Latest Posts

‘මට හුස්ම ගන්න බෑ’ – බ්‍රිතාන්‍යයේ ජෝර්ජ් ෆ්ලොයිඩ් සිදුවීමක්? හෙන්රි නෝවැක්ගේ මරණය පිටුපස ඇති පොලිස් අපරීක්ෂාකාරීත්වය

ඇමරිකාවේ ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය මුළු ලෝකයම කම්පනයට පත් කළේ “මට හුස්ම ගන්න බෑ” (I can’t breathe) යනුවෙන් ඔහු කළ අවසන් ආයාචනය පොලිසිය විසින් නොසලකා හැරීම හේතුවෙනි. අද වන විට බ්‍රිතාන්‍යය ද එවැනිම වූ අතිශය කම්පනකාරී සිදුවීමක් හේතුවෙන් ගිනිගනිමින් පවතී. ඒ, මාරාන්තික ලෙස පිහි ඇනුම් කා මියයමින් සිටි 18 හැවිරිදි විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකු කළ එම ආයාචනයම බ්‍රිතාන්‍ය පොලිසිය විසින් උපහාසයෙන් යුතුව ප්‍රතික්ෂේප කර, ඔහුට මාංචු දැමීමේ අමානුෂික ක්‍රියාවක් පොලිස් කැමරා දර්ශන (Bodycam footage) හරහා ලෝකයට අනාවරණය වීමත් සමඟිනි.

මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ දුන්නේ සදම්ටන් විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි 18 හැවිරිදි හෙන්රි නෝවැක් (Henry Nowak) ය.

මාරාන්තික ප්‍රහාරය සහ ජාතිවාදී මුසාව

2025 දෙසැම්බර් 3 වන දින රාත්‍රියේ, සිය නවාතැන බලා ගමන් කරමින් සