Latest Posts

“මහේස්ත්‍රාත්වරු රබර් මුද්‍රා කරලා නිල ඇඳුමට ඕනෑම කෙනෙක් කුදලන් යන්න දෙන පනතක්!” – ආණ්ඩුවේ ගජමිතුරු මාධ්‍යකරුවන්ගෙනුත් නඩු!

ආණ්ඩුව විසින් ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ’ ලේබලය අලවා පාර්ලිමේන්තුවට හොර රහසේ රිංගවීමට සූදානම් වූ ආන්දෝලනාත්මක පනත් කෙටුම්පත දැන් ආණ්ඩුවටම පාරාවළල්ලක් වී හමාරය. කොතෙක්ද යත්, සාමාන්‍යයෙන් ආණ්ඩුවේ පාලනයට සහ න්‍යායපත්‍රයට පක්ෂපාතීව පෙනී සිටි එෆ්.එම්. ෆසීර් සහ තරිඳු උඩුවරගෙදර වැනි මාධ්‍යකරුවන්ට පවා අද වන විට ආණ්ඩුවේ මේ පනතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට පෙත්සම් අරන් දුවන්න සිදුව තිබේ.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ සම්පත් අබේකෝන් යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ ඊයේ (20) පෙරවරුවේ මෙම පෙත්සම් විභාගය ආරම්භ වූයේ, ආණ්ඩුව තමන්ගේම පැවැත්ම වෙනුවෙන් හදපු මේ මර්දනකාරී උගුලෙන් තමන්ටත් ගැලවීමක් නැති බව ඔවුන්ටම තේරුම් ගොස් ඇති පසුබිමකය.

මහේස්ත්‍රාත්වරයා ‘රබර් මුද්‍රාවක්’ කිරීමේ විධායක කුමන්ත්‍රණය

මෙම මාධ්‍යකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හිජාස් හිස්බුල්ලා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ආණ්ඩුවේ කෙටුම්පතේ සැඟවුණු මර්දනකාරී ව්‍යුහය අමු අමුවේ හෙළිදරව් කළේය.

“ස්වාමීනි, මේ පනත් කෙටුම්පත හරහා ජනතාවගේ අධිකරණ බලය සීමා කිරීම සිදුවෙනවා. ඒ තුළින් කෙළින්ම ජනතාවගේ පරමාධිපත්‍ය උල්ලංඝනය වෙනවා. මෙම පනත් කෙටුම්පත තුළින් මහේස්ත්‍රාත්වරයා හුදු ‘රබර් මුද්‍රාවක්’ බවට පත් කර තිබෙනවා. මහේස්ත්‍රාත්වරයාට සැකකරුවන් නිදහස් කිරීමේ බලය අහිමි කර තිබෙනවා. මහේස්ත්‍රාත්වරයාට සැකකරුවකු නිදහස් කළ හැක්කේ නීතිපතිවරයාගේ එකඟතාවය අනුව පමණයි,” යනුවෙන් ඔහු පෙන්වා දුන්නේය.

ස්වාධීන අධිකරණය සතු බලතල විධායකයේ නීති උපදේශකයා වන නීතිපතිවරයාගේ අභිමතයට යටත් කිරීම හරහා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 03 සහ 04 වගන්තිවලින් තහවුරු කර ඇති ජනතා පරමාධිපත්‍යය විධායකය විසින් කොල්ලකෑමට දරන උත්සාහය මෙහිදී නිරුවත් විය.

27, 28 සහ 59 වගන්ති: අත්තනෝමතිකත්වයේ භීෂණය

යෝජිත කෙටුම්පතේ 27 සහ 28 වගන්ති මගින් කිසිදු අධිකරණ නියෝගයකින් තොරව, විධායකයේ තනි තීරණය මත පුරවැසියන් රඳවා තබාගැනීමේ (Detention Orders) අසීමිත බලය ලබාදී ඇති ආකාරය නීතිඥවරයා අධිකරණය හමුවේ පැහැදිලි කළේය.

මීට අමතරව 59 වැනි වගන්තිය මගින් ජනාධිපතිවරයාට අත්තනෝමතික බලයක් ලබාදී ඇති අතර, ඒ හරහා ජනතාවගේ අධිකරණ බලය විධායකය විසින් සෘජුවම අත්පත් කරගැනීමක් සිදුවන බවත් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මුළුමනින්ම පටහැනි බවත් ඔහු අවධාරණය කළේය.

