විදුහල්පතිවරයෙකුගේ මත්ද්‍රව්‍ය ජාවාරම: අධ්‍යාපනයේ සහ දේශපාලනයේ විශ්වාසය බිඳවැටීම
අනුරාධපුර එප්පාවල ප්‍රදේශයෙන් වාර්තා වන ප්‍රධාන පාසලක විදුහල්පතිවරයෙකු හෙරොයින් කිලෝග්‍රෑම් එකයි ග්‍රෑම් විස්සක් (1.020kg) සමඟ අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය, ශ්‍රී ලංකාවේ සමාජය බරපතල අර්බුදයකට යොමු වී ඇති බවට වූ තිත්ත ඇත්ත යළි තහවුරු කරයි.
රටේ දරුවන්ගේ ආදර්ශය සහ අනාගතය භාරව සිටින අධ්‍යාපන ප්‍රධානියෙකු දීර්ඝ කාලයක් තිස්සේ මත්ද්‍රව්‍ය ජාවාරමක නිරත වී ඇත්නම්, අප අධ්‍යාපන පද්ධතියෙන් බලාපොරොත්තු විය යුත්තේ කුමක්ද? මෙම සිද්ධිය වඩාත් හාස්‍යජනක හා කම්පන සහගත වන්නේ, සැකකාර විදුහල්පතිවරයාගේ බිරිඳ ජාතික ජන බලවේගය (NPP) නියෝජනය කරන පෑලියගොඩ පළාත් පාලන මන්ත්‍රීවරියක් වීම හේතුවෙනි. මෙතෙක් කල් දූෂණයට එරෙහිව හඬ නැඟූ පක්ෂයක නියෝජිතවරියකගේ පවුල් පසුබිම මත්ද්‍රව්‍ය වැනි ජාතික ව්‍යසනයක් හා ගැටීම, මාලිමාවේ ‘පිරිසිදු දේශපාලන ක්‍රීඩකයින්’ යන සංකල්පයට කෙලින්ම එල්ල වූ ප්‍රබලතම මරු පහරයි.
බීමත් මන්ත්‍රීවරයාගේ දාමරිකකම: NPP හි නීතියේ ආධිපත්‍ය සංකල්පයට අභියෝගයක්
මේ අතර ඒ හා සමානව, හිඟුරක්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වන පරිදි, NPP ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු තම සොහොයුරා මුදා ගැනීමට බීමතින් පොලිසියට පැමිණ නිලධාරීන්ට තර්ජනය කර ජංගම දුරකථනයක් උදුරා ගැනීම, බලය ලත් පුද්ගලයන් නීතියට දක්වන නින්දිත අගෞරවය පෙන්නුම් කරයි.
NPP නායකත්වය නිතර කතා කරන නීතියේ ආධිපත්‍යය පිළිබඳ කතා, බලය ලැබුණු පසු ඔවුන්ගේම සාමාජිකයන් විසින්ම බොරු පොරොන්දු බවට පත් කරන ආකාරය මෙයින් පැහැදිලි වේ. නීතිය හා සාමය රැකීමට කැපවන බවට දිවුරන පක්ෂයක නියෝජිතයෙකු, බීමතින් රාජකාරියට බාධා කිරීමෙන් සහ නීතිය අතට ගැනීමට උත්සාහ කිරීමෙන්, නීතියේ උත්තරීතරභාවය පිළිබඳ පවතින විශ්වාසය තවදුරටත් හීන කරවයි.
‘ශුද්ධවන්තයින්ගේ‘ මිත්‍යාව බිඳවැටීම: NPP වෙත එල්ල වන දේශපාලන විවේචනය

ජාතික ජන බලවේගය (NPP) දිගින් දිගටම අවධාරණය කරන්නේ තමන් “පිරිසිදු, දූෂණයෙන් තොර” සහ අනෙකුත් පක්ෂවලට වඩා “ශුද්ධවන්ත” පිරිසක් බවයි. කෙසේ වෙතත්, මෙම සිදුවීම් මාලාව මගින් NPP සතුවූ ‘පිරිසිදු ප්‍රතිරූපයට’ බරපතල අභියෝගයක් එල්ල වී ඇත:
- මත්ද්‍රව්‍ය ජාවාරම: රටේ දරුණුතම අපරාධයක් වන මත්ද්‍රව්‍ය ජාවාරමට NPP මන්ත්‍රීවරියකගේ පවුලේ ප්‍රධාන සාමාජිකයෙකු සම්බන්ධ වීම, ඔවුන්ගේ ‘පිරිසිදු ප්‍රතිරූපයට’ ප්‍රබල හානියක් සිදු කරයි.
