ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ රඳවාගෙන සිටින රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) හිටපු ප්‍රධානී සුරේෂ් සලේ සම්බන්ධයෙන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී මතු වූ අධිකරණ වෛද්‍ය වාර්තාවේ දින පිළිබඳ ගැටලුව මේ දිනවල නෛතික සහ සමාජීය තලයේ දැඩි කතාබහකට ලක්ව ඇත. අප්‍රේල් 22 වන දින අධිකරණ නියෝගය නිකුත් වී තිබියදීත්, වෛද්‍ය වාර්තාවේ දිනය අප්‍රේල් 21 ලෙස සටහන්ව තිබීම ඊට හේතුවයි.
නමුත් සත්‍ය වශයෙන්ම මෙය නියෝගයට පෙර සකස් කළ වංචනික වාර්තාවක්ද? වෛද්‍ය වාර්තා ගොනුව (MLEF No: 50/2026) සියුම්ව සහ තාර්කිකව විමර්ශනය කිරීමේදී මෙය හුදෙක් ලිපිකරු හෝ මුද්‍රණ දෝෂයක් (Clerical/Typographical Error) බව මනාව තහවුරු වේ. ඒ බව සනාථ කරන අභ්‍යන්තර ලිඛිත සාක්ෂි පහත පරිදි පෙළගැස්විය හැක.
මූලික ආකෘති පත්‍රයේ දින පරස්පරතාවය

ප්‍රධානතම සැකය මතු වී ඇත්තේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය වාර්තාවේ මුල් පිටුවේ “නිකුත් කරන ලද දිනය” (Date of Issue) ලෙස 2026/04/21 සටහන්ව තිබීම හේතුවෙනි.
එහෙත්, එම පිටුවේම පහළින් "පරීක්ෂණ ස්ථානය" (Place of examination) ලෙස කොළඹ IFMT ආයතනයත්, පරීක්ෂණය සිදුකළ දිනය ලෙස "29/04/2026" ත් ඉතා පැහැදිලිව දක්වා ඇත.
වාර්තාවේ එක් ස්ථානයක අප්‍රේල් 21 ලෙසත්, සැබෑ පරීක්ෂණ දිනය අප්‍රේල් 29 ලෙසත් සටහන් වීමෙන් ගම්‍ය වන්නේ මුල් දිනය හුදෙක් ආකෘති පත්‍රයේ සටහන් වූ අත්වැරදීමක් බවයි.
විශේෂඥ වෛද්‍යවරුන් වෙත යොමු කළ දින (Referral Dates)
අධිකරණ වෛද්‍යවරයා විසින් සැකකරුගේ වැඩිදුර පරීක්ෂණ සඳහා විශේෂඥ වෛද්‍යවරුන් වෙත නිකුත් කර ඇති සියලුම යොමු කිරීම් (Referrals) සිදුකර ඇත්තේ අප්‍රේල් 29 වන දිනදීය. ඒවා කිසිවක් අප්‍රේල් 21 හෝ 22 ට පෙර නිකුත් කර නොමැති බව ලිඛිතවම තහවුරු වේ.
අක්ෂි රෝග විශේෂඥවරයා වෙත: අදාළ ලිපිය නිකුත් කළ දිනය 2026/04/29 වේ.
චර්ම රෝග විශේෂඥවරයා වෙත: යොමු කිරීමේ දිනය ද 2026/04/29 ලෙස පැහැදිලිව සඳහන් වේ.
ස්නායු රෝග විශේෂඥවරයා වෙත: යොමු කිරීම නිකුත් කර ඇත්තේ ද 2026/04/29 දිනදීය.
සායනික පෝෂණවේදී වෛද්‍යවරයා වෙත: අදාළ යොමු කිරීම ද 2026/04/29 දින නිකුත් කර ඇත.
මනෝ වෛද්‍ය වාර්තාවේ සැබෑ කාලරාමුව
මහේස්ත්‍රාත්වරයාගේ විශේෂ අවධානයට ලක් වූ, ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ විශේෂඥ මනෝ වෛද්‍ය සී.ටී.කේ. ප්‍රනාන්දු මහතාගේ වාර්තාවේ කාලරාමුව කිසිදු ගැටලුවකින් තොර බව එහි අඩංගු දින සටහන් මගින් තහවුරු වේ.
