(විශේෂ ගවේෂණාත්මක හෙළිදරව්ව – 01 කොටස)
නීතිය ක්‍රියාත්මක කරමින් දූෂණයට එරෙහිව සටන් කරන බවට රටට පෙන්වූ ඉහළම පොලිස් නිලධාරීන්ගේ රෙදි ගැලවෙන අතිදැවැන්ත මූල්‍ය වංචාවක සහ අල්ලස් ජාවාරමක තොරතුරු මේ වන විට සියලු ලිඛිත සාක්ෂි සහිතව අනාවරණය වී තිබේ.
මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ (FCID) හිටපු ප්‍රධානී, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනිල් රවීන්ද්‍ර වෛද්‍යාලංකාර විසින් ඇමරිකාවේදී පවා මුදල් විශුද්ධිකරණයට වරදකරු වූ මහා පරිමාණ ජාවාරම්කාරයෙකුගෙන් කෝටි ගණනක අල්ලස් ලබාගෙන, අධිකරණයේ පැවැති නඩුවක් යට ගැසීමේ කුප්‍රකට ඩීල් එක පිළිබඳ බරපතලම චෝදනාව දැන් හෙළිදරව් වී හමාරය.

‘අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය’ සංවිධානය විසින් 2026 සැප්තැම්බර් 01 වන දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත යොමු කරන ලද පැමිණිල්ල හරහා මෙම රහසිගත මෙහෙයුමේ ඇතුළුපැත්ත මෙසේ දිගහැරේ.
FINCEN ඔත්තුව සහ රුපියල් කෝටි 7246ක කළු සල්ලි
මෙම ජාවාරමේ ප්‍රධාන සැකකරු වන්නේ ඇමරිකා එක්සත් ජනපදයේදී මුදල් විශුද්ධිකරණ චෝදනාවලට වරදකරු වූ රියන්සි එඩ්වඩ්ස් නැමැත්තායි. ඔහු ශ්‍රී ලංකාව තුළ සමාගම් තුනක් පිහිටුවාගෙන:


