නිහඬ කිරීමටත්, ඇප පිට සිටින ආසිරි පාලනාධිකාරිය විසින් දියත් කරන ලද අතිශය නින්දිත සහ පළිගැනීමේ නෛතික කුමන්ත්‍රණයකි.

මරණයේ අපරාධ නඩුව යද්දී දියණියට එරෙහිව ‘පළිගැනීමේ’ නඩුවක්!

මෙම නෛතික නාටකයේ කාලරේඛාව (Timeline) සහ සැබෑ අභිප්‍රාය නිරීක්ෂණය කරන ඕනෑම අයෙකුට Asiri Hospital හි සැබෑ වුවමනාව මනාව වටහාගත හැක.

රාජගිරිය, නාවල පදිංචිව සිටි සුනේත්‍රා මහත්මිය අභිරහස් ලෙස මියයෑම සහ ඇගේ මෘතදේහය මුදානොහැර රෝහල තුළ සිරකරගෙන සිටීමට එරෙහිව ඇගේ දියණිය මරදාන පොලිසියට කළ පැමිණිල්ල මත, මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයේ දැනටමත් බරපතළ අපරාධ විමර්ශන නඩුවක් විභාග වෙමින් පවතී. එම විමර්ශනය යටතේ රෝහලේ සියලු ප්‍රතිකාර සටහන් (BHT) පොලිස් භාරයට ගෙන ඇති අතර, රෝගියාගේ අභ්‍යන්තර ඉන්ද්‍රිය සාම්පල විෂවේදී පරීක්ෂණ සඳහා රජයේ රස පරීක්ෂක (Government Analyst) වෙත යොමු කර තිබේ.

එසේ රෝහලට එරෙහිව මරණයේ සැකය සහ සායනික නොසැලකිල්ල පිළිබඳ නීතිමය විමර්ශනයක් අධිකරණය හමුවේ ක්‍රියාත්මක වෙමින් පවතින පසුබිමක, එම අපරාධ නඩුවේ ප්‍රධාන පැමිණිලිකාරිය සහ සාක්ෂිකාරිය වන දියණියට එරෙහිව ආසිරි පාලනාධිකාරිය හදිසියේම පෞද්ගලික පැමිණිල්ලක් (Private Plaint) මඟින් ‘සාපරාධී වංචා’ නඩුවක් ගොනු කරන්නේ ඇයි?

නෛතික මූලධර්ම අනුව මෙය පැහැදිලිවම අධිකරණ ක්‍රියාවලිය අනිසි ලෙස භාවිත කිරීමකි (Abuse of Court Process). සාමාන්‍යයෙන් රෝහල් බිලක් නොගෙවීම යනු දිසා අධිකරණයක් හමුවේ ගොනු කළ යුතු සිවිල් ආරවුලක් (Civil Debt) මිස, මහෙස්ත්‍රාත් අධිකරණයේ දණ්ඩ නීති සංග්‍රහය යටතේ ඇප ඉල්ලන අපරාධ වරදක් නොවේ. දින 45ක කාලයක් තුළ රුපියල් කෝටි දෙකයි විසිහතර ලක්ෂයකින් (රු. 22,406,313/-), රුපියල් කෝටි එකයි දහඅට ලක්ෂයක (රු. 11,800,000/-) දැවැන්ත මුදලක් දැනටමත් ගෙවා ඇති පාරිභෝගිකයෙකුට මුලසිටම වංචා කිරීමේ සාපරාධී චේතනාවක් (Mens Rea) තිබිය නොහැක. එසේ තිබියදීත් ඇයව අපරාධ කූඩුවට දක්කා මාධ්‍ය සංදර්ශන පවත්වන්නේ, මවගේ අභිරහස් මරණය පිළිබඳ අපරාධ නඩුවේ සාක්ෂිකාරිය මානසිකව සහ මූල්‍යමය වශයෙන් බිඳවට්ටවා, නඩුවෙන් ඉවත් කරගැනීමේ (Witness Intimidation) පහත් චේතනාවෙන් බව පැහැදිලිය.

රෝහලේ ප්‍රකාශය අමූලික බොරුවක් බව ඔප්පු වූ හැටි: දේහය දුන්නේ අධිකරණ බලයෙන් පමණයි!

