Latest Posts

අගමැතිනියනි, ජාත්‍යන්තරයේ නාමයෙන් රටේ දරුවන්ගේ අනාගතය සූරාකන ‘British Council’ එකේ අධිරාජ්‍යවාදී මාෆියාවට තවදුරටත් නිහඬව සිටින්නේ ඇයි?

(කේම්බ්‍රිජ් උසස් පෙළ විභාගයේදී British Council එකේ අත්තනෝමතික, වගකීම් විරහිත ක්‍රියාකලාපය නිසා දැඩි අසාධාරණයකට ලක්වූ, එහෙත් අනාගතයට බියෙන් තම නම පවා හෙළි කිරීමට නොහැකිව අසරණ වූ අතිදක්ෂ ශ්‍රී ලාංකේය ශිෂ්‍යයෙකු විසින් අග්‍රාමාත්‍යවරිය වෙත යොමු කරන ලද අතිශය සංවේදී පෙත්සම ඇසුරිනි.)

ගෞරවනීය අග්‍රාමාත්‍යතුමියනි,

ලංකාවේ අහිංසක දෙමාපියන්ගේ ලේ නහර හූරා එකතු කරන මුදලින්, ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාපනයක් ලබා අනාගතයේදී මේ රටට සේවයක් කරන්නට හීන දකින දරුවෙකුගේ කඳුළු පිරි හදවතින් නඟන තනි පංගලමේ හඬයි මේ.

මම සාමාන්‍ය පෙළ විභාගයෙන් A* සාමාර්ථ 7ක් සහ A සාමාර්ථයක් ලබා ගනිමින්, Cambridge Outstanding Learner Award ගෞරව සම්මානයෙන් පවා පිදුම් ලැබූ, මගේ පාසලේ නියෝජ්‍ය ප්‍රධාන ශිෂ්‍ය නායකයා ලෙස කටයුතු කළ සිසුවෙක්මි. එහෙත්, මගේ පවුලට මුහුණ දීමට සිදු වූ දැඩි ආර්ථික අපහසුතා නිසා, පාසල් අධ්‍යාපනයෙන් ඉවත් වී British Council එක හරහා පෞද්ගලික අයදුම්කරුවෙකු ලෙස උසස් පෙළ විභාගයට පෙනී සිටීමට මට සිදු විය.

මම මේ ලිපිය ලියන්නේ මගේ නම හෙළි කිරීමට පවා නොහැකි අතිශය බියකරු මානසික පරිසරයක සිටයි. මන්ද, බලපුළුවන්කාර Foreign System එකකට එරෙහිව කතා කළොත් මගේ උසස් පෙළ ප්‍රතිඵල අහෝසි කරාවිද, මගේ අනාගතය විනාශ කරාවිද කියන බිය මගේ හදවත තුළ තිබෙන නිසාය.

අගමැතිනියනි, මම ඔබගෙන් අසන්නට කැමතියි…
මේ රටේ නිදහස් අධ්‍යාපනයට දෙවැනි නැති කැපවීමකින්, රෑ තිස්සේ නින්ද නොලබා, කැපකිරීම් දහසක් කරමින් අපි විභාගවලට ලෑස්ති වෙන්නේ, අන්තිමේදී ජාවාරම්කාරයින්ගේ ප්‍රශ්න පත්‍ර විකුණන සහ දරුවන් අසමත් කරවන සූදුවකට බිලිවෙන්නද?

1. ප්‍රශ්න පත්‍ර පිටවීම සහ British Council එකේ නොසැලකිල්ල

මෙවර Cambridge A-Level විභාගයේ ගණිතය, සමාජ විද්‍යාව, ව්‍යාපාර අධ්‍යයනය, පරිගණක විද්‍යාව, රසායන විද්‍යාව සහ ජීව විද්‍යාව ඇතුළු ප්‍රධාන විෂයයන් රැසක ප්‍රශ්න පත්‍ර විභාගය පැවැත්වීමට පැය ගණනාවකට පෙර යූ ටියුබ් (YouTube) සහ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියේ පිට විය. මාස ගණනාවක් නිසි නින්දක් පවා නොලබා මහන්සි වී පාඩම් කළ අපේ කැපවීම, මුදලට ප්‍රශ්න පත්‍ර ලබාගත් අය හමුවේ බිංදුවටම ඇද වැටුණි.

එහෙත් Cambridge එකේ සහ British Council එකේ ප්‍රතිචාරය කුමක්ද? තමන්ගේ ආරක්ෂිත පද්ධතියේ ඇති බරපතල හිඩැස් පිළිගන්නවා වෙනුවට, ඔවුන් එය හුදෙක් “සොරකමක්” ලෙස හඳුන්වා දෙමින් ඇඟ බේරාගැනීමට උත්සාහ කළේය. සමස්ත ප්‍රශ්න පත්‍ර පද්ධතියම දූෂිත වී තිබියදී, ගණිත විෂයයේ ප්‍රශ්න පත්‍ර 2ක් සඳහා පමණක් නැවත විභාග තබන බවත්, එක් ප්‍රශ්න පත්‍රයක් සම්පූර්ණයෙන්ම අවලංගු කර වෙනත් ක්‍රමවේදයකින් ලකුණු දෙන බවත් පවසමින් අපේ අනාගතය සමග සූදූ කෙළිති.

2. විභාග ශාලා තුළ සිදු වූ මානසික වධහිංසා සහ අපහාස

මගේ Computer Science ප්‍රායෝගික පරීක්ෂණයේදී, කිසිදු වරදක් නොකර සිටියදී මගේ පරිගණකය එක පිට එක ක්‍රියා විරහිත විය (System crash). මම ලියූ කේත (Codes) විනාශ වී යද්දී, මට අහිමි වූයේ වේලාව පමණක් නොවේ; මගේ මුළු එකඟතාවය සහ මානසික එකමුතුකමයි.

එතැන සිටි පරීක්ෂකවරයා මට උපකාර කරනවා වෙනුවට කළේ අපහාස කිරීමයි. “උඹල වේගයෙන් ටයිප් කළ නිසා තමයි Computer එක crash වුණේ” යැයි පවසමින්, ඔවුන්ගේ අසාර්ථක තාක්ෂණය වෙනුවෙන් වරද මගේ පිට පැටවූයේය. ඉන්පසු ආ දෙවන කණ්ඩායමට “වේගයෙන් ටයිප් කරන්න එපා” යැයි කියන්නට තරම් ඔවුන්ගේ පද්ධති අසාර්ථක විය. පරිගණක විද්‍යා විභාගයකදී “වේගයෙන් ටයිප් කරන්න එපා” යැයි පැවසීම තරම් නින්දිත විහිළුවක් තවත් තිබේද?

මීට පෙර 2024දී Physics practical එකට මට දුන්නේ මලකඩ කෑ, මේසයට හිර නොවන G-clamps ය. ඒ වෙනුවෙන් කිසිදු අමතර කාලයක් දුන්නේද නැත. මේවා අහම්බයන් නොවේ, British Council එකේ නිරන්තර බාල සේවයේ ප්‍රතිඵලය.

3. පාලකයින්ගේ නිහඬතාවය, ඩොලර්/පවුම් සූරාකෑම සහ Repeat ජාවාරම

එක් විෂයයක් සඳහා රුපියල් 40,000 – 50,000 ත් අතර අධික මුදලක් අපේ අසරණ දෙමාපියන්ගෙන් අය කරගනු ලබයි. මෙලෙස තමන්ගේ නොසැලකිල්ල සහ බාල පද්ධති නිසා දරුවන් අසමත් (Fail) වූ විට, එම දරුවන්ට සිදුවන්නේ නැවත නැවතත් පවුම්/ඩොලර්වලින් ලක්ෂ ගණන් ගෙවමින් විභාගවලට (Repeat) මුහුණ දීමටයි. මෙය මේ රටේ අහිංසක දෙමාපියන්ගේ මුදල් විදේශයන්ට ඇදගන්නා සංවිධානාත්මක මාෆියාවක් නොවේද?