- නීති විරෝධී ලෙස විදේශයන්හි සිට රුපියල් මිලියන 7,246ක (කෝටි 724කට වැඩි) මුදලක් ශ්‍රී ලංකාවට ගෙනැවිත් විශුද්ධිකරණය කර ඇත.
- එම කළු සල්ලි යොදවා රුපියල් මිලියන 5,827ක් වටිනා අධි සුඛෝපභෝගී ඉඩම් කොටස් 18ක් සහ වාහන 28ක් මිලදී ගෙන තිබේ.
මෙම අතිදැවැන්ත මුදල් විශුද්ධිකරණය පිළිබඳව මුලින්ම ශ්‍රී ලංකාවේ මූල්‍ය බුද්ධි ඒකකය (FIU) වෙත රහසිගත තොරතුරු ලබාදී ඇත්තේ ඇමරිකානු මූල්‍ය අපරාධ විමර්ශන ජාලය වන FINCEN (Financial Crimes Enforcement Network) ආයතනයයි. ඒ අනුව FCID/144/2015 යටතේ පරීක්ෂණ ආරම්භ කර, 2015 අගෝස්තු 28 දින අධිකරණ නියෝග හරහා සැකකරුවන්ගේ ගමන් බලපත්‍ර තහනම් කිරීමටත්, දේපළ තහනම් කිරීමටත් FCID ය කටයුතු කළේය.
වෛද්‍යාලංකාර පවුල සහ කෝටි 5 1/2ක “මොනාක්” ඩීල් එක
පරීක්ෂණ එතැනින් ඉදිරියට ගොස් ජාවාරම්කරුවන්ට නීතිය ක්‍රියාත්මක විය යුතුව තිබියදී, FCID ප්‍රධානියා විසින් සිදුකර ඇත්තේ නඩුව යටගැසීමේ සූක්ෂම මෙහෙයුමකි:
2015 ඔක්තෝබර් 22: FCID ප්‍රධානියාගේ පුත් අසේල වෛද්‍යාලංකාර විසින් ‘මැලෝස් කන්සල්ටින් (පුද්ගලික) සමාගම’ ලියාපදිංචි කරයි.
2016 පෙබරවාරි 08: ‘සූර්යා ඉන්ටර් නැෂනල් කෝපරේෂන් (පුද්ගලික) සමාගම’ ලියාපදිංචි කෙරේ. මෙහි අධ්‍යක්ෂවරියන් වන්නේ රියන්සි එඩ්වඩ්ස්ගේ බිරිඳ සහ FCID ප්‍රධානී වෛද්‍යාලංකාරගේ බිරිඳයි!
2016 පෙබරවාරි 11: කිසිදු නීත්‍යානුකූල ආදායම් මාර්ගයක් නැති FCID ප්‍රධානියාගේ පුත් අසේල, කොළඹ 03 ගාලු පාරේ පිහිටි ‘මොනාක් රෙසිඩන්සීස්’ හි රුපියල් මිලියන 52ක් (කෝටි 5කට වැඩි) වටිනා සුඛෝපභෝගී මහල් නිවාසයක් මිලදී ගනී.
අල්ලස් ලෙස ලබාගත් මෙම ‘සූර්යා ඉන්ටර් නැෂනල්’ සමාගමේ ලියාපදිංචි ලිපිනය ලෙස යොදවා ඇත්තේ ද ඉහත කී මොනාක් රෙසිඩන්සීස් හි අංක 16/A2 දරන සුඛෝපභෝගී මහල් නිවාසයම වීමෙන් අල්ලස් ගනුදෙනුවේ ස්වභාවය මනාව තහවුරු වේ.
FCID ප්‍රධානියා නඩුව සුද්ද කළ හැටි
මෙම අල්ලස් ගනුදෙනුවෙන් පසු, 2015 දෙසැම්බර් මාසයේදී FCID ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් ස්වකීය බලතල අවභාවිත කරමින්:
1. ප්‍රධාන සැකකාර රියන්සි එඩ්වඩ්ස් සැකකරුවෙකු ලෙස නම් නොකර නඩුවෙන් මුළුමනින්ම නිදහස් කළේය.
2. එඩ්වඩ්ස්ගේ සහ බිරිඳගේ තහනම් කර තිබූ ගමන් බලපත්‍ර නිදහස් කර දෙන ලදී.
3. FINCEN හෙළි කළ, තහනමට ලක්ව තිබූ සියලුම දේපළ සහ වත්කම් නිදහස් කිරීමට කටයුතු කළේය.
රාජකාරී බලතල අවභාවිත කරමින්, අපරාධයක් මගහැරීම සඳහා අල්ලස් ලෙස දේපළ හා මුදල් ලබාගැනීම සම්බන්ධයෙන් 2023 අංක 09 දූෂණ විරෝධී පනතට අනුව කඩිනම් පරීක්ෂණයක් අරඹන ලෙසත්, අදාළ දේපළ රාජසන්තක කර වගකිවයුතු නිලධාරීන්ට දඬුවම් ලබාදෙන ලෙසත් පැමිණිල්ලෙන් ඉල්ලා සිටී.
අල්ලස් කොමිසමෙන් ප්‍රශ්නයක්!
වත්මන් ආණ්ඩුව විසින් පසුගිය කාලය පුරාවට යටගැසූ මෙවැනි මූල්‍ය වංචා හෙළිකරමින් සිටින මොහොතේ, මෙතරම් නිශ්චිත සාක්ෂි සහිතව ඉදිරිපත් කර ඇති මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා ගන්නා තීන්දුව කුමක්ද?

නීතිය සැමට එක ලෙස ක්‍රියාත්මක කර මෙම අතිදැවැන්ත ජාවාරමට සම්බන්ධ හිටපු FCID ප්‍රධානියා ඇතුළු පිරිසට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නේද යන්න පිළිබඳව මුළු රටම දැඩි විමසිල්ලෙන් පසුවේ!