මීට දින කිහිපයකට පෙර Asiri Hospital පාලනාධිකාරිය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සමාජය මුළා කිරීමට උත්සාහ කළේ, “බිල්පත් නොගෙවා තිබුණද දේහය නිදහස් කිරීමේ කිසිදු ප්‍රමාදයක් සිදුනොකළ බවත්, සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන්නේ පදනම් විරහිත කටකතා බවත්ය”.

එහෙත් ඊයේ අධිකරණයේදී අනාවරණය වූ කරුණු හමුවේ Asiri Hospital හි ඒ කපටි මුහුණුවර සම්පූර්ණයෙන්ම ගැලවී ගොස් තිබේ:

  1. දේහය දුන්නේ රෝහලේ කැමැත්තෙන් නොවේ: රෝහල කියා සිටි පරිදි ඔවුන් කිසිදු ප්‍රමාදයකින් තොරව දේහය මුදාහැරියේ නම්, මියගිය කාන්තාවගේ දේහය දියණියට භාරදුන්නේ මාලිගාකන්ද වැඩබලන මහෙස්ත්‍රාත් ප්‍රේමලාල් අතුකෝරල මහතාගේ සෘජු නියෝගය මත බව අධිකරණ වාර්තාවල සඳහන් වන්නේ ඇයි?
  2. මිනිය හිරකරගෙන සිටියේ නොගෙවූ කෝටිය නිසාමයි: දින 45ක ප්‍රතිකාර වෙනුවෙන් රුපියල් 22,406,313/-ක (කෝටි 2යි ලක්ෂ 24ක) බිලක් හදා, ඉන් කෝටියකට වඩා ගෙවා තිබියදීත්, ඉතිරි මුදල නොගෙවීම නිසා දින දෙකක් තිස්සේ මෘතදේහය පවා පවුලේ අයට නොදී බලහත්කාරයෙන් රඳවාගෙන සිටි බව දැන් ඉතාමත් නිරවුල්ය.
  3. සාක්ෂි යටගැසීමට ඉඩ නොතැබූ අධිකරණය: රෝගියාගේ සිරුරේ තිබූ අභිරහස් විවෘත තුවාල සහ සැකකටයුතු මරණය හමුවේ, අධිකරණය නියෝග කළේ දේහය ආදාහනය නොකර, බොරැල්ල කනත්තේ “විශේෂ සලකුණක් සහිතව භූමිදානය” කිරීමටය. ඒ, ඉදිරියේදී නීතිමය සාක්ෂි මත දේහය නැවත ගොඩගෙන පරීක්ෂා කිරීමට (Exhumation) අවශ්‍ය වුවහොත් ඊට ඉඩ තබාගැනීමටය.

ඇප පිට සිටින අශෝක් පතිරගේ ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ සදාචාරය කුමක්ද?

පාරිභෝගිකයන් මත සාපරාධී වංචා ලේබල් අලවන්නට හදන Asiri Hospital ජාලයේ විශ්වසනීයත්වය (Credibility) සහ පාලනාධිකාරියේ සදාචාරය පිළිබඳව සොයාබැලීම මෙහිදී අතිශය වැදගත්ය.

Asiri Hospital යනු මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට අමුත්තන් නොවේ. රජය විසින් නියම කර තිබූ උපරිම සිල්ලර මිල පාලන නීති උල්ලංඝනය කරමින්, අත්‍යවශ්‍ය ඖෂධ පවා රෝගීන්ට අධික මිල ගණන්වලට විකුණමින් සිදුකළ මහා පරිමාණ ඖෂධ සූරාකෑම සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) විසින් මාලිගාකන්ද අධිකරණයේම නඩු පවරන ලදී.

එම නඩුවේදී අධිකරණය මඟහැර සිටීම හේතුවෙන් Asiri Hospital සභාපති අශෝක් පතිරගේ ඇතුළු සමස්ත අධ්‍යක්ෂ මණ්ඩලයටම මාලිගාකන්ද ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය විසින් වරෙන්තු නිකුත් කරන ලදී. පසුව අධිකරණය හමුවේ පෙනී සිටි ඔවුන් මේ වන විටත් පසුවන්නේ අධිකරණ ඇප මතය!

එපමණක් නොව, එකී නඩුවේදී ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය නිවාඩු ගිය දිනයක, වැඩබලන මහෙස්ත්‍රාත්වරයෙකු මාර්ගයෙන් හොර පාරෙන් නඩුව ඉවත් කරගැනීමට Asiri Hospital පාර්ශ්වය දැරූ කූට ප්‍රයත්නය පවා ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය නැවත පැමිණි පසු නීතිය හමුවේ කුඩුපට්ටම් වී ගියේය. නීතිය සහ අධිකරණ ක්‍රියාපටිපාටිය තමන්ට අවශ්‍ය පරිදි නැවීමට එවැනි අතීත උත්සාහයන් දැරූ, අධිකරණයෙන් වරෙන්තු ලැබූ ඇපකරුවන් වන Asiri Hospital අධ්‍යක්ෂ මණ්ඩලය, අද අසරණ දියණියක මත සාපරාධී වංචා චෝදනා එල්ල කිරීම කෙතරම් විහිළුවක්ද?

ප්‍රධාන මෙහෙයුම් නිලධාරී වෛද්‍ය සමන්ති ද සිල්වා සහ සායනික වගවීම

Asiri Central Hospital ඇතුළු සමස්ත රෝහල් ජාලයේ සායනික හා වෛද්‍ය මෙහෙයුම් අධීක්ෂණය භාරව සිටින්නේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරිනී (COO) වෛද්‍ය සමන්ති ද සිල්වා (Dr. Samanthi De Silva) මහත්මියයි. ඇය ප්‍රමුඛ ඉහළ වෛද්‍ය පරිපාලනයෙන් රටට පිළිතුරු අවශ්‍ය කරුණු කිහිපයකි:

  • දින 45කට රුපියල් කෝටි දෙකයි ලක්ෂ විසිහතරක් (දිනකට රුපියල් ලක්ෂ පහකට ආසන්න මුදලක්) බිල්පත් එකතු වන තරමට ලබාදුන් ඒ ‘අතිවිශේෂ’ සායනික ප්‍රතිකාරය කුමක්ද?
  • කෝටි දෙකක් අය කළ රෝහල් ඇඳ මත සිටියදී රෝගියාගේ සිරුර පුරා බරපතළ විවෘත තුවාල හටගත්තේ කාගේ නොසැලකිල්ල නිසාද?
  • මරණයට හේතුව විවෘතව තබා, රෝගියාගේ ශරීර අභ්‍යන්තර සාම්පල රස පරීක්ෂක වෙත යැවීමට අධිකරණ වෛද්‍ය නිලධාරියාට සිදුවූයේ රෝහලේ ප්‍රතිකාර පිළිබඳ සැකයක් නොතිබුණේද?

මවකගේ ජීවිතය බේරාගැනීමට කෝටි එකයි දහඅට ලක්ෂයක් තම සාක්කුවෙන් ගෙවා, අවසානයේ මවගේ අභිරහස් මරණය සහ සිරුරේ තිබූ තුවාල දැක කම්පනයට පත්ව, මෘතදේහය මුදාගැනීමට පවා පොලිසියට සහ අධිකරණයට යාමට සිදුවූ අසරණ දියණියකට එරෙහිව Asiri Hospital මේ ගෙනියන්නේ නීතියේ ක්‍රියාවලිය නොව, සාපරාධී වගවීමෙන් ඇඟ බේරාගැනීමේ පළිගැනීමේ මෙහෙයුමකි.

දෙසැම්බර් 17 වැනිදා මෙම නඩුවට එරෙහිව මූලික විරෝධතා ගොනු කිරීමට නියමිතව ඇති අතර, රජයේ රස පරීක්ෂක වාර්තාව සහ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව අධිකරණයට ඉදිරිපත් වන විට, රෝගීන්ගෙන් කෝටි ගණන් ගසාකමින්, මළසිරුරු පවා ප්‍රාණඇපයට තබාගෙන, සාක්ෂිකරුවන් බියගන්වන මෙම පෞද්ගලික රෝහල් මාෆියාවේ සැබෑ නිරුවත සහ සාපරාධී නොසැලකිල්ල නීතිය හමුවේ මුළුමනින්ම හෙළිදරව් වනු ඇත.

Latest Posts

spot_imgspot_img