Latest Posts

හිටපු මේජර් ජෙනරාල් සුරේෂ් සලේ CIDය තුළ මාරාන්තික උපවාසයක: නීතිඥ උදය ගම්මන්පිලගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව (CID) භාරයේ මේ වන විට රඳවා සිටින විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මුහුණ දෙමින් සිටින ඛේදනීය තත්ත්වය පිළිබඳව නීතිඥ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල විසින් බරපතළ හෙළිදරව්වක් සිදු කර තිබේ. ඔහු පෙන්වා දෙන්නේ සලේ මහතාට ලබාදෙන අමානුෂික සැලකීම් හේතුවෙන් ඔහු මේ වන විට “මාරාන්තික උපවාසයක්” ආරම්භ කර ඇති බවයි.

නීතිඥ, උදය ගම්මන්පිල පෙන්වාදෙන්නේ මෙම සිදුවීම හරහා මෙරට නීතියේ ආධිපත්‍යය සහ මානව හිමිකම් පිළිබඳව දැඩි ප්‍රශ්නාර්ථයක් මතු වී තිබෙන බවයි.

සිරමැදිරිය තුළ දැඩි මානසික පීඩනය සහ වධහිංසාව

නීතිඥ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිලගේ පවුලේ ඥාතීන් සහ නීතිඥයින් හරහා අද (06) දින අනාවරණය වී ඇති කරුණු, කිසිදු ශිෂ්ටසම්පන්න සමාජයකට අනුමත කළ නොහැකි තරම් අමානුෂික බව ගම්මන්පිල වසයි.

අද දින සුරේෂ් සලේගේ පුත්‍රයා සහ සහෝදරයා ඔහුව බැලීම සඳහා CID ය වෙත ගිය අවස්ථාවේදී, එම හමුවීම නිරීක්ෂණය කිරීම සඳහා පමණක් නිලධාරීන් 7 දෙනෙකු යොදවා තිබී ඇත. මෙය ඔහු කෙරෙහි එල්ල කර ඇති දැඩි මානසික පීඩනයට කදිම නිදසුනක් බව ඔහු පෙන්වා දෙයි තවද සිරමැදිරිය තුළ කිසිදු ගෘහ භාණ්ඩයක් හෝ ආහාර ගැනීමට පිඟානයක් පවා ලබා දී නොමැති අතර කුණු වූ රාබු සහ බත් හැන්දක් කොළ කැබැල්ලකට දමා ඔහුට ආහාර ලෙස ලබා දී බිම දිගා වී එම ආහාරය ගැනීමට ඔහුට සිදුවීම මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් පමණක් නොව අතිශය ම්ලේච්ඡ ක්‍රියාවක් බව ගම්මන්පිල අවධාරණය කරයි.

සුරේෂ් සලේගේ පශ්චාත් කම්පන තත්ත්වයක් (PTSD) නොමැතිව රඟපාන බවත්, කිසිදු වධහිංසාවකට ලක්ව නොමැති බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයේදී කළ ප්‍රකාශ සම්පුර්ණයෙන්ම අසත්‍ය බව මෙම අත්දැකීම්වලින් තහවුරු වන බව ද හෙතෙම පැවසීය.

මාරාන්තික උපවාසයක ආරම්භය

රාජ්‍ය යාන්ත්‍රණයෙන් එල්ල වන මෙම අඛණ්ඩ වධහිංසාවන් තවදුරටත් ඉවසා සිටිය නොහැකි තැන, සුරේෂ් සලේ මේ වන විට මාරාන්තික උපවාසයක් අරඹා ඇති බවයි නීතිඥ උදය ගම්මන්පිල අනාවරණය කළේ.

“මෙම අමානුෂික වධහිංසාවන්ට දිනපතා ලක්වෙමින් ජීවත් වෙනවාට වඩා මිය යාම සැපක්. මාගේ මරණයෙන් පසුව හෝ නීතිඥවරුන් මාර්ගයෙන් රිට් (Writ) පෙත්සම අඛණ්ඩව ඉදිරියට ගෙන ගොස් මාගේ නම නිදොස් කරන්න.”

— සුරේෂ් සලේ සිය පුත්‍රයාට පැවසූ බව කියන වදන්

මෙම ඉල්ලීම හරහා ඔහු තුළ පවතින දැඩි අසරණභාවය මෙන්ම යුක්තිය පිළිබඳ ඇති පිපාසය මනාව පෙන්නුම් කරන බව ගම්මන්පිල සඳහන් කළේය.

මානව හිමිකම් කොමිසම සහ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ හැසිරීම

තමා අත්අඩංගුවට ගෙන දින 7කට පමණ පසු විඳීමට සිදුවූ අමානුෂික හා අවමන්සහගත සැලකීම් පිළිබඳ සත්‍යය දැනගැනීමට අවශ්‍ය නම්, තමා සමඟ සිරමැදිරියේ සිටි අනෙකුත් රැඳවියන්ගෙන් කටඋත්තර ලබාගන්නා ලෙස සුරේෂ් සලේ අධිකරණයෙන් සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමෙන් (HRCSL) ඉල්ලා තිබේ.

එහෙත්, මෙහි ඇති වඩාත්ම ඛේදනීය සහ විවේචනයට ලක්විය යුතු කරුණ වන්නේ නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල හැසිරීමයි. ඊයේ (05) දින මානව හිමිකම් කොමිෂන් සභාවේ ගොනු කර තිබුණු පෙත්සම විභාගයට ගැනුණු අවස්ථාවේදී, එහි ප්‍රධාන පාර්ශ්වකරුවා වූ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව (CID) එම විභාගය මඟහැර සිටි බව පැමිණිල්ලේ නීතීඥවරු පවසා ඇත. මෙයින් ගම්‍ය වන්නේ කුමක්දැයි නීතිඥ උදය ගම්මන්පිල ප්‍රශ්න කර සිටී.

විශ්‍රාමික ඉහළ හමුදා නිලධාරියෙකුට නීතියේ රැකවරණය යටතේ මෙවැනි කුරිරු ඉරණමකට මුහුණ දීමට සිදුවේ නම්, සාමාන්‍ය පුරවැසියෙකුගේ තත්ත්වය කුමක් විය හැකිද යන්න බරපතළ ගැටලුවකි. සුරේෂ් සලේ ආරම්භ කර ඇති මෙම මාරාන්තික උපවාසය හුදෙක් එක් පුද්ගලයෙකුගේ ජීවිතය පිළිබඳ ප්‍රශ්නයක් පමණක් නොව, සමස්ත යුක්තිගරුක සමාජයේම හෘද සාක්ෂිය අවදි කළ යුතු, වගකිවයුත්තන් වහා පිළිතුරු දිය යුතු ඛේදවාචකයක් බව නීතිඥ උදය ගම්මන්පිල වැඩිදුරටත් අවධාරණය කළේය.

Latest Posts

spot_imgspot_img