ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමට එරෙහිව එක්සත් ජාතික පක්ෂය (UNP) නිකුත් කළ නිවේදනය දැඩි ලෙස විවේචනය කිරීමට අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පියවර ගෙන තිබේ.
“නාමල් රිමාන්ඩ් වීම අලුත් දෙයක් නෙවෙයි”
නාමල් රාජපක්ෂ මහතා රක්ෂිත බන්ධනාගාරගත වීම කිසිසේත්ම නුහුරු හෝ අලුත් සිදුවීමක් නොවන බව මතක් කර දුන් නලින්ද ජයතිස්ස මහතා, රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිව සිටි සමයේදී ද ඔහු අවස්ථා කිහිපයකදීම මෙලෙස රිමාන්ඩ් භාරයට පත් වූ බව පෙන්වා දුන්නේය.
“නාමල් රාජපක්ෂ මහතාට චෝදනා එල්ලවීම හෝ රිමාන්ඩ් වීම පුදුමයට කරුණක් නෙවෙයි. මෙය ඔහු රිමාන්ඩ් වූ පළමු අවස්ථාව නෙවෙයි. අල්ලස් කොමිසම පරීක්ෂණ පවත්වා කරුණු වාර්තා කළාට පස්සේ ඔහුව රිමාන්ඩ් කරන්න තීරණය කළේ අධිකරණයයි. එතැන සිදුවුණේ නෛතික ක්‍රියාවලිය විතරයි,” යැයි අමාත්‍යවරයා පැවසීය.
එජාප පාක්ෂිකයන් පවා මුලා කළ නිවේදනය

නාමල් රාජපක්ෂගේ අත්අඩංගුවට ගැනීම හෙළා දකිමින් එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ මාධ්‍ය නිවේදනය සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍යවරයා, එජාපයට සැබවින්ම ආදරය කරන සහ පක්ෂය වෙනුවෙන් කැපවූ පැරණි පාක්ෂිකයන් පවා මෙවැනි ප්‍රකාශයක් දැක දැඩි ලෙස කලබලයට හා විමතියට පත්වනු ඇති බව පැවසීය.
දූෂණ හා වංචා චෝදනාවලට ලක්වූ පුද්ගලයන් ආරක්ෂා කිරීමට එජාපය දරන උත්සාහය මෙම නිවේදනයෙන් මනාව තහවුරු වන බවත්, අද වන විට චෝදනා ලැබූ පිරිස් එකට එකතු වී තමන්ගේ අයෙකු අත්අඩංගුවට පත්වූ විට මාධ්‍ය සංදර්ශන හා නිවේදන හරහා ඊට එරෙහිව හඬ නගන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් චෝදනා කළේය.
එයාර්බස් ගනුදෙනුව සහ රුපියල් කෝටි 10ක අල්ලස් චෝදනාව
මෙම සිදුවීමට අදාළ විමර්ශන මීට වසර කිහිපයකට පෙර සිදුවූ එයාර්බස් (Airbus) ගුවන් යානා ගනුදෙනුවට සම්බන්ධ රුපියල් මිලියන 100ක (කෝටි 10ක) අල්ලස් මුදලක් ලබාගැනීමේ සිද්ධියකට අදාළ වන බවත්, වත්මන් රජය බලයට පත්වීමෙන් පසු ඒ පිළිබඳ පරීක්ෂණ කඩිනම් කළ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විමර්ශන අවසන් කර අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසුව, සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තීරණය කළේ ස්වාධීන අධිකරණය විසින් බවත්, එය නිසි නීතිමය ක්‍රියාවලිය බවත් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කළේය.
Jayani Premathilaka



