Latest Posts

බුද්ධි තොරතුරු ලෝකයටම විවෘත කරන ‘මුරපද’ සෙල්ලම: දයාසිරි ජයසේකරගෙන් රටම හකුලා යන අනාවරණයක්!

වත්මන් රජයේ ක්‍රියාකලාපය හුදෙක් භෞතික සම්පත් කොල්ලකෑමකට පමණක් සීමා නොවී, රටේ ස්වෛරීභාවය, ජාතික ආරක්ෂාව, සංස්කෘතිය සහ පොදු ජන අයිතීන් බිලිදෙන බරපතළ මෙහෙයුමක් දක්වා දිවයන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

මහනුවරදී (14) පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා අවධාරණය කළේ, හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ ගේ පරිගණක මුරපද (Passwords) ඉල්ලා සිටීම පිටුපස රටේ සමස්ත බුද්ධි පද්ධතියම ජාත්‍යන්තරය හමුවේ පාවාදීමේ සූදානමක් පවතින බවයි.

මෙම මාධ්‍ය හමුවේදී මන්ත්‍රීවරයා විසින් රටේ අවධානය යොමුවිය යුතු ප්‍රධාන කරුණු කිහිපයක් දීර්ඝ ලෙස අනාවරණය කළේය.

සුරේෂ් සලේගේ මුරපද (Passwords) ඉල්ලන්නේ ඇයි?

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතා අත්අඩංගුවට ගෙන තිබීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා, ඔහු පාස්කු ප්‍රහාරයට සම්බන්ධ නම් නීතිය ක්‍රියාත්මක කිරීමේ ගැටලුවක් නොමැති බව ප්‍රකාශ කළේය. නමුත්, ඔහුගේ පරිගණකයේ මුරපද (Passwords) ඉල්ලා සිටීම පිටුපස දැවැන්ත කුමන්ත්‍රණයක් පවතින බව ඔහු පෙන්වා දෙයි.

“ඒ පරිගණකයේ තියෙන්නේ ඔහුගේ පුද්ගලික දේවල් නෙවෙයි; 2009 යුද්ධය අවසන් වනතුරු සිදුවුණු රහසිගත බුද්ධි තොරතුරු. ප්‍රභාකරන්ව මරා දමන්න බුද්ධි තොරතුරු ආවේ, දිගුදුර විහිදුම් බලකායන් මෙහෙයවූයේ ඔය බුද්ධි අංශ පරිගණක පද්ධතිය හරහායි. ඒ මුරපද ඉල්ලන්නේ මේ රටේ සමස්ත බුද්ධි තොරතුරු සහ ඉදිරියට වෙන්න තියෙන ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධ තොරතුරු පද්ධතියම ලෝකයටම විවෘත කරලා පාවා දෙන්නයි.”

“රේගු නීතියට උඩින් යන්න ජනාධිපතිටවත් බෑ” – කන්ටේනර් 323ක අභිරහස

දූෂණය, වංචාව නැති කිරීමට පැමිණි පාලකයින්ගේ පළමු ආරම්භයම ගැටලුසහගත බව මන්ත්‍රීවරයා පවසයි. ‘අපි තමයි වැඩ කරන්නේ’ කියා බලයට පැමිණි පිරිස් මුලින්ම කන්ටේනර් 323ක් හොරෙන් පන්නා ඇති බවත්, එම කන්ටේනර්වල තිබුණේ මොනවාද, ඒවායේ වටිනාකම කොපමණද යන්න අදටත් රහසක් බවත් ඔහු සඳහන් කළේය.

ලංකාවේ රේගු නීතියට ඉහළින් යන්නට ජනාධිපතිවරයාට, මුදල් ඇමතිවරයාට හෝ රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට නොහැකි බවත්, නීති කඩ කරමින් කන්ටේනර් පිටින් යැවීමට කටයුතු කළ පිරිස්වලට අනාගතයේදී අනිවාර්යයෙන්ම උත්තර දීමට සිදුවන බවත් දයාසිරි ජයසේකර මහතා අවධාරණය කරයි.