නිල ඇඳුමට ඕනෑම අයෙකු කුදලාගෙන යාමේ බලය පැවරීම

මෙම නඩු විභාගයේදී වඩාත්ම අවධානයට ලක්වූ තීරණාත්මක සංවාදය මතු වූයේ අත්අඩංගුවට ගැනීමේ බලතල අසීමිතව පුළුල් කිරීම සම්බන්ධයෙනි.

දැනට පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ පවා පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමේ බලය හිමිවන්නේ පොලිස් අධිකාරීවරයකුගේ නියෝග මත පොලිසියට පමණි. එහෙත් යෝජිත පනත් කෙටුම්පත මගින් පොලිසියට පමණක් නොව ත්‍රිවිධ හමුදාවට මෙන්ම වෙරළාරක්ෂක බළකායටත් ඕනෑම පුරවැසියකු අත්අඩංගුවට ගැනීමේ බලය පවරා දී තිබේ.

“එහි ඇති වරද කුමක්ද?” යනුවෙන් අගවිනිසුරුවරයා විමසූ අවස්ථාවේදී නීතිඥ හිජාස් හිස්බුල්ලා දුන් පිළිතුරෙන් ආණ්ඩුවේ සැඟවුණු අරමුණ එළියට පැමිණියේය:
“ස්වාමීනි, මේ තුළින් බලය බරපතළ ලෙස අවභාවිතයට ලක් වීමට හැකියාව තිබෙනවා. පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීම සිදුකරන්නේ පොලිස් අධිකාරීවරයෙකුගේ නියමයන්ට අනුවයි. නමුත් මෙම පනත් කෙටුම්පත තුළින් නිල ඇඳුම් ඇඳගත් ඕනෑම අයෙකුට අත්අඩංගුවට ගැනීමේ බලය ලබාදී තිබෙනවා.”

එපමණක් නොව, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට පුරවැසියන් ඇතැම් ප්‍රදේශවලට ඇතුළුවීම වළක්වමින් නියෝග නිකුත් කිරීමට බලය ලබාදීම හරහා රටම එක්තරා ආකාරයක විධායක සිරකඳවුරක් බවට පත්කිරීමේ අවදානමක් පවතින බවද මෙහිදී අනාවරණය විය.

කෙටුම්පත පරාජය කළ යුතුමයි: ජනමත විචාරණයකින් තොරව ඉඩක් නැත!

ආණ්ඩුවේ න්‍යායපත්‍රවලට පක්ෂපාතීව සිටි අයට පවා මේ කෙටුම්පත හමුවේ උසාවි එන්නට සිදුව ඇත්තේ, මෙයින් තමන්ගේ බෙල්ලටත් තොණ්ඩුව වැටෙන බව පැහැදිලි නිසාය. ආරක්ෂාවේ ලේබලය අලවා ආණ්ඩුව ගෙන එන්නේ ජනතාව බියගන්වා නිහඬ කරන විධායක මර්දනයකි.

අධිකරණ බලය උදුරාගන්නා, නිල ඇඳුමට අසීමිත බලතල පවරන සහ පුරවැසි නිදහස වළලන මෙවැනි මාරක වගන්ති පාර්ලිමේන්තුවේ කෘත්‍රිම බහුතරයකින් සම්මත කිරීමට කිසිසේත්ම ඉඩ දිය නොහැක. නීතිඥ හිජාස් හිස්බුල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අවධාරණය කළ පරිදි, ආණ්ඩුවට මේ කෙටුම්පත ගෙන ඒමට අවශ්‍ය නම් ඊට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය මෙන්ම රටේම ජනතාවගේ ජනමත විචාරණයක් (Referendum) අනිවාර්ය විය යුතුය.

ජාතික ආරක්ෂාව වෙනුවට විධායක ඒකාධිපතිත්වයක් බිහිකරන ආණ්ඩුවේ කෙටුම්පතේ නිරුවත දැන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අමු අමුවේ හෙළිවී හමාරය. අද (21) දිනයේත් විභාගයට ගැනෙන මෙම නඩුව, ආණ්ඩුවේ අත්තනෝමතිකත්වයට එරෙහිව තීරණාත්මක කඩඉමකි.

Latest Posts

spot_imgspot_img