Latest Posts

‘123’ කෝටි ගණනක නඩුවෙන් හෙළි වූ බිහිසුණු ඇත්ත: ලංකාවේ උසස් අධ්‍යාපන සහ කන්සල්ටන්සි ආයතන බහුතරයක් කරන්නේ මිනිස් ජාවාරමක්ද? තවත් ආයතන රැසක් CCD ඇතුළු විමර්ශන අංශවල දැලේ!

විමර්ශනාත්මක විශේෂ වාර්තාකරණයකි

එංගලන්තයේ උසස් විශ්වවිද්‍යාලවලට සිසුන් යවන බව පවසා සිසුන් 21 දෙනෙකුගෙන් එක් අයෙකුගෙන් රුපියල් ලක්ෂ 18 බැගින් ලබාගෙන සිදුකළ කෝටි ගණනක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ‘123’ නමැති ආයතනයකට එරෙහිව කොළඹ අපරාධ කොට්ඨාශය (CCD) පසුගිය සිකුරාදා (23) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම හමුවේ කරුණු වාර්තා කළේය.

එම නඩුවේදී අධිකරණයට ඉදිරිපත් වූ කරුණුවලට අනුව, එංගලන්තයේ වුල්වර්හැම්ප්ටන් (Wolverhampton) සහ ග්ලූස්ටර්ෂයර් (Gloucestershire) යන විශ්වවිද්‍යාලවල පාඨමාලා සඳහා යවන බව පවසා මෙම මූල්‍ය වංචාව සිදුකර ඇත. මෙහිදී සාමාන්‍ය සිසුන් මෙන්ම මෙරට විශ්වවිද්‍යාලවලින් ප්‍රථම උපාධිය ලබා පශ්චාත් උපාධි (Master’s) සඳහා විදේශගත වීමට අපේක්ෂා කළ උගත් තරුණ පිරිස් ද රැවටීමට ලක්ව තිබේ. මේ වන විට ‘123’ ආයතනයේ අධ්‍යක්ෂවරයා ඇප මත මුදාහැර ඇති අතර, මෙම සිද්ධියේ මහ මොළකරු විදේශගතව සැඟව සිටින බවත්, ඔහු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

කෙසේ වෙතත්, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ දිගහැරුණු ‘123’ ආයතනයේ මෙම නඩු සිදුවීම යනු මෙරට තුළ ක්‍රියාත්මක වන මහා පරිමාණ විදේශ අධ්‍යාපන ජාවාරමේ එක් උදාහරණයක් පමණි. මෙරට උසස් අධ්‍යාපන ආයතන සහ විදේශ අධ්‍යාපන උපදේශන (Consultancy) නාමයෙන් පෙනී සිටින බහුතරයක් ආයතන විසින් පොදුවේ සිදුකරනු ලබන සංවිධානාත්මක මාෆියාවේ නිරුවත ‘123’ නඩුව හරහා කරළියට පැමිණ තිබේ.

‘123’ ට පමණක් නොව, තවත් ආයතන රැසකට එරෙහිව CCD ඇතුළු විමර්ශන අංශ හමුවේ පැමිණිලි රැසක්

මෙම සිදුවීම ‘123’ ආයතනයට පමණක් සීමා වූ හුදකලා සිදුවීමක් නොවන බවත්, මෙරට විවිධ නම්වලින් පවත්වාගෙන යන උසස් අධ්‍යාපන හා උපදේශන ආයතන රැසකට එරෙහිව මේ වන විටත් කොළඹ අපරාධ කොට්ඨාශය (CCD) ඇතුළු පොලිසියේ විවිධ විමර්ශන අංශ හමුවේ මෙවැනිම පැමිණිලි විශාල සංඛ්‍යාවක් වාර්තා වී විමර්ශන ක්‍රියාත්මක වන බවත් ‘හරි දේශය’ වෙත තොරතුරු අනාවරණය වේ.

මෙම ක්ෂේත්‍රයේ බහුතරයක් ආයතන පොදුවේ අනුගමනය කරන ජාවාරම්කාර උපක්‍රම මෙසේය:

