Latest Posts

විදේස් බසින් පමණක් ලේබල් ගැසූ කොල්ලුපිටියේ ප්‍රසිද්ධ සුපිරි වෙළඳසැලක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ දැලට හසුවෙයි!

ආනයනික ආහාර ද්‍රව්‍ය අලෙවි කරනු ලබන කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ සුපිරි වෙළඳසැලක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් විසින් හදිසි වැටලීමකට ලක් කර තිබේ. ඒ, මෙරට පාරිභෝගික නීති රීති උල්ලංඝනය කරමින් සෞඛ්‍යාරක්ෂිත නොවන අයුරින් භාණ්ඩ අලෙවි කිරීමේ චෝදනාව මතය.

නීතිය කැඩූ “ලස්සන ඇසුරුම්”

මෙම වැටලීමේදී අනාවරණය වී ඇත්තේ අදාළ සුපිරි වෙළඳසැල තුළ අලෙවියට තබා තිබූ ඇසුරුම් කළ ආහාර ද්‍රව්‍ය රැසක, පාරිභෝගිකයෙකුට අත්‍යවශ්‍ය වන උපරිම සිල්ලර මිල, කාණ්ඩ අංකය, නිෂ්පාදිත සහ කල් ඉකුත්වීමේ දිනයන්, අඩංගු ද්‍රව්‍ය ආදී කිසිදු තොරතුරක් සඳහන් කර නොතිබූ බවයි.

එම ලේබල් වල සඳහන් කිසිඳු තොරතුරක් දේශීය පාරිභෝගිකයන්ට කියවිය හැකි භාෂාවකින් සටහන් කර නොතිබූ අතර, ඒවායේ අන්තර්ගතය සම්පූර්ණයෙන්ම විදේශීය භාෂාවලින් පමණක් සමන්විත ලේබල් සහිතව නීතිවිරෝධී ලෙස අලෙවි කරමින් තිබියදී නිලධාරීන් භාරයට ගෙන ඇත.

පාරිභෝගික සෞඛ්‍යය දැඩි අවදානමක!

දේශීය මෙන්ම විදේශීය පාරිභෝගිකයින් ද නොමඟ යවමින් සිදුකරන මෙම ජාවාරම හේතුවෙන්, පාරිභෝගිකයින්ට එම ආහාර ද්‍රව්‍යවල අන්තර්ගතය පිළිබඳව හෝ ඒවා භාවිත කරන්නේ කෙසේද යන්න පිළිබඳව කිසිදු අවබෝධයක් ලබා ගැනීමට නොහැකි වන බව පාරිභෝගික අධිකාරිය පෙන්වා දෙයි.

නිෂ්පාදකයාගේ හෝ ආනයනකරුගේ විස්තර සහ අනිවාර්ය නීතිමය තොරතුරු නොමැතිව මෙලෙස ඇසුරුම් කළ ආහාර ද්‍රව්‍ය වෙළඳපොළේ අලෙවි කිරීම පාරිභෝගික සෞඛ්‍යය දැඩි අවදානමකට ලක් කරන අතිශය බරපතළ තත්ත්වයක් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

මේ වන විට අදාළ ආයතනය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කර ඇති අතර, විමර්ශන අවසානයේදී ඊට එරෙහිව තරාතිරම නොබලා දැඩි නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවද පාරිභෝගික අධිකාරිය අවධාරණය කරයි.

මහජනතාව වෙත විශේෂ දැනුම්දීමක් කරමින් එම අධිකාරිය කියා සිටින්නේ, මෙවැනි ඇසුරුම් කළ ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමේදී අනිවාර්ය ලේබල් තොරතුරු පිළිබඳව දැඩි ලෙස සැලකිලිමත් වන ලෙසයි.

ඇතැම් ව්‍යාපාරිකයන් සිදුකරන මෙවැනි වංචනික සහ නීතිවිරෝධී ක්‍රියාකාරකම් පිළිබඳව තොරතුරු පවතී නම්, කාර්යාල වේලාවන් තුළ 1977 කෙටි ඇමතුම් අංකය ඔස්සේ වහාම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දැනුම් දෙන ලෙසද මහජනයාගෙන් ඉල්ලා සිටියි.

Latest Posts

spot_imgspot_img