ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී (SLT-Mobitel) සමාගමේ 29 වැනි වාර්ෂික මහා සභා රැස්වීම (AGM) ආසන්න වෙමින් පවතින පසුබිමක, එහි පාලනාධිකාරිය සහ අධ්යක්ෂ මණ්ඩලයේ සංයුතිය සම්බන්ධයෙන් දැඩි මතභේදාත්මක තත්ත්වයක් හටගෙන ඇති බව වාර්තා වේ. විශේෂයෙන්ම නියමිත වයස් සීමාව ඉක්මවූ අධ්යක්ෂ මණ්ඩලයක් පවත්වාගෙන යාම සහ මහා සභා රැස්වීම හදිසියේ මාර්ගගත (Online) ක්‍රමයට පැවැත්වීමට ගෙන ඇති තීරණයට සුළු කොටස් හිමියන්ගේ සහ සේවක පාර්ශවයන්ගේ දැඩි විරෝධය එල්ල වී තිබේ.

“මහලු මඩමක්” වූ බවට චෝදනා
වත්මන් සභාපති ආචාර්ය මොතිලාල් ද සිල්වා, සමාගමේ දෙවැනි විශාලතම කොටස් හිමියා වන GTH නියෝජනය කරන චෙන් චී බෙන් සහ මෑතකදී පත් කළ නිහාල් ෆොන්සේකා යන මහත්වරුන් සියලු දෙනාම වයස අවුරුදු 70 සීමාව ඉක්මවා හෝ ඊට ආසන්නව සිටින බවත්, නව තාක්ෂණික යුගයට ගැලපෙන තරුණ නායකත්වයක් ආයතනයට අහිමි වී ඇති බවටත් විවිධ පාර්ශව චෝදනා කරති.
5G, කෘතිම බුද්ධිය (AI) සහ ඩිජිටල් ආර්ථික පරිවර්තනයන් හමුවේ තරඟකාරී පෞද්ගලික සන්නිවේදන ආයතන වේගයෙන් ඉදිරියට යද්දී, ටෙලිකොම් ආයතනයේ තීරණ ගැනීම් මන්දගාමී වී ඇති බවටත්, නවෝත්පාදන උපායමාර්ග ක්‍රියාත්මක නොවීම නිසා සමාගම පසුබෑමකට ලක්ව ඇති බවටත් ඔවුහු පෙන්වා දෙති.
නීතියේ සිදුරුවලින් රිංගා යාම
2007 අංක 07 දරන සමාගම් පනතේ 210 වගන්තිය අනුව වයස අවුරුදු 70 සම්පූර්ණ වූ පසු පොදු සමාගමක අධ්යක්ෂවරුන් විශ්‍රාම ගත යුතුය. එහෙත් එම පනතේම 211 වගන්තිය යටතේ වාර්ෂික මහා සභා රැස්වීමකදී විශේෂ සාමාන්‍ය යෝජනාවක් (Ordinary Resolution) සම්මත කරගැනීම හරහා ඔවුන්ව නැවත පත් කිරීමට පාලනාධිකාරිය කටයුතු කරමින් සිටින බව වාර්තා වේ. ඊට අමතරව, 2025 අංක 12 දරන නව සමාගම් (සංශෝධන) පනත හරහා ද මෙම පත්වීම්වල වලංගු කාලය “ඊළඟ වාර්ෂික මහා සභා රැස්වීම” දක්වා දීර්ඝ කරගැනීමට ඔවුහු නෛතික අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් සිටිති.
ඔන්ලයින් මහා සභා රැස්වීම ගැන සැක මතු වෙයි

මේ අතර, මෙවර වාර්ෂික මහා සභා රැස්වීම කොළඹ රමාඩා හෝටලයේදී භෞතිකව පැවැත්වීමට මීට පෙර එකඟතා පැවතියද, එය හදිසියේම අන්තර්ජාලය ඔස්සේ (Virtual/Online) පැවැත්වීමට අධ්යක්ෂ මණ්ඩලය තීරණය කර ඇත. සුළු කොටස් හිමියන් පවසන්නේ අධ්යක්ෂ මණ්ඩලයේ වයස්ගතභාවය, මූල්‍ය කළමනාකරණ දුර්වලතා සහ ඉදිරි සැලසුම් පිළිබඳව සෘජුව ප්‍රශ්න කිරීමට කොටස් හිමියන්ට ඇති ප්රජාතන්ත්රවාදී අවස්ථාව හිතාමතාම මඟහැරීම සඳහා මෙම තීරණය ගෙන ඇති බවයි.
නායකත්ව ගැටුම සහ බරපතල මූල්‍ය චෝදනා
ආයතනය තුළ උග්‍ර නායකත්ව අර්බුදයක්ද නිර්මාණය වී ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. වත්මන් සභාපතිවරයාට සේවක මර්දනය සහ ප්‍රසම්පාදන විනිවිදභාවය පිළිබඳ චෝදනා කිහිපයක් එල්ල වී ඇත.
ඔහු ඉවත් කර ඒ වෙනුවට පත් කිරීමට යෝජනා වී ඇති බව කියන චන්ද්‍රසිරි කළුපහන මහතාට එරෙහිව ද බරපතල මූල්‍ය අක්‍රමිකතා චෝදනා එල්ල වී තිබීම තත්ත්වය තවත් උග්‍ර කර ඇත. ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ (RDB) සේවය කළ සමයේ රුපියල් මිලියන 615 ක මූල්‍ය අක්‍රමිකතා සිදු කළ බවට විගණකාධිපති චෝදනා, අනුමැතියකින් තොර විදේශ සංචාර සහ වංචනික බිල්පත් ප්‍රතිපූරණය කිරීම් සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී ඇති බව වාර්තා වේ.
මෙම අර්බුදකාරී තත්ත්වය හමුවේ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ ඉදිරි පැවැත්ම සහ වෙළෙඳපොළ තරඟකාරීත්වය දැඩි අවදානමකට ලක්ව ඇති බවත්, ආයතනය ගලවා ගැනීම සඳහා ගෝලීය තරඟකාරීත්වයට මුහුණ දිය හැකි තරුණ සහ විනිවිදභාවයෙන් යුත් කළමනාකාරීත්වයක් වහා පත් කළ යුතු බවත් වෘත්තීය සමිති සහ කොටස් හිමියෝ අවධාරණය කරති.