ගල්අඟුරු සහ තෙල් වංචා මඟින් කෝටි ප්‍රකෝටි ගණනක පාඩුවක්

පසුගිය කාලසීමාවේ සිදු වූ ගල්අඟුරු වංචාවේ පාඩුව කාගේ සාක්කුවලට ගියේදැයි ප්‍රශ්න කරන මන්ත්‍රීවරයා, තෙල් නැව්වලින් සිදුවූ දැවැන්ත වංචාව පිළිබඳව මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඉදිරියේදී තවදුරටත් කරුණු හෙළි කරනු ඇතැයි පැවසීය.

මාස 3ක හෝ 6ක ‘ටර්ම් ටෙන්ඩර්’ (Term Tenders) පසෙක ලා, තමන්ට අවශ්‍ය පරිදි ‘ස්පොට් ටෙන්ඩර්’ (Spot Tenders) සකස් කරමින් හිතුමතේ මිල ගණන්වලට තෙල් මිලදී ගෙන ඇති බවට ඔහු චෝදනා කරයි. ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක් ඩොලර් 120ට පවතිද්දී, නැව් පිටින් තෙල් මිලදී ගෙන ඇත්තේ ඩොලර් 286ට සහ 300ටය. අද වන විට ලෝක වෙළෙඳපොළේ මිල ඩොලර් 83 දක්වා පහත බැස තිබුණද, එම සහනය ජනතාවට ලබා නොදෙන රජය, එළඹෙන ජූනි මාසයෙන් පසු IMF ගිවිසුම ක්‍රියාත්මක වෙද්දී තෙල් මිල සහ විදුලි බිල නැවත වරක් ඉහළ දැමීමට සූදානමින් සිටින බවද හෙළි කළේය.

දත්ත පද්ධතිය සහ සෞඛ්‍ය ක්ෂේත්‍රය ඉන්දියාවට පාවා දීම

භෞතික සම්පත්වලට අමතරව රටේ මූලික වටිනාකම්වලටද (Core Values) පහර වදිමින් පවතින බව මන්ත්‍රීවරයා පවසයි. බලයට පත් වූ විගස ඉන්දියාව සමඟ අත්සන් කරන ලද, පාර්ලිමේන්තුව හෝ රටේ ජනතාව නොදන්නා රහසිගත ගිවිසුම් හරහා රටේ සමස්ත දත්ත පද්ධතියම (Data System) ඉන්දියාවට ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වේ. එදා මේවාට විරුද්ධව හඬ නැඟූ අනුර කුමාර දිසානායකලාම අද ඒවා ක්‍රියාත්මක කරන බව ඔහු සඳහන් කරයි.

එමෙන්ම, ‘සෞඛ්‍ය සංජීවනී’ නැමැති වැඩසටහනක් යටතේ ඉන්දියාවේ පවතින බාල ඖෂධ ලංකාවට ගෙන්වීම සඳහා ගිවිසුම් අත්සන් කර තිබුණද, ඒ පිළිබඳව කිසිවෙකුත් කතා නොකරන බව ඔහු පෙන්වා දෙයි.

ඉතිහාසය සහ සංස්කෘතිය විනාශ කිරීමේ කුමන්ත්‍රණයක්

10 වැනි පන්තියේ අනිවාර්ය විෂයයක් ලෙස පැවැති ‘ඉතිහාසය’ විෂය අද වන විට නතර කර දමා ඇත්තේ ඉතිහාසය නොදන්නා හිස් මිනිසුන් පිරිසක් බිහි කිරීමේ අරමුණින් බව මන්ත්‍රීවරයා පවසයි. ප්‍රංශයේ පුරවැසිභාවය ලබා ගැනීමට පවා ප්‍රංශ ඉතිහාසය ඉගෙනගෙන විභාග සමත් විය යුතු වුවද, ලංකාවේ අවුරුදු 2600ක ඉතිහාසය, සංස්කෘතිය සහ සදාචාරය සම්පූර්ණයෙන්ම විනාශ කිරීමට පියවර ගනිමින් සිටී.

සමාජ මාධ්‍ය (Facebook) හරහා උදේ සිට රෑ වනතුරු බෞද්ධ ශාසනයට, මහා සංඝරත්නයට, විහාරස්ථානවලට මෙන්ම අන්‍ය ආගමික පල්ලිවලටද අපහාස කරමින් රටේ පවතින ආගමික සහජීවනය නැති කිරීමට සැලසුම්සහගතව කටයුතු කරමින් සිටින බවද ඔහු ප්‍රකාශ කළේය.

‘118’ චක්‍රලේඛය සහ නිදහසේ දියුණු වීමේ අයිතිය අහිමි කිරීම

පොලිසිය වෙත නිකුත් කර ඇති ‘ජේවීපී චක්‍රලේඛය 118’ හරහා ගම් මට්ටමින් සිදුවන දේශපාලන මැදිහත්වීම් මන්ත්‍රීවරයාගේ විවේචනයට ලක්විය. ගමේ කවුරුන් හෝ අලුතින් වාහනයක්, ඉඩමක් හෝ ව්‍යාපාරයක් ආරම්භ කළහොත් 118 අංකයට දැනුම් දෙන ලෙස ඉන් කියැවෙන බවත්, ඉන් පසු පොලිසිය පැමිණ මුදල් සෙවූ ආකාරය පිළිබඳව ප්‍රශ්න කරන බවත් ඔහු පැවසීය.

මේ හේතුවෙන් අද වන විට පොලිස් ස්ථානාධිපතිවරුන්ට (HQO/OIC) හොරකම් හෝ මිනීමැරුම් සෙවීමට කාලයක් නොමැති අතර, මිනිසුන් දියුණු වන ආකාරය සෙවීමට සිදුවීමෙන් පුද්ගලයෙකුට නිදහසේ දියුණු වීමට ඇති අවස්ථාව අහිමි වී ඇත.

“සැප්තැම්බර් 21 රටම එකම තැනකට!” – ආණ්ඩුව ගෙදර යවන දැවැන්තම බලවේගය ලෑස්තියි

රටේ පවතින බිඳවැටීම හමුවේ සෞඛ්‍ය සහ පොලිස් සේවයේ දහස් ගණන් නිලධාරීන් රට හැර යමින් පවතින අතර රෝහල් වැසී යන තත්ත්වයක් උදාවී ඇත. සුනාමි ව්‍යසනයෙන් විනාශ වූ සියල්ල දින 56කින් ගොඩනැඟූ රටක, අද වන විට මාස හයක් ගතවීත් ජනතාව තවමත් කූඩාරම්වල ජීවත් වන බව දයාසිරි ජයසේකර මහතා සිහිපත් කළේය. ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයා මහනුවර සිට අදහස් දැක්වුවද, මහනුවර බලා ධාවනය වූ ‘උඩරට මැණිකේ’ ඇතුළු සියලුම දුම්රිය ගමන් අද වන විට නතර කර දමා ඇත.

අවිස්සාවේල්ලෙන් ආරම්භ වූ මෙම දැවැන්ත ජනතා පවුර මහනුවරට පැමිණි බවත්, ලබන මාසයේදී එය කුරුණෑගල දක්වා ගමන් කරන බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය. වත්මන් රජයට වසර දෙකක් සපිරෙන එළඹෙන සැප්තැම්බර් 21 වැනිදාට මුළු රටේම දැවැන්ත ජනකාය කොළඹට ඒකරාශී කරමින්, මේ ආණ්ඩුව ගෙදර යවන දැවැන්තම ආණ්ඩු විරෝධී බලවේගය ගොඩනඟන බව දයාසිරි ජයසේකර මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

Latest Posts

spot_imgspot_img