ලංකා රාජ්‍ය වෙළඳ සංස්ථාවේ (CSTC) හිටපු සභාපතිවරයෙකු වූ හුසේන් අහමඩ් හෙවත් හුසේන් භයිලා, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම (CIABOC) විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප මත මුදා හැරීම සම්බන්ධ සිද්ධිය ‘හරි දේශයේ’ විමර්ශනයට ලක් වේ.
ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් සහ රුපියල් 50,000 ක මුදල් ඇපයක් මත ඔහුට ඇප නියම කළ අතර, සැකකරුට රටින් පිටවීම වළක්වාලමින් විදේශ ගමන් තහනමක් ද පනවන ලදී. නඩුව යළි කැඳවීමට නියමිත දින වනුයේ 2026 ජනවාරි 23 යි.
CIABOC හි නිල චෝදනාව සහ මූල්‍ය අලාභය
අල්ලස් කොමිසම විසින් හුසේන් භයිලා මහතාට එල්ල කර ඇති මූලික චෝදනාව වන්නේ, ලංකා රාජ්‍ය වෙළඳ සංස්ථාව සඳහා භාණ්ඩ හා සේවා ප්‍රසම්පාදනය කිරීමේදී නිසි ක්‍රියා පටිපාටි අනුගමනය කිරීමට අපොහොසත් වීමයි. 2015 වසරේදී සංස්ථාවට කිසිදු අවශ්‍යතාවයකින් තොරව තාවකාලික “කොකෝන්” (Cocoon) ගබඩා 50ක් ආනයනය කිරීම සඳහා රුපියල් මිලියන 90කට අධික මුදලක් වැය කර ඇතැයි චෝදනා එල්ල වී තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස, සංස්ථාවට සහ එමඟින් රජයට රුපියල් මිලියන 99ක අලාභයක් සිදුවී ඇති අතර, ඒ හා සමාන ප්‍රතිලාභයක් නීති විරෝධී ලෙස බාහිර පාර්ශවයකට ලබා දී ඇති බව අල්ලස් කොමිසමේ වාර්තාවේ සඳහන් වේ.
හුසේන් භයිලාගේ පාර්ශ්වයේ කරුණු දැක්වීම සහ කොකෝන් ගබඩා පසුබිම
හුසේන් භයිලා මහතා 2015 වසරේදී යහපාලන රජය යටතේ එවක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ පත්කිරීමක් මත සභාපති ධූරයට පත්කර ඇත.
ඔහු පවසන පරිදි, 2015 දී එවක අග්‍රාමාත්‍ය උපදේශක චරිත රත්වත්තගේ ප්‍රධානත්වයෙන් කොළඹ 07 පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදී කැඳවන ලද රැස්වීමකදී මෙම ගබඩා ආනයනය පිළිබඳව සාකච්ඡා කර ඇත. මෙම රැස්වීමට භයිලා මහතාට අමතරව, ආයතනයේ සාමාන්‍යාධිකාරීවරයා, මහ බැංකු අධිපතිවරයා, රාජ්‍ය බැංකු ඉහළ නිලධාරීන් කිහිප දෙනෙක් ද සහභාගී වී ඇත. එහිදී වී වගාව ආශ්‍රිතව කන්නයේ දී ඉතිරිවන වී ගබඩා කර තැබීම සඳහා වී අලෙවි මණ්ඩලයේ ඉල්ලීම මත සතොස සහ CSTC ආයතන වලින් මෙම පිලිපීනයේ නිෂ්පාදිත කොකෝන් ගබඩා 50ක් ආනයනය කිරීම සඳහා වන කරුණු සාකච්ඡා කර ඇත.
(පිලිපීන සමාගමේ ශ්‍රී ලංකන් ඒජන්තවරයා වශයෙන් සිට ඇත්තේ මේ වනවිට රටින් බැහැරව වෙසෙන විකී වික්‍රමතුංග නැමැති ව්‍යාපාරිකයාය).
මෙහිදී ආනයනික වියදම ඉහළ බැවින්, භාණ්ඩාගාර ලේකම්ගෙන් බදු නිදහස් කර දෙන ලෙස ඉල්ලීමක් කර ඇත. බදු නිදහස් කිරීම මත ගෙන්වන ලද කොකෝන් ගබඩා 50න් 15ක් වී අලෙවි මණ්ඩලයට ලබා දී තිබුණි.
පුද්ගලික ඉල්ලා අස්වීම් සහ CIABOC චෝදනාවල විෂය පථය
වී අලෙවි මණ්ඩලයට ගබඩා 15ක් ලබාදීමෙන් පසු, ඉන් ගබඩා 35ක් ඉතිරිව තිබෙන කාලය තුළ හුසේන් භයිලා මහතා තම පුද්ගලික කාරණාවක් මත ලංකා රාජ්‍ය වෙළඳ සංස්ථාවේ (CSTC) සභාපති ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.