යොමු කළ දිනය: ප්‍රධාන අධිකරණ වෛද්‍යවරයා විසින් සැකකරු මනෝ වෛද්‍යවරයා වෙත නිල වශයෙන් යොමු කර ඇත්තේ 2026.04.29 දිනදීය.
පරීක්ෂා කළ දිනය: වෛද්‍ය කණ්ඩායම විසින් සැකකරුගේ මානසික තත්ත්වය පරීක්ෂා කර ඇත්තේ ඉන් දින කිහිපයකට පසු, එනම් 2026.05.04 වන දිනදීය.
වාර්තාව නිකුත් කළ දිනය: මෙම සවිස්තරාත්මක මනෝ වෛද්‍ය වාර්තාව සකසා නිකුත් කර ඇති දිනය ලෙස වාර්තාවේ මුදුනින්ම සටහන් වන්නේ 2026.05.18 යන දිනයයි.
මෙම දින සටහන් මඟින්, මනෝ වෛද්‍ය වාර්තාව නියෝගයට (අප්‍රේල් 22) පෙර සකස් කරන ලද්දක්ය යන තර්කය සම්පූර්ණයෙන්ම ඛණ්ඩනය වේ.
සෙසු වෛද්‍ය පරීක්ෂණ පැවැත්වූ සැබෑ දිනයන්
වෛද්‍ය යොමු කිරීම්වලින් අනතුරුව විශේෂඥ වෛද්‍යවරුන් විසින් සැබැවින්ම රෝගියා පරීක්ෂා කළ දින වකවානු ද අප්‍රේල් 22 ට බොහෝ පසුව සිදුවූ ඒවා බව ඔවුන්ගේ පෞද්ගලික සායනික වාර්තාවලින් තහවුරු වේ.
අක්ෂි වෛද්‍යවරයා විසින් රෝගියා පරීක්ෂා කර වාර්තාව සපයා ඇත්තේ 2026/05/06 දිනයේදීය.
ස්නායු රෝග විශේෂඥවරයා පරීක්ෂණය සිදු කර ඇත්තේ ද 2026/05/06 දිනදීය.
සායනික පෝෂණවේදී වෛද්‍යවරයා පරීක්ෂණය සිදුකර ඇත්තේ 2026 අප්‍රේල් 29 වන දිනදීය.
මෙම සියලුම ලිඛිත සාක්ෂි මත පදනම්ව පැහැදිලි වන්නේ, වෛද්‍ය පරීක්ෂණ ක්‍රියාවලිය අප්‍රේල් 22 වන දිනට පෙර කිසිසේත්ම සිදු වී නොමැති බවයි. මූලික අධිකරණ වෛද්‍ය වාර්තා ආකෘති පත්‍රයේ එක් ස්ථානයක අත්වැරදීමකින් මුද්‍රණය වී ඇති “2026/04/21” යන දිනය හැරෙන්නට , සෙසු සියලුම සායනික පරීක්ෂණ, වෛද්‍ය යොමු කිරීම් සහ වාර්තා නිකුත් කිරීම් සිදුව ඇත්තේ 2026 අප්‍රේල් 29 සහ ඉන් පසු දිනවලදීය. එබැවින්, මෙය කිසිදු වංචනික චේතනාවකින් තොරව සිදුවූ සාමාන්‍ය මුද්‍රණ හෝ ලිපිකරු දෝෂයක් (Typographical Error) පමණක් බව අභ්‍යන්තර ලේඛන මගින් අවිවාදයෙන්ම තහවුරු වේ. ආයතනික ක්‍රියාපටිපාටීන් පිළිබඳ විමර්ශන වාර්තා සකස් කිරීමේදී මෙවැනි අභ්‍යන්තර කරුණු නිරවද්‍යව විග්‍රහ කිරීම මාධ්‍ය කලාවේ මෙන්ම නීතියේද මූලික අවශ්‍යතාවයකි.



