රෝගීන් සුවපත් කිරීමේ මුවාවෙන් ජනතාව සූරාකන පෞද්ගලික රෝහල් මාෆියාවේ නිරුවත යළිත් වරක් රට හමුවේ නිරාවරණය වී තිබේ. ඒ, කොළඹ ආසිරි සෙන්ට්රල් රෝහලේදී (Asiri Central Hospital) සිදුවූ අතිශය සැකකටයුතු කාන්තා මරණයක්, ඉන් අනතුරුව මෘතදේහය පවා පවුලේ ඥාතීන්ට ලබානොදී රඳවාගෙන සිටීමේ සාහසික ක්රියාවලියක් සහ ඊට එරෙහිව අධිකරණයෙන් නිකුත් වූ දැඩි නියෝග හමුවේය.
මෙම සිදුවීමෙන් තමන්ගේ කිළුටු වූ ප්රතිරූපය බේරාගැනීම සඳහා ආසිරි සෙන්ට්රල් පාලනාධිකාරිය ඔක්තෝබර් 16 වැනිදා නිවේදනයක් නිකුත් කරමින් සිය ‘සුදනා’ ස්වරූපය පෙන්වීමට දැඩි උත්සාහයක නිරත විය. එහෙත් මාලිගාකන්ද මහෙස්ත්රාත් අධිකරණයේ නිල ලේඛන සහ නියෝග හමුවේ එම නිවේදනයේ ඇති ව්යාජ බව මුළුමනින්ම හෙළිදරව් වෙමින් පවතී.
“Social Media කටකතා” ලේබලය ගහන්න හැදුවට අධිකරණ නියෝගය බොරු කළ හැකිද?

ආසිරි රෝහල සිය නිවේදනයෙන් ජනතාව මුළා කිරීමට උත්සාහ කරන්නේ මෙය හුදු සමාජ මාධ්ය ඔස්සේ පැතිර යන පදනම් විරහිත ප්රචාරයක් (unsubstantiated speculation) බව හඟවමිනි. එහෙත් යථාර්ථය එය නොවේ!
මෙය හුදු කටකතාවක් නොව, 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්රහ පනතේ 373(1) වගන්තිය යටතේ මාලිගාකන්ද වැඩබලන මහෙස්ත්රාත් ප්රේමලාල් අතුකෝරල මහතා විසින් පසුගිය ඔක්තෝබර් 13 වැනිදා සෘජුවම නිකුත් කරන ලද නියෝගයකි (නඩු අංක: 49085/01/26). මරදාන පොලිසිය විමර්ශනය කරන, කොළඹ ප්රධාන අධිකරණ වෛද්ය නිලධාරීවරයා (JMO) පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වූ සහ රජයේ රස පරීක්ෂකවරයා වෙත සාම්පල යැවූ බරපතළ අධිකරණමය විමර්ශනයකි! ඔක්තෝබර් 13 වැනිදා අධිකරණ නියෝගය නිකුත් වී දින 3ක් යන තුරු මුනිවත රැකි රෝහල, කරුණු එළියට එද්දී ඔක්තෝබර් 16 වැනිදා ලියුම් කෑල්ලක් මඟින් මෙය “සමාජ මාධ්ය කටකතාවක්” ලෙස හකුළුවා දැමීමට තැත් කිරීමෙන්ම පෙනී යන්නේ ආසිරි පාලනාධිකාරියේ සාපරාධී වසන් කිරීමේ න්යායපත්රයයි.
නිවේදනයෙන්ම කියැවුණු අමානුෂික රෝහල් බිලේ කතාව!
මියගිය අයගේ පවුලේ ඥාතීන් වෙනුවෙන් ශෝකය පළකරන බව මවාපාන ආසිරි පාලනාධිකාරිය, සිය නිවේදනයේ ඊළඟ ඡේදයෙන්ම කියා සිටින්නේ “රෝහල් බිල්පත් පියවා නොතිබුණද (bills remained as yet unsettled) දේහය නිදහස් කිරීමේ ප්රමාදයක් සිදුනොකළ බවයි”.
මිනියක් ඉදිරියේ පවා ඔවුන්ට ප්රමුඛ වී ඇත්තේ “බිල” බවත්, තම ආයතනය සාධාරණීකරණය කරගැනීමට මියගිය අයගේ පවුල ප්රසිද්ධියේ අපහසුතාවට පත්කිරීමට තරම් මොවුන් තුච්ඡ වී ඇති බවත් මින් මනාව තහවුරු වේ.
අනෙක් අතට, රෝහලෙන් කිසිදු ප්රමාදයක් සිදුනොවූයේ නම්:
- දින දෙකක් තිස්සේ මෘතදේහය නොදී සිරකරගෙන සිටියේ ඇයි?
- අසරණ වූ දියණියට මරදාන පොලිසියට ගොස් පැමිණිලි කිරීමට සිදුවූයේ ඇයි?
- අධිකරණය මැදිහත් වී පශ්චාත් මරණ පරීක්ෂණයකින් පසු වහාම දේහය දියණියට භාරදෙන ලෙස නියෝග කිරීමට සිදුවූයේ ඇයි?
සත්යය නම්, නොගෙවූ බිල මුල්කරගනිමින් මෘතදේහය රඳවා තබාගෙන සිටි අතර, නීතියෙන් බෙල්ල මුලටම තදවන තුරු ඔවුන් දේහය මුදානොහැර සිටි බවයි.
වෛද්ය වාර්තා පොලිස් භාරයට: විවෘත තුවාල සහ රස පරීක්ෂක සාම්පල
පිළිගත් සායනික ක්රමවේද (clinical standards) අනුගමනය කළ බවට ඔවුන් ලියුම්වලින් පුරසාරම් දෙඩුවද, ක්ෂේත්රයේ සිදුවූයේ කුමක්ද?
- වාර්තා පොලිස් භාරයට: රෝගියාගේ සියලුම ප්රතිකාර සටහන් (BHT) සහ වෛද්ය ලිපිලේඛන මරදාන පොලිසිය මඟින් තම භාරයට ගෙන අධිකරණ වෛද්ය නිලධාරියා වෙත භාරදුන්නේ අධිකරණ නියෝග මතය.
- ශරීර කොටස් රස පරීක්ෂක වෙත: මරණයට හේතුව විවෘතව තබමින්, රෝගියාගේ අභ්යන්තර ඉන්ද්රිය සාම්පල වැඩිදුර විෂවේදී හා රසායනික පරීක්ෂණ සඳහා රජයේ රස පරීක්ෂක (Government Analyst) වෙත යොමු කර ඇත.
- විවෘත තුවාල: රෝගියාගේ සිරුරේ අදාළ ස්ථානවල පැවති විවෘත තුවාල ආශ්රිතව පටක සාම්පල ලබාගෙන තිබේ. රෝහල් ඇඳක් මත ප්රතිකාර ලබමින් සිටි රෝගියෙකුගේ සිරුරේ මෙවැනි බරපතළ විවෘත තුවාල හටගත්තේ කෙසේද යන්න ගැන ආසිරි රෝහලේ නිවේදනයේ වචනයකුදු සඳහන් නොවේ!
- සලකුණක් සහිතව භූමිදානය: මාලිගාකන්ද අධිකරණ නියෝගයේ 06(3) ඡේදය මඟින් නියම කර ඇත්තේ “දේහය බොරැල්ල පොදු සුසාන භූමියේ සලකුණක් තබා භූමිදානය කිරීමට” පමණි. ආදාහනය වැළැක්වූයේ ඉදිරියේදී අවශ්ය වුවහොත් නැවත ගොඩගෙන පරීක්ෂා කිරීමේ (Exhumation) නීතිමය ඉඩකඩ තබාගැනීමටය. මෙයම මරණයේ ඇති බරපතළ සැකය තහවුරු කරන්නකි.
වරෙන්තු පිට ඇප ලබා සිටින අශෝක් පතිරගේ ප්රමුඛ අධ්යක්ෂ මණ්ඩලයේ වගවීම
ආසිරි රෝහල් ජාලය මාලිගාකන්ද අධිකරණයට අමුත්තන් නොවේ! රජය නියම කළ උපරිම සිල්ලර මිල උල්ලංඝනය කරමින්, අත්යවශ්ය ඖෂධ පවා අධික මිල ගණන්වලට රෝගීන්ට අලෙවි කරමින් සිදුකළ මහා පරිමාණ ඖෂධ කොල්ලය සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) සහ පාරිභෝගික කටයුතු අධිකාරිය මඟින් මාලිගාකන්ද අධිකරණයේම නඩු පවරන ලදී.
එම නඩුවේදී අධිකරණය මඟහැර සිටීම හේතුවෙන් ආසිරි රෝහලේ සභාපති අශෝක් පතිරගේ ඇතුළු සමස්ත අධ්යක්ෂ මණ්ඩලයටම මාලිගාකන්ද මහෙස්ත්රාත්වරිය විසින් වරෙන්තු නිකුත් කළ අතර, පසුව ඔවුහු අධිකරණය හමුවේ පෙනී සිට ඇප මත මුදාහැරිණි.
Softlogic සමූහයේ මූල්ය අර්බුද හමුවේ, රෝගීන්ගේ අසරණකම ගසාකමින් ඖෂධ සඳහා අධික ලාභ ලබන, අධිකරණයෙන් වරෙන්තු ලබා ඇප පිට සිටින අශෝක් පතිරගේලාගේ පාලනයටත්, Asiri Central ඇතුළු සමස්ත රෝහල්වල සායනික මෙහෙයුම් භාර ප්රධාන මෙහෙයුම් නිලධාරිනී (COO) වෛද්ය සමන්ති ද සිල්වා (Dr. Samanthi De Silva) ඇතුළු බලධාරීන්ටත්, මෙවැනි අභිරහස් මරණයක් හමුවේ ලියුම් කෑලි නිකුත් කරමින් ඇඟ බේරාගැනීමට කිසිදු සදාචාරාත්මක අයිතියක් නැත!
පෞද්ගලික රෝහල් මාෆියාවට දැඩි නියාමනයක් වහාම ක්රියාත්මක විය යුතුයි!
එක් පසෙකින් අධික මිලට බෙහෙත් විකුණා නඩු අසන, අනෙක් පසින් මරණාසන්න රෝගීන්ගේ මිනී පවා බිල්පත් පියවන තුරු හිරකර තබන තත්ත්වයට පෞද්ගලික සෞඛ්ය ක්ෂේත්රය පරිහානියට පත්ව ඇත්තේ බලධාරීන්ගේ නිහඬතාව නිසාය.
මිනිස් ජීවිත මත හිතුමතේ සෙල්ලම් කරන මෙවැනි පෞද්ගලික රෝහල් ජාවාරම පාලනය කිරීමට නම්, පෞද්ගලික සෞඛ්ය සේවා නියාමන සභාව (PHSRC) සහ සෞඛ්ය අමාත්යාංශය කඩදාසිවලට සීමා නොවී දැඩි නීතිමය ක්රියාමාර්ග ගත යුතුය.
ආසිරි රෝහල නිවේදන මඟින් සත්යය යටගැසීමට කෙතරම් වලිකැවුවද, රජයේ රස පරීක්ෂක වාර්තාව සහ සම්පූර්ණ අධිකරණ වෛද්ය වාර්තාව හරහා නීතිය හමුවේ සියල්ල එළිවන තුරු සමස්ත රටම විමසිල්ලෙන් බලා සිටී!



