අධිකරණයක් හමුවේ නඩුවක් පරාජය වූ පසු, නීතිමය පරාජය ගෞරවාන්විතව බාරගැනීම පරිණත පුද්ගලයෙකුගේ ලක්ෂණයකි. නමුත් පරාජය හමුවේ “ස්වභාවධර්මය උත්තර දුන්නා” යැයි කියමින්, මාධ්‍ය කැමරා ඉස්සරහා අභූත කතා මවන සන්දර්ශනවලින් නීතියේ තීන්දුව වෙනස් කළ නොහැක. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් දුන් තීන්දුව පැහැදිලිය: පැමිණිලි පාර්ශ්වය එල්ල කළ චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට අපොහොසත් වූ නිසා විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කර ඇත.
තමන්ගේ චෝදනා සාක්ෂි සහිතව ඔප්පු කරගැනීමට නොහැකි වූ තැන, අධිකරණ තීන්දුව තමන්ට ඕනෑ විලසට අර්ථකථනය කරමින් සමාජය නොමග යැවීමට දැරූ උත්සාහයේ ඇති බරපතල පරස්පරතා කිහිපයකි:
- චෝදනා ඔප්පු කිරීමට අපොහොසත් වීම: අධිකරණය විත්තිකරුවන් නිදහස් කළේ පැමිණිල්ල ඉදිරිපත් කළ සාක්ෂිවල ඇති අසම්පූර්ණතාවය සහ චෝදනා ඔප්පු කිරීමට නොහැකි වීම නිසා මිස, පුෂ්පිකාගේ “සමාව දීමක්” හෝ පුද්ගලයෙකුගේ අභාවයක් නිසා නොවේ.
- තර්කයේ ඇති අඥානකම: “මම ඒ වෙනකොටත් සමාව දීලා තිබුණේ” යැයි කියන්නේ නම්, වසර ගණනාවක් තිස්සේ නීතිමය ක්‍රියාමාර්ග පවත්වාගෙන ගියේ මන්ද? සමාව දුන් බව කියමින් නැවත අධිකරණ තීන්දුව හසුරුවන්නට හැදීම තනිකරම තමාගේ හිත හදාගැනීමට කියන කතාවකි.
- ස්වභාවධර්මයේ දඬුවම් සහ මානුෂීය යථාර්ථය: මරණය යනු ඕනෑම මනුෂ්‍යයෙකුට උරුම පොදු යථාර්ථයකි. එක් පාර්ශ්වයක අවාසනාවන්ත වෙන්වීම “ස්වභාවධර්මයේ දඬුවමක්” ලෙස හමුද්‍රණය කරමින් තමන්ගේ පරාජිත නඩුවට දිව්‍යමය අර්ථකථන දීමට යාම සදාචාරාත්මකව මෙන්ම නීතිමය වශයෙන්ද අතිශය තදින් හෙළා දිය යුතුය.
ශ්‍රී ලංකාවේ අධිකරණය ක්‍රියාත්මක වන්නේ පුද්ගලික හැඟීම්, කැමරා ඉදිරියේ කියන ලොරි කතා හෝ “ස්වභාවධර්මයේ දඬුවම්” මත නොව, ස්ථිර සාක්ෂි සහ නීතිමය පදනම මතය.
තමන් ඉදිරිපත් කළ චෝදනා ඔප්පු කරගත නොහැකිව නඩුව පරාජය වූ විට, සැබෑ වගකීම්සහගත චරිතයක් කළ යුත්තේ නීතියේ තීන්දුවට ගරු කිරීම මිස, මියගිය අයෙකුගේ නමද ගාවා ගනිමින් මාධ්‍ය ඉදිරියේ ලාභ නාටක රඟදැක්වීම නොවේ. නඩුව පැරදුනා නම් පැරදුනාමය; උසාවියෙන් නිදහස් කළේ චෝදනා ඔප්පු කිරීමට නොහැකි වූ නිසාම මිස වෙන කිසිදු හේතුවක් නිසා නොවන බව වටහාගත යුතුය.
(Himali Kolonne (Notary Public) මහත්මිය විසින් තැබූ ෆේස්බුක් සටහනක් ඇසුරින් සකස් කරන ලද ලිපියකි.)
FB link