එසේ තිබියදීත්, යම් අසාධාරණයක් සිදු වූ විට British Council එකේ කිසිදු උසස් නිලධාරියෙකු හමු වීමට අපේ දෙමාපියන්ට අවස්ථාවක් නැත. එවන ස්වයංක්‍රීය Email හැරුණු විට ඔවුන් කිසිදු වගවීමක් දක්වන්නේ නැත.

අගමැතිනියනි, මම ඉතාම සංවේදීව සහ දැඩි තර්කානුකූලව ඔබගෙන් අසන්නට කැමතියි:

  • මෙය British Council එක මගින් සිදු වූ පළමු අකටයුත්ත නොවේ. IELTS ඇතුළු බොහෝ විභාගවලදී ලංකාවේ මිනිසුන්ගෙන් කෝටි ගණනින් මුදල් ගන්නා මේ British Council එක සහ ඔවුන්ගේ Sub-contractors ලා ක්‍රියාත්මක වන්නේ කුමන පාලකයින්ගේ නියාමනය යටතේද?
  • පෞද්ගලික ආයතනයකට වුවද කිසිදු නියාමනයක් හෝ ප්‍රමිතියක් නැතිව මෙසේ අත්තනෝමතික ලෙස කටයුතු කිරීමටත්, අපේ රටේ දරුවන්ගේ අනාගතය අඳුරු කිරීමටත් ඉඩදී රජය සහ අධ්‍යාපන අමාත්‍යාංශය නිහඬව සිටින්නේ මන්ද?
  • මෙලෙස දරුවන් අසමත් කරමින්, නැවත නැවත විභාගවලට පෙනී සිටීමට සලස්වමින් රටේ මුදල් විදේශයන්ට ඇදගන්නා මේ මාෆියාව ඉදිරියේ රජය තවදුරටත් ගොළු වී සිටින්නේ ඇයි?
  • අපේ රටේ දරුවන්ට සිදුවන මෙවැනි මානසික හිංසනයන් සහ අසාධාරණයන් දෙස බලා සිටීමට මෙරට නීතියට හෝ රජයට බලයක් නැතිද?

ගෞරවනීය අගමැතිනියනි,

ඔබ අධ්‍යාපනය සහ සමාජ සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටි පාලකයෙකි. මම මේ ලියන්නේ මගේ අනාගතය වෙනුවෙන් පමණක් නොවේ, British Council එකේ සහ Cambridge සමාගමේ මාෆියාවට හසුව අසරණ වූ සමස්ත ශ්‍රී ලාංකේය සිසු පරපුරේම වේදනාවයි.

මෙම විදේශීය ආයතන ලංකාව තුළ සිදුකරන අත්තනෝමතික ජාවාරම් නියාමනය කිරීමටත්, පෞද්ගලික වුවද ප්‍රමිතියකින් යුතුව ක්‍රියාත්මක වීමට බලකිරීමටත් වහාම පියවර ගන්න. අපේ දරුවන්ගේ අනාගතය, සිහින සහ දෙමාපියන්ගේ මුදල් සූරාකෑමට මේ විදේශීය පද්ධතීන්ට තවදුරටත් ඉඩ නොතබන්න!

මෙයට, British Council අසාධාරණය හමුවේ අනාගතය අඳුරු වූ අසරණ ශ්‍රී ලාංකේය සිසුවෙක්.

(HariDeshaya.lk ජනමාධ්‍ය කණ්ඩායම විසින් ප්‍රකාශයට පත් කරන ලදී)

Latest Posts

spot_imgspot_img