- නීතියට අගෞරවය: NPP ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු බීමතින් පොලිස් රාජකාරියට බාධා කිරීම, නීතියට කෙළින්ම පටහැනි ක්‍රියාවකි.
දේශපාලන ක්‍රීඩාවේ යථාර්ථය සහ සුජාතභාවය සෙවීමේ අර්බුදය
වසර ගණනාවක් තිස්සේ සියයට තුනක පමණ ඡන්ද ප්‍රතිශතයකට සීමා වී සිටි NPP, ගෝල්ෆේස් අරගලයෙන් පසුව රටේ දූෂිත දේශපාලනයට පිළිකුල් කළ විශාල පිරිසකගේ ජනවරමක් දිනා ගත්තේය. මෙම ජනවරම ගොඩනැගුණේ, ‘දූෂණයෙන් තොර අපේක්ෂාවක්’ සහ ‘අපි අන් සියල්ලන්ට වඩා ශුද්ධවන්තයි’ යන දැඩි පදනම මතය. වත්මන් පාලනය තුළ සිටින්නේ රාජපක්ෂලා සමග සිටි 69 ලක්ෂයෙන් මෙන්ම එජාප/සජබ යෙන් බිඳී ආ පිරිසකගෙන් සමන්විත බවත් නව සාමාජිකයන් බඳවා ගැනීමේදී, පක්ෂය විසින් ඔවුන්ගේ පෞද්ගලික සහ ව්‍යාපාරික පසුබිම පිළිබඳව මීට වඩා සැලකිලිමත් විය යුතුව තිබිණු බවත් බොහෝ මාලිමා හිතවතුන් දැන් පවසන්නට පටන් ගෙන ඇත.
යථාර්ථය නම්, බලය යන සාධකය පමණක් ප්‍රමුඛව පවතින ‘දේශපාලන’ ක්‍රීඩාව තුළ කිසිවෙකුගේ සුජාතභාවය සෙවීමට අවස්ථාවක් නොමැති බවට වූ සත්‍යය ජනතාව තවදුරටත් තේරුම් ගත යුතුවීමයි.
පද්ධතිමය වෙනසක අසාර්ථකත්වය සහ ඉදිරි අවදානම
ජාතික ජන බලවේගය බලයට පත් වුවද, ඔවුන් ප්‍රකාශ කරන පරිදි පවතින පරිභෝජන රටාව, පන්ති පරතරය සහ දේශපාලන ක්‍රමය තවමත් මූලික වශයෙන් වෙනස් වී නොමැති සන්දර්භයක් තුළ, බලයට පත්වන කවරෙක් හෝ වේවා මුහුණ දෙන්නේ පැරණි දේශපාලන ආශාවන්ගේ සහ වැරදිවල නැවත පුනරාවර්තනයටමය. මෑත ඉතිහාසයේදී මෙන්ම, බිස්නස් ඩීල්, ටෙන්ඩර් අනුමැතීන්වල ඇති ඩීල් වැනි කතා ඉදිරියේදී මෙම පාලනය තුළ ද සමාජගත වීම නොවැලැක්විය හැකි වනු ඇත.
එබැවින්, NPP විසින් වහාම සිය සාමාජිකයන් සම්බන්ධයෙන් දැඩිම විනය ක්‍රියාමාර්ග ගෙන, එය රටට ප්‍රසිද්ධියේ දැනුම් දිය යුතුය. එසේ නොවුණහොත්, ඔවුන් නිතර විවේචනය කළ දූෂිත පාලක පක්ෂ මෙන්ම, තමන් හා සම්බන්ධ වැරදිකරුවන් 'ආරක්ෂා කරන' පක්ෂයක් ලෙස ජනතාවගේ විශ්වාසය සදහටම බිඳ වැටීමේ අවදානම අතිශයින් ඉහළ ය.

