2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතේ ක්‍රියාකාරීත්වය සමාලෝචනය කරමින්, පාර්ලිමේන්තු අධීක්ෂණය දැඩි කිරීම සහ ආයතනික ප්‍රතිව්‍යුහගතකරණය සිදු කිරීමේ අරමුණින් විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස විපක්ෂයේ මන්ත්‍රීවරුන් 40 දෙනෙකු විසින් නව යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.
මහ බැංකුවේ වෘත්තීය ස්වාධීනත්වය සුරකින අතරම, එහි විනිවිදභාවය, ප්‍රජාතන්ත්‍රවාදී වගවීම සහ ජාතික ආර්ථික අරමුණු සමඟ පවතින අනුගතවීම තහවුරු කිරීම මෙම පියවරේ මූලික අරමුණ බවයි එම මන්ත්‍රීවරුන මෙම යෝජනාව හරහා පෙන්වා දෙන්නේ.
සමාලෝචනයක් සඳහා හේතු වූ සාධක
මහ බැංකුව ස්වාධීන ආයතනයක් ලෙස පැවතිය යුතු වුවද, වර්තමාන නීති රාමුව තුළ මහ බැංකුව ජාතික ආර්ථික අරමුණුවලින් හුදකලා වී ඇති බවත්, පාර්ලිමේන්තු අධීක්ෂණය අභියෝගයට ලක්ව ඇති බවත් මෙමගින් අවධාරණය කරයි.
මෙමගින් පෙන්වා දෙන්නේ NDB බැංකු වංචාව ඇතුළු වාර්තා වූ වංචාවන් සම්බන්ධයෙන් පැවති අධීක්ෂණ දුර්වලතා, 2025 වසරේදී ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක් වැරදි මාර්ගයක යොමු වීම වැනි ජාත්‍යන්තර ගෙවීම් දෝෂ, විනිමය අනුපාතවල පවතින අස්ථාවරත්වය සහ පාර්ලිමේන්තුවට වගවීම, මූල්‍ය අරමුණු සාක්ෂාත් කර ගැනීමෙහිලා පවතින පසුබෑම යන ආධී කරුණු මෙම අධීක්ෂණ අවශ්‍යතාවය කඩිනම් කර ඇති බවයි.
යෝජිත ආයතනික ප්‍රතිව්‍යුහගතකරණය
මහ බැංකුවේ ව්‍යුහය වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා ශ්‍රී ලංකා මූල්‍ය අධිකාරිය (MASL), විචක්ෂණ නියාමන අධිකාරිය (PRA), මූල්‍ය චර්යා අධිකාරිය (FCA), ජාතික ආයෝජන සහ සැපයුම් අංශයේ වර්ධන කවුන්සිලය (NISGC) යන ආදී වශයෙන් ආයතන හතරකට බෙදා වෙන් කිරීමේ ශක්‍යතාව මෙම කාරක සභාව විසින් සලකා බලනු ඇති අතර සෑම ආයතනයක්ම අනිවාර්යයෙන්ම කාර්තුවකට වරක් පාර්ලිමේන්තුවට වාර්තා ඉදිරිපත් කළ යුතු බව යෝජනාවේ සඳහන් වේ.
ප්‍රතිපත්තිමය වෙනස්කම් සහ අනාගත දැක්ම
පාලනය සමතුලිත කිරීම සඳහා මුදල් අමාත්‍යවරයාගේ නියෝජිතයින් පාලක මණ්ඩලයට ඇතුළත් කිරීම සහ ආයතනයෙන් පිටතින් නියෝජ්‍ය අධිපතිවරුන් දෙදෙනෙකු පත් කිරීම පිළිබඳව ද යෝජනා වී ඇත. එසේම, උද්ධමනය පාලනය කිරීමට පමණක් සීමා නොවී, රැකියා උත්පාදනය සහ දිගුකාලීන ආර්ථික වර්ධනය ඉලක්ක කරගත් මූල්‍ය පාලනයක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවය මන්ත්‍රීවරුන් මෙමගින් විශේෂයෙන් අවධාරණය කරයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ ඇති ප්‍රතිසංස්කරණ, රටේ ව්‍යවස්ථාපිත හා ප්‍රායෝගික යථාර්ථයන්ට ගැලපෙන ලෙස හැඩගස්වා ගැනීම ද මෙම තේරීම් කාරක සභාවේ වගකීමක් වනු ඇත.

“වගවීමකින් තොර ස්වාධීනත්වය භයානක ය. වෘත්තීයභාවයකින් තොර වගවීම දේශපාලනික ය. මැනිය හැකි කාර්ය සාධනයකින් තොර වෘත්තීයභාවය අකාර්යක්ෂම ය. ශ්‍රී ලංකාවට මේ තුනම අවශ්‍ය වේ,”



