භූ දේශපාලනික වශයෙන් අභියෝගාත්මක වසරක් වූ 2025 වසර අවසන් වීමට ඇත්තේ තවත් දින දෙකක් පමණි. එවන් අවස්ථාවක චීනය තායිවාන දූපත වට කරමින් සිදු කළ යුද අභ්‍යාසය පිළිබඳ ලෝකයේම අවධානය යොමු ව ඇත. මෙම යුද අභ්‍යාසය නම් කර තිබුනේ “Justice Mission 2025” ලෙසය.
තායිවාන දූපත වටා සිදු කළ මෙම මුර සංචාරය සඳහා සහභාගී වුයේ චීන මහජන විමුක්ති හමුදාවේ නැගෙනහිර යුද කලාප සේනාංකයයි. යුද සූදානමක් වශයෙන් ඊයේ(29) ආරම්භ වූ එම මුර සංචාර සඳහා චීන නාවික හා ගුවන් හමුදා බලකා සහභාගී වූ බව චීන මහජන විමුක්ති හමුදාවේ නැගෙනහිර යුද කලාප සේනාංකයේ ප්‍රකාශක Shi Yi ප්‍රකාශ කළේය.

එමෙන්ම එම සේනාංකයට අයත් පාබල, නාවික, ගුවන් හමුදා සහ රොකට් බලකායේ භටයින් යොදවමින් තායිවාන සමුද්‍ර සන්ධියේ, තායිවාන දූපතේ උතුර, නිරිතදිග, අග්නිදිග හා නැගෙනහිර දිශාවන්හි එම යුද අභ්‍යාසය සිදු කෙරිණ. මෙම “Justice Mission 2025” යුද අභ්‍යාස , තායිවාන බෙදුම්වාදීන් හා තායිවාන කටයුතුවලට මැදිහත්ව සිටින බාහිර බලවේගයන්ට එරෙහි දැඩි අනතුරු ඇඟවීමක් බවත්, එය චීනයේ ස්වාධිපත්‍යය හා එක්සත්භාවය ආරක්ෂා කිරීම සඳහා ගන්නා නීත්‍යනුකූල ක්‍රියාමාර්ගයක් බවත් චීනය නිවේදනයක් නිකුත් කරමින් කියාසිටී.
මෙම යුද අභ්‍යාසය අදියර කිහිපයක් යටතේ සිදු කළ අතර තායිවාන දූපතට නැගෙනහිර ප්‍රදේශයේ මෙහෙයුම සඳහා චීන ගුවන් හමුදාවේ බෝම්බ ප්‍රහාරක ගුවන් යානා කණ්ඩායම් ද සහභාගී වී තිබිණ. මෙම යුද අභ්‍යාසයේදී දිගු දුර ප්‍රහාර සහ ඒකාබද්ධ නිවැරදි ප්‍රහාර කෙරෙහි වැඩි අවධානයක් යොමු කර තිබේ. එමෙන්ම තායිවාන දූපතේ දුරස්ථ ප්‍රදේශවල සම්බන්ධීකරණ මෙහෙයුම්වල ක්‍රියාකාරිත්වය පරීක්ෂා කිරීම ද මෙම අභ්‍යාසවල අරමුණ වී ඇත.

මේ අතර මෙම යුද අභ්‍යාසය, “තායිවාන බෙදුම්වාදීන්” මිලිටරි බලයෙන් “ස්වාධීනත්වය” ලබා ගැනීමේ උත්සාහයන්ට දැඩි දඬුවමක් බවත්, චීන ජාතික ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ගයක් බවත් චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Lin Jian ඊයේ(29) මාධ්‍ය හමුවකදී පැවසීය. තායිවාන ගැටලුව සම්බන්ධයෙන් සීමාව ඉක්මවා යන ඕනෑම ප්‍රකෝපකාරී ක්‍රියාවකට චීනයෙන් දැඩි ප්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි ඔහු සඳහන් කළේය.
දෙවනි දිනටත් අඛණ්ඩව ක්‍රියාත්මක වූ මෙම යුද අභ්‍යාසය අද(30) තායිවාන දූපතේ දකුණු හා උතුරු දිශාවන් ඉලක්ක කොට සිදු විය. චීන මහජන විමුක්ති හමුදාවේ නැගෙනහිර සේනාංකය මේ සඳහා විශාල නෞකා, ප්‍රහාරක ගුවන් යානා යොදා ගෙන තිබිණ. ඉලක්ක හඳුනාගැනීම, අනතුරු ඇඟවීම, ආකෘති ප්‍රහාර මෙන්ම සමුද්‍රීය ප්‍රහාර, ගුවන් යානා හා සබ්මැරීන් විරෝධී ප්‍රහාර එම යුධ අභ්‍යාසයට ඇතුළත්ය.

මේ අතර චීන මහජන විමුක්ති හමුදාවේ නැගෙනහිර සේනාංකය මෙවර යුද අභ්‍යාසය තේමා ගත් පෝස්ටරයක් ද ප්‍රදර්ශනය කර ඇත. එහි තේමාව “Justice Hammer, Blockade and Disruption”යන්නයි. අදියර කිහිපයක් යටතේ සිදු කළ මෙම යුද අභ්‍යාසය තායිවාන ගැටලුවට මැදිහත් වන පාර්ශ්වයන්ට දැඩි අනතුරු ඇඟවීමක් බව චිචාරක මතයයි.