කෙසේ වුවද, ඔහු නැවතත් 2017 දී රනිල් වික්‍රමසිංහගේ පත්කිරීමක් මතම එම ධූරයේ රාජකාරී සඳහා පැමිණ තිබේ. හුසේන් භයිලා පවසන පරිදි, අල්ලස් කොමිසමෙන් ඔහුට කර ඇති එක් චෝදනාවක් වී ඇත්තේ වී අලෙවි මණ්ඩලයට ඔහු විසින් බලහත්කාරයෙන් ගබඩා 15ක් ලබාදුන් බවත්, ඉතිරි 35 බෙදා නොදීමත් ය.
සතොස සහ SPC ආයතන වී අලෙවි මණ්ඩලයේ මෙම අවශ්‍යතාව එම රැස්වීමේදී පැවසීම සම්බන්ධ රැස්වීම් තීරණ අදාළව සටහන් කර ඇති බවද භයිලා පවසයි.
එසේම, අල්ලස් කොමිසම ඔහුගෙන් නැවතත් ප්‍රශ්න කර ඇත්තේ මෙම කොකෝන් ගබඩා ආනයනය යම් කිසිවෙකුගේ උපදෙස් මත සිදුකළාද යන්නයි.
විමර්ශනවල අරමුණු සහ දේශපාලන විශ්ලේෂණය
මෙම සියලුම මිලදී ගැනීම් අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ උපදේශක චරිත රත්වත්තගේ නිර්දේශ මතත්, භාන්ඩාගාර ලේකම් පී බී ජයසුන්දරගේ අනුමැතිය යටතේත් සිදු කෙරුණු බව හුසේන් භායිලා ප්‍රකාශ කරයි. රජයේම ආයතනයක් සඳහා කරන ලද මිලදී ගැනීමක් සම්බන්ධයෙන් ඊට අදාළ රැස්වීම් වාර්තා, ඉල්ලීම් සහ අනුමැතිය නිර්දේශ පවතී නම්, අල්ලස් කොමිසම හුසේන් භායිලා මහතා අත්අඩංගුවට ගත්තේ කවර අරමුණක් වෙනුවෙන්ද යන්න මෙහිදී මතු වන ප්‍රධානතම ගැටලුවයි.
තවද, අල්ලස් කොමිසම පවසන පරිදි වී අලෙවි මණ්ඩලයට එම ගබඩා තමන්ට “බලෙන්” ලබාදුන්නා යැයි චෝදනා කළ හැකිද? එසේ වූයේ නම් ඊට ඔවුන් ගෙන ඇති පියවර කුමක්ද? තමා නියෝජනය කරන අමාත්‍යාංශයේ ලේකම්වරයාට හෝ අමාත්‍යවරයාට යම් දැනුම්දීමක් සිදුකර තිබෙනවාද? රාජ්‍ය ආයතනයකට මෙවැනි බොළඳ කතා කිව හැකිද? සහ ඒවා චෝදනා ලෙස ගෙන පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට අල්ලස් කොමිසමට හැකියාවක් තිබේද? යන ප්‍රශ්න මතු වේ.
නීතියේ පාලනය සහ විශ්වාසනීයත්වයේ අභියෝගය
වසර හෝ කාලය නොබලා අනීතික දූෂිත ගනුදෙනු පිළිබඳව පක්ෂ පාට භේදයකින් තොරව, උස් මිටුකම්වලින් තොරව නීතියට අනුව විමර්ශනය කර යුක්තිය ඉෂ්ට කළ යුතුමය. එහෙත්, වෙනත් අරමුණක් මත ඒවා සිදුකිරීම තුළින් සිදුවිය හැක්කේ යම් ආයතනයක් සම්බන්ධයෙන් ඇති විශ්වාසය විනාශ වීමත්, එය පළිදු වීමත්ය. හුසේන් භයිලා මහතා අත්අඩංගුවට පත් වී පැය කිහිපයකින් ඇප මත මුදා හැරීමේ තත්ත්වය මත, මෙම චෝදනාවට ඔහුට සෘජු වගකීමක් නොමැතිව ඇතැයි යන්නත්, අල්ලස් කොමිසම යම් පුද්ගලයෙකු ඉලක්ක කර ඇති බවත් පැහැදිලි වන කාරණයකි.
මෙම චෝදනා අතරතුර ඒ සඳහා ඔහු වගකිවයුතු යැයි ඔප්පු වුවහොත් ඔහුට එරෙහිවද නීතිය ක්‍රියාත්මක විය යුතුය.
නඩුව ජනවාරි 23 වන දිනට කල් තැබිණි.
පිළිතුරු ලබාදීමේ අයිතිය
මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයක අපහසුතාවක් පැනනගින්නේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම්, ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට සම්පූර්ණ අයිතිය පවතී. harideshaya.lk නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, වෘත්තීය ආචාරධර්මවලට ගරුකරන අන්තර්ජාල වේදිකාවක් ලෙස පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් කරුණාකර අපට දැනුම්දෙන්න..
Email – [email protected]
WhatsApp – +94771474028

