Saturday, December 20, 2025
spot_img

Latest Posts

ඇමතිටත් උඩින් පොලිසියට ඕඩර් දෙන අද්භූත ‘බිස්නස් කෝඩිනේටර්’ කවුද? – රාජ්‍යය පිටුපස සෙවණැල්ල!

හරි දේශය ගොසිප් කෝණරය

ජනතා පරමාධිපත්‍ය ගැන කෑ ගහන ආණ්ඩුවක් යටතේ මේ දිනවල දේශපාලන වේදිකාවටත් වඩා රස්නයෙන් ඇවිළෙන ආරංචියක් තමයි අපේ කෝණරයට ලැබී තිබෙන්නේ. ඒ තමයි ජනාධිපති, මහජන ආරක්ෂක ඇමතිතුමා සහ ලේකම්තුමාටත් ඉහළින් කෙළින්ම පොලිස් දෙපාර්තමේන්තුවට, විශේෂයෙන්ම දූෂණ මර්දන ඒකකවලට පවා නියෝග දෙන අද්භූත ‘බිස්නස් කෝඩිනේටර්’ කෙනෙකුගේ සෙවණැල්ල පිළිබඳ කතාව.

මේ කෝටිපති ව්‍යාපාරිකයා කවුද? ඔහු නිකම්ම නිකම් ‘බිස්නස් කෝඩිනේටර්’ කෙනෙක් නෙවෙයි. රාජගිරියෙ සුපිරි නිවාස සංකීර්ණයක වාසය කරන ඔහු තමයි රාජ්‍ය බලය පිටුපස සිට ක්‍රියාත්මක වන ‘සෙවණැලි ආණ්ඩුවේ’ ප්‍රධානම බිස්නස් සම්බන්ධීකාරක උනේ.

පැලවත්තේ නායකයින් සමග දිනපතා තේබොන රහස

අපට ලැබුණු විශ්වාසදායක පොලිස් අභ්‍යන්තර ආරංචි අනුව, මේ ‘බිස්නස් කෝඩිනේටර්’ මහත්තයා තමන්ගේ බලය ගොඩනගාගෙන තිබෙන්නේ අමුතු විදියකට. ඔහු, පැලවත්තේ නායකයින්, ඇමතිවරුන් සහ පොලිසියේ ඉහළම නිලධාරීන් සමග දිනපතා ‘තේ බොන’ තරමට සමීප සම්බන්ධතා පවත්වන බවට ප්‍රසිද්ධියේම පුරාජේරු කියනවා. ඔහුගේ නිවසට දිනපතාම මේ වගේ ‘ප්‍රභූ පිරිස්’ යන එන බව අඟවමින්, ඔහු කරන්නේ තමන්ගේ ව්‍යාපාරික ගජ මිතුරන්ගේ වැඩ ටික පොලිසිය ලවා කරවා ගැනීමයි. මේක ඇමති පුටුවලටත් වඩා බලගතු ‘සමාජ ජාලයක්’ (Social Network) බවට පත්වෙලා!

තේ සමාගමේ අර්බුදයට වලාන ඒකකයට ගිය බලපෑම්

මෙම පුද්ගලයාගේ බලපෑම්වල උච්චතම අවස්ථාව වාර්තා වූයේ පසුගියදා. ඒ, ඔහුගේ සමීපතම ව්‍යාපාරික මිතුරකු වන ප්‍රකට තේ සමාගමක හිමිකරුවකු වෙනුවෙන්. තේ ව්‍යාපාරිකයාට අවශ්‍ය වී තිබුණේ පුත්තලමේ අරුවක්කාලු ප්‍රදේශයේ ඔහුට තරඟකාරී වෙනත් සමාගමක් අත්පත් කර ගැනීමට හෝ ව්‍යාපෘතියට බාධා කිරීමටයි.

ඒ සඳහා, අපේ ‘බිස්නස් කෝඩිනේටර්’ මහත්තයා, කෙළින්ම වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක බලකායේ ඉහළ නිලධාරීන්ට දිගින් දිගටම ‘ඕඩර්’ දී තිබෙනවා! මේ ‘ඕඩර්’ ගිහින් තිබෙන්නේ පොලිස්පතිටත් එහා ගිය ‘අවශ්‍යතාවන්’ ලෙසින්. දූෂිතයන් සොයන ඒකකයම දූෂිත බලපෑම්වලට යටත් වීම රටේ නීතියේ ආධිපත්‍යයට කෙතරම් භයානකද?

ජනතා ආණ්ඩුවක ‘පිටුපස දොර’ පාලනය?

‘ජනතා උවමනාවක්’ වෙනුවෙන් පත්වූවාය කියන ආණ්ඩුවක් යටතේ මෙවැනි සිදුවීම් අසන්නට ලැබීම සැබවින්ම කනගාටුදායකය. එයින් පෙන්නුම් කරන්නේ, නිල බලධාරීන්ටත් වඩා කෝටිපති ව්‍යාපාරිකයන්ට රාජ්‍ය යාන්ත්‍රණය තුළ බලපෑම් කිරීමේ ‘පිටුපස දොරක්’ විවෘත වී ඇති බවයි. මෙය පොලිස් දෙපාර්තමේන්තුවේ ස්වාධීනත්වයට සහ නීතිය ඉදිරියේ සියල්ලන් සමාන ය යන මූලධර්මයට එල්ල වී ඇති බරපතලම අභියෝගයයි.

කෙසේ වෙතත්, වාර්තා වන පරිදි, පොලිසියේ ඇතැම් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙම ‘බිස්නස් කෝඩිනේටර්ගේ’ බලපෑම් පිළිබඳව ජනාධිපති කාර්යාලය දැනුවත් කර ඇත.

පසු සටහන: ප්‍රධාන නායකත්වයටත් ඉහළින් බලය ක්‍රියාත්මක කරන 'සෙවණැලි මිනිසෙක්' ගැන කතා කරන විට, මේ 'බිස්නස් කෝඩිනේටර්' කවුදැයි රට දැනගත යුතුමයි. නැතිනම්, රටේ නීතිය තීරණය කරන්නේ ව්‍යාපාරික 'ගජ මිතුරන්' මිස ඡන්දයෙන් පත්වූ නායකයන් නොවේ.

Latest Posts

spot_imgspot_img