  • සාමාන්‍ය පෙළවත් (O/L) නැති මුදලාලිලාට ‘උසස් අධ්‍යාපන’ බලපත්‍ර දෙන්නේ කවුද? මෙම ක්ෂේත්‍රයේ ඇති බරපතළම සහ පිළිකුල් සහගතම ඛේදවාචකය වන්නේ, උසස් අධ්‍යාපන ආයතන සහ විදේශ කන්සල්ටන්සි ආයතන පවත්වාගෙන යන බහුතරයක් පුද්ගලයන්ට අවම වශයෙන් සාමාන්‍ය පෙළ (O/L) විභාගයවත් සමත්වීමේ අධ්‍යාපන සුදුසුකමක් නොමැති වීමයි. උසස් අධ්‍යාපනය පිළිබඳ කිසිදු අධ්‍යයන පසුබිමක්, විෂය ඥානයක් හෝ අත්දැකීමක් නැති මෙවැනි නූගත් ජාවාරම්කරුවන්ට රටේ උගත් තරුණ පරපුරේ උසස් අධ්‍යාපන සිහින තීන්දු කිරීමට අවසර පත්‍ර ලබා දෙන්නේ කෙසේද යන ප්‍රශ්නය නීතිය හමුවේ පැනනගී. විදේශ උසස් අධ්‍යාපනයක් සඳහා දරුවෙකු යොමු කිරීමේදී උපදෙස් දීමට නම්, එම ආයතන ප්‍රධානීන් හෝ උපදේශකයන් අවම වශයෙන් පිළිගත් විශ්වවිද්‍යාලයක උසස් අධ්‍යාපනය ලැබූ, ජාත්‍යන්තර අධ්‍යාපන පද්ධතිය පිළිබඳ පූර්ණ අවබෝධයක් ඇති වෘත්තිකයන් වීම අනිවාර්ය විය යුතුය. එහෙත් මෙරට පවතින නීතිමය හිඩැස් උපයෝගී කරගනිමින් ඕනෑම ජාවාරම්කාරයෙකුට සමාගමක් ලියාපදිංචි කරගෙන ‘අධ්‍යාපන උපදේශක’ ලේබලය අලවා ගැනීමට ඉඩ දී තිබීම රටේ අභාග්‍යයකි.
  • වසර ගණනක් බිස්නස් කර කෝටි ගණන් රැගෙන රට පැනීම: සමහර පුද්ගලයන් වසර පහක් හෝ දහයක් තිස්සේ නීත්‍යානුකූල මුවාවෙන් උසස් අධ්‍යාපන ආයතන පවත්වාගෙන ගොස්, අවසානයේ එක්වරම සිය ගණනකගෙන් කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් එකතු කරගෙන එක රැයකින් විදේශගත වෙති. තවත් සමහරු මාස කිහිපයකට ආයතන ලියාපදිංචි කර, දැවැන්ත මාධ්‍ය ප්‍රචාරයක් දී සිසුන් රවටා මුදල් රැගෙන රටින් පැන යති. මේ වන විටත් එවැනි ජාවාරම්කරුවන් පිරිසක් සම්බන්ධයෙන් විවිධ පොලිස් විමර්ශන අංශ වෙත පැමිණිලි ලැබී තිබුණද, එම පරීක්ෂණ මන්දගාමීව හෝ අතරමඟ නැවතී තිබීම නිසා වින්දිතයන් දැඩි අසරණභාවයට පත්ව සිටිති.
  • ශිෂ්‍ය මුදල්වලින් කරන ‘කළු සල්ලි’ ව්‍යාපාර: විදේශගත වීමට සිසුන් ලබාදෙන මුදල් විශ්වවිද්‍යාලවලට නොගෙවා, මාස ගණනාවක් තිස්සේ වෙනත් ව්‍යාපාරිකයන්ට පොලියට හෝ වෙනත් ව්‍යාපාරික ආයෝජන සඳහා ලබාදී කෝටි ගණනින් ලාභ උපයන සංවිධානාත්මක මාෆියාවක් මෙම ආයතන බොහොමයක් හරහා ක්‍රියාත්මක වේ. මාස හයක් පමණ සිසුන්ගේ මුදල්වලින් ලාභ උපයාගත් පසු, “විශ්වවිද්‍යාලයෙන් ඔයාව රිජෙක්ට් වුණා” යැයි පවසමින් සල්ලි ටික ආපසු දෙන බව අඟවා සිසුන්ගේ කාලය හා අධ්‍යාපන අනාගතය අමු අමුවේ කාබාසිනියා කර දමති.
  • ව්‍යාජ උපාධි සහතික සහ නීතියට කොටුවන අසරණ තරුණයෝ: කිසිදු මූලික සුදුසුකමක් නැති පුද්ගලයන්ගෙන් ලක්ෂ ගණනින් මුදල් අය කර ව්‍යාජ උපාධි සහ ඩිප්ලෝමා සහතික සාදාදීම මෙරට උසස් අධ්‍යාපන ආයතන බොහොමයක් රහසේ සිදුකරන ජාවාරමකි. මෙවැනි සහතික මුදලට ලබාගැනීමට ගොස් වංචාවට හසුවන තරුණ තරුණියන්ට, තමන් ද නීතිවිරෝධී ලේඛන මිලදී ගැනීමට ගිය බැවින් පොලිසියට හෝ අධිකරණයට ගොස් පැමිණිලි කිරීමට පවා නොහැකිව මුදලත්, විදේශ ගමනත් අහිමිව අන්ත අසරණ වීමට සිදුව ඇත.
  • බැංකු පද්ධතියේ දූෂිත ‘ශේෂ පත්‍ර’ (Balance Sheets) මාෆියාව: වීසා සඳහා අවශ්‍ය මූල්‍ය ශක්තිය පෙන්වීමට, ඇතැම් ප්‍රමුඛ වාණිජ බැංකුවල කළමනාකරුවන් හා නිලධාරීන්ට රුපියල් ලක්ෂ ගණනින් අල්ලස් ලබාදී ව්‍යාජ බැංකු ශේෂ සහ ගිණුම් වාර්තා සාදාදීමේ ජාවාරම මෙවැනි ආයතනවල සුලබ ක්‍රමවේදයයි.
  • නූතන මිනිස් ජාවාරමට හසුව විදේශයන්හි සිරගත වීම: කිසිදු නිසි ප්‍රමිතියකින්, භාෂා දැනුමකින් හෝ පිළිගත් පුහුණුවකින් තොරව කූට ලේඛන මඟින් පිටරට පටවන තරුණ තරුණියන්, එම රටවලදී නීතියට හසුව සිරගත වීමට, දඩුවම් ලැබීමට හෝ පිටුවහල් කිරීමට ලක්වෙති. අවසානයේ දෙමාපියන්ගේ ඉඩකඩම්, ගෙවල් දොරවල් උකස් කර රැස්කර දුන් මුදල් ද අහිමිව ඔවුන්ගේ ජීවිත සදහටම අඳුරු වී යයි.

මහ බැංකුව සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය වහා අවදි විය යුතුයි

‘123’ නඩුව හරහා එළියට පැමිණි මෙම යථාර්ථය හුදෙක් තවත් එක් අධිකරණ වාර්තාවකට පමණක් සීමා නොවිය යුතුය. රටේ අහිංසක තාරුණ්‍යය දඩමීමා කරගනිමින් ක්‍රියාත්මක වන මෙම සමස්ත ජාවාරම්කාර ජාලයම නීතියේ රැහැනට හසුකර ගත යුතුය.

  1. උසස් අධ්‍යාපන අමාත්‍යාංශය: විදේශ අධ්‍යාපන උපදේශන ආයතන සහ උසස් අධ්‍යාපන ආයතන පවත්වාගෙන යාම සඳහා දැඩි නියාමන ප්‍රතිපත්තියක් වහාම සැකසිය යුතුය. අවම වශයෙන් පිළිගත් උසස් අධ්‍යාපන සුදුසුකම් හෝ විෂය ප්‍රවීණතාවක් නැති නූගත් පුද්ගලයන්ට මෙවැනි ආයතන පවත්වාගෙන යාම තහනම් කළ යුතු අතර, ප්‍රමිතියෙන් තොර ව්‍යාජ සහතික විකුණන ආයතනවල ලියාපදිංචිය වහාම අහෝසි කළ යුතුය.
  2. ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL): මෙම උසස් අධ්‍යාපන හා කන්සල්ටන්සි ආයතන සමඟ එක්ව ව්‍යාජ ගිණුම් වාර්තා සහ ශේෂ පත්‍ර නිකුත් කරන වාණිජ බැංකු හා ඒවායේ දූෂිත නිලධාරීන් පිළිබඳව මූල්‍ය බුද්ධි ඒකකය (FIU) හරහා වහාම දැඩි පරීක්ෂණයක් ආරම්භ කළ යුතුය.
  3. CCD සහ නීතිය ක්‍රියාත්මක කරන විමර්ශන අංශ: ‘123’ හි මහ මොළකරු ඇතුළු සිසුන්ගේ මුදල් වංචා කර විදේශගතව සැඟව සිටින සියලු ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලිසියේ (Interpol) සහාය ලබාගත යුතු අතර, විවිධ විමර්ශන අංශ හමුවේ මේ වන විටත් ගොඩගැසී ඇති අනෙකුත් ආයතනවල ලිපිගොනු පිළිබඳ පරීක්ෂණ කඩිනම් කළ යුතුය.

අවසානයේදී මේ නිරුවත් වන්නේ හුදෙක් ‘123’ නමැති ආයතනයේ තනි වංචාවක් පමණක් නොවේ; අධ්‍යාපන සිහිනය පෙන්වා රටේ අනාගතය දඩමීමා කරගන්නා සමස්ත ජාවාරම්කාර පද්ධතියකම කුණු ගඳයි. දහඩිය මහන්සියෙන් හරිහම්බ කළ දෙමාපියන්ගේ ඉඩකඩම්, රන් ආභරණ උකස් කර එකතු කරගත් අන්තිම සතයත් රැගෙන රට පනින ‘සුදු කරපටි’ ජාවාරම්කරුවන්ට තවදුරටත් නීතියේ හිඩැස් අස්සෙන් රිංගා යන්නට ඉඩ දිය යුතු නැත. මහ බැංකුව, උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සහ කොළඹ අපරාධ කොට්ඨාශය ඇතුළු විමර්ශන අංශ මේ මොහොතේ හෝ දැඩි ක්‍රියාමාර්ග නොගතහොත්, තවත් දහස් ගණනක් අහිංසක තරුණ ජීවිත විදේශ සිරගෙවල්වලත්, රටේ මහමඟත් අඳුරේ අතරමං වීම කිසිවෙකුටත් වැළැක්විය නොහැක. දැන්වත් බලධාරීන් ඇස් ඇරිය යුත්තේ ඒ නිසාය.

Latest Posts

spot_imgspot_img