Latest Posts

ජාතික චිත්‍රපට සංස්ථාවේ නීති නිලධාරිනියගේ පත්වීම පිටුපස දැවැන්ත වංචාවක්? පුද්ගලික ලිපිගොනුව අතුරුදහන් කර ලේඛන මාරු කිරීමේ කුමන්ත්‍රණයක් ගැන අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ ඉහළ නිලතල සහ වගකිවයුතු තනතුරු හසුරුවමින් සිදුකර ඇති බව කියන බරපතළ පරිපාලන අක්‍රමිකතා, ව්‍යාජ තොරතුරු මත පදනම් වූ නීතිවිරෝධී පත්වීම් සහ සාක්ෂි වසන් කිරීමේ සංවිධානාත්මක කුමන්ත්‍රණයක් පිළිබඳව කරුණු රැසක් මේ වන විට කරළියට පැමිණ තිබේ.

ජාතික චිත්‍රපට සංස්ථාවේ නීති නිලධාරී තනතුර සඳහා වත්සලා වික්‍රම ආරච්චි මහත්මිය සාවද්‍ය තොරතුරු ලබාදී අදාළ පත්වීම ලබාගෙන ඇති බවටත්, එමඟින් ඇය දූෂණය නමැති වරද සිදුකර ඇති බවටත් චෝදනා කරමින් ඇඩි හවුස් (Ad House) ආයතනයේ අජිත් පී. ධර්මසූරිය මහතා විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත විධිමත් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

ලිපිගොනුව සඟවා ලේඛන වෙනස් කළාද? – සභාපතිවරයා ඇතුළු බලධාරීන්ට බරපතළ චෝදනා

අල්ලස් කොමිසම වෙත යොමු කරන ලද නවතම ලිපිය මඟින් අනාවරණය වන්නේ මෙම අක්‍රමිකතාව සම්බන්ධයෙන් චිත්‍රපට සංස්ථාවේ හිටපු සාමාන්‍යාධිකාරී රවී කළුපහන මහතා විමර්ශනයක් ඇරඹීමට උත්සාහ කළ අවස්ථාවේදී, පාලන අංශය විසින් ඊට දැඩි ලෙස බාධා එල්ල කර ඇති බවයි.

එහිදී, පාලන නිලධාරී නාමල් වීරබාහු (තමාල් නේත්‍රාංජන වීරබාහු) නමැත්තා විසින් අදාළ නීති නිලධාරිනියගේ පුද්ගලික ලිපිගොනුව හිටපු සාමාන්‍යාධිකාරීවරයා වෙත ලබාදීම හිතාමතාම පැහැර හැර ඇති බවට චෝදනා එල්ල වේ. මෙහි ඇති වඩාත්ම බරපතළ තත්ත්වය වන්නේ, චිත්‍රපට සංස්ථාවේ සභාපති සුදත් මහදිවුල්වැව මහතා සහ අදාළ පාලන නිලධාරියා එක්ව මෙම පුද්ගලික ලිපිගොනුවේ තිබූ ප්‍රශ්නගත ලේඛන ඉවත් කර, ඒ වෙනුවට සාවද්‍ය ලේඛන ඇතුළත් කර සාක්ෂි විනාශ කිරීමේ හෝ විකෘති කිරීමේ ක්‍රියාවලියක නිරත වූයේද යන්න පිළිබඳව මතුව ඇති සාධාරණ සැකයයි.

සාමාන්‍යාධිකාරී ධුරය අහිමි කිරීම සහ වට්ස්ඇප් (WhatsApp) මඟින් එල්ල වූ තර්ජන

තොරතුරු හෙළිදරවු කරගැනීමට උත්සාහ කළ හිටපු සාමාන්‍යාධිකාරී රවී කළුපහන මහතාගේ සේවා කාලය දීර්ඝ නොකිරීමට බලධාරීන් කටයුතු කර ඇති බවත්, ඒ වෙනුවට අමාත්‍ය මණ්ඩල අනුමැතියකින් එම ධුරයට පත්කර ඇත්තේ මීට පෙර රාජ්‍ය සේවයෙන් පහකළ රුවන් ප්‍රේමවීර නමැති අයෙකු බවත් අදාළ පැමිණිල්ලේ දැක්වේ.

එපමණක් නොව, අදාළ නීති නිලධාරිනිය රැකගැනීමේ අරමුණින් රුවන් ප්‍රේමවීර නමැත්තා විසින් පැමිණිලිකරු වෙත වට්ස්ඇප් (WhatsApp) පණිවුඩ ඔස්සේ බලපෑම් එල්ල කර ඇති අතර, ඊට අදාළ මුද්‍රිත සාක්ෂි ඕනෑම අවස්ථාවක කොමිසම හමුවට ඉදිරිපත් කිරීමට සූදානම් බවද පැමිණිලිකරු වැඩිදුරටත් අවධාරණය කරයි.

ඇමුණුම් ලේඛනවලින් තහවුරු වන අතීත පසුබිම

අල්ලස් කොමිසමට ඉදිරිපත් කර ඇති ඇමුණුම් ලේඛන පරීක්ෂා කිරීමේදී පෙනී යන්නේ:

  1. 2009 අගෝස්තු මස ලිපිය: සංස්කෘතික කටයුතු හා ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පා.මු.) එම්. ලක්ෂ්මන් පෙරේරා මහතා විසින් චිත්‍රපට සංස්ථාවේ සභාපතිවරයා වෙත යොමු කරන ලද ලිපියක් මඟින් මෙම අයදුම්පත්‍රය ඉදිරිපත් කර ඇති ආකාරය නිරීක්ෂණය වේ.
  2. 2009 ජූලි 10 දිනැති අයදුම්පත්‍රය: වත්සලා කුමුදිනි වික්‍රමආරච්චි නමැත්තිය විසින් නීති නිලධාරී තනතුර සඳහා ඉදිරිපත් කරන ලද මූලික අයදුම්පත්‍රය සහ ඇය ඉදිරිපත් කළ සුදුසුකම් විස්තර මේ වන විට විමර්ශන මට්ටමේ පවතී.

උසස් බලධාරීන්ට පිටපත්

මෙම බරපතළ දූෂණ සහ බලපෑම් සිදුවීම සම්බන්ධයෙන් කඩිනම් සහ අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට අමතරව, අතිගරු ජනාධිපතිතුමා, ගරු අග්‍රාමාත්‍යතුමිය, සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා, පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යතුමා, සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම්වරයා, සංස්ථා සභාපතිවරයා මෙන්ම අධ්‍යක්ෂ මණ්ඩලය වෙතද මෙහි පිටපත් යොමු කර ඇත.

රාජ්‍ය සම්පත් හා තනතුරු අවභාවිත කරමින් නීතිවිරෝධී ලෙස කටයුතු කරන මෙවැනි නිලධාරීන් සහ ඔවුන් ආරක්ෂා කරන දේශපාලන හා පරිපාලන හස්තයන් පිළිබඳව නීතිය ක්‍රියාත්මක වන්නේද යන්න පිළිබඳව HariDeshayaLk අප ඉදිරියටත් දැඩි අවධානයෙන් පසුවෙමු.

Latest Posts

spot_imgspot_img