දෛනික දීමනා (Per Diems) සඳහා පමණක් මිලියන 231ක්; පුද්ගලික වියදම් ලැයිස්තුවේ පෙරමුණ ශම්මිට
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත (RTI) යටතේ ‘සන්ඩේ ටයිම්ස්’ පුවත්පත මගින් අනාවරණය කරගෙන ඇති නිල මූල්ය වාර්තාවලට අනුව, 2019 වසරේ සිට 2026 මාර්තු දක්වා වූ හිටපු සභාපති ශම්මි සිල්වාගේ වසර හතක පාලන කාලය තුළ ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ (SLC) විධායක කමිටු නිලධාරීන්ගේ විදෙස් සංචාර වෙනුවෙන් රුපියල් මිලියන 405කට අධික මුදලක් කාබාසිනියා කර ඇති බව හෙළිදරව් වී තිබේ.

මෙම වාර්තාවලට අනුව විධායක කමිටු නිලධාරීන් 30 දෙනෙකුගේ සංචාර සඳහා මෙම අතිවිශාල පිරිවැය දරා ඇති අතර, ජාත්යන්තර ක්රිකට් කවුන්සිලය (ICC) මගින් සෘජුවම ලබාදුන් දීමනා සහ රක්ෂණ ගාස්තු හැර ක්රිකට් ආයතනය දැරූ මුළු මුදල රුපියල් මිලියන 405.12ක් ලෙස සටහන් වේ.
වියදම් බෙදී ගිය ආකාරය: 97%ක්ම දීමනා සහ ගුවන් ටිකට්පත්වලට
සමස්ත සංචාරක බිල විශ්ලේෂණය කිරීමේදී පැහැදිලි වන්නේ වියදම්වලින් 97%කට වැඩි ප්රමාණයක් නිලධාරීන්ගේ දෛනික දීමනා සහ ගුවන් ගමන් සඳහා පමණක් වැය වී ඇති බවයි.
- දෛනික දීමනා (Per Diems): රුපියල් මිලියන 231.47 (සමස්ත වියදමෙන් 57%)
- ගුවන් ගමන් සහ වීසා ගාස්තු: රුපියල් මිලියන 163.41 (සමස්ත වියදමෙන් 40%)
- නවාතැන් පහසුකම්: රුපියල් මිලියන 9.46
- වෙනත් අතුරු වියදම්: රුපියල් 782,104
මීට අමතරව, ජාත්යන්තර ක්රිකට් කවුන්සිලය (ICC) විසින් සභාපතිවරයා සහ භාණ්ඩාගාරිකවරයා වෙනුවෙන් ඇමරිකානු ඩොලර් 18,000ක (දළ වශයෙන් රුපියල් මිලියන 5.98ක) දෛනික දීමනාවක් වෙනමම ගෙවා තිබේ.
පුද්ගලික ලැයිස්තුවේ කිරුළ හිටපු සභාපතිට
සංචාරක බිල්පත් අතරින් තනි පුද්ගලයෙකු වෙනුවෙන් වාර්තා වූ ඉහළම මුදල ශම්මි සිල්වාගේ නමට බැරව ඇති අතර, ඉන් අනතුරුව හිටපු ප්රබල නිලධාරීන් කිහිපදෙනෙකුම ඉහළ ප්රතිපාදන ලබාගෙන ඇත.
- ශම්මි සිල්වා (හිටපු සභාපති): රුපියල් මිලියන 91.86 (දෛනික දීමනා රුපියල් මිලියන 45.43ක් / ඇ.ඩො. 144,725ක් සහ ගුවන් ගමන් සඳහා රුපියල් මිලියන 43ක් ඇතුළුව. මීට අමතරව ICC යෙන් ඩොලර් 16,000ක්)
- රවීන් වික්රමරත්න (හිටපු උප සභාපති): රුපියල් මිලියන 53.17 (දෛනික දීමනා රුපියල් මිලියන 25.9ක් / ඇ.ඩො. 94,250ක් ඇතුළුව)
- ක්රිෂාන්ත කපුවත්ත (හිටපු සහකාර ලේකම්): රුපියල් මිලියන 35.45
- සුජීව ගොඩලියද්ද (හිටපු භාණ්ඩාගාරික): රුපියල් මිලියන 31.99
තරගාවලි නරඹන්න කෝටි ගණන් වියදම් කර පිරිවර පිටත්වූ හැටි
අදාළ කාලසීමාව තුළ ඉහළම වියදම් වාර්තා වී ඇත්තේ ප්රධාන පෙළේ ජාත්යන්තර ක්රිකට් තරගාවලි පැවති වකවානුවලදීය. ජාත්යන්තර සබඳතා සහ නිල රැස්වීම්වලට පරිබාහිරව, නිලධාරීන් විශාල පිරිවරක් පිටරට තරග නැරඹීම සඳහා සංචාරය කර ඇත්තේ මහජන මුදලට සමාන වන ක්රිකට් අරමුදල්වලිනි.
- 2022 විස්සයි20 ලෝක කුසලානය (ඕස්ට්රේලියාව): නිලධාරීන් 15 දෙනෙකු සඳහා රුපියල් මිලියන 61.5ක්
- 2022 ආසියානු කුසලානය (එක්සත් අරාබි එමීර් රාජ්යය): නිලධාරීන් 13 දෙනෙකු සඳහා රුපියල් මිලියන 37.7ක්
- 2024 විස්සයි20 ලෝක කුසලානය (ඇමරිකාව): නිලධාරීන් 6 දෙනෙකු සඳහා රුපියල් මිලියන 26.9ක්
- 2024 එංගලන්ත ටෙස්ට් තරගාවලිය: පුද්ගලයින් 5 දෙනෙකු සඳහා රුපියල් මිලියන 17.1ක්
- IPL සහ WPL තරග සංචාර: පුද්ගලයින් 6 දෙනෙකු සඳහා රුපියල් මිලියන 16.9ක්
වගවීම සහ නීත්යානුකූලභාවය හමුවේ එල්ලවන බරපතල ප්රශ්නාර්ථ
2023 සිට 2026 දක්වා කාලය තුළ අධිකරණ ක්රියාමාර්ග සහ නීතිඥ ගාස්තු වෙනුවෙන් පමණක් රුපියල් මිලියන 680කට අධික මුදලක් වැය කර තිබූ ශම්මි සිල්වාගේ පරිපාලනයට, මෙම මිලියන 405ක විදෙස් සංචාරක අනාවරණය තවත් දැඩි අර්බුදයක් නිර්මාණය කර තිබේ.
ජාත්යන්තර තරගාවලි නැරඹීමට සහ පුද්ගලික මට්ටමේ අවශ්යතාවලට ක්රිකට් ආයතනයේ මුදල් වැය කළේද, සංචාර සඳහා නිසි විධායක අනුමැතියක් හිමිවූයේද යන්න සොයා බැලීමට අදාළ ඉන්වොයිසි, ලදුපත් සහ දීමනා ගණනය කිරීමේ සවිස්තර වාර්තා මෙතෙක් ප්රසිද්ධියට පත් කර නැත. එම ලේඛන කඩිනමින් නිකුත් කරන බවට ක්රිකට් ආයතනය ප්රකාශ කර ඇති අතර, ක්රිකට් අරමුදල් අවභාවිතය පිළිබඳ ස්වාධීන මූල්ය විගණනයක අවශ්යතාව මේ වන විට දැඩිව මතුවෙමින් පවතී.
(මූලාශ්රය: Sunday Times ඇසුරිනි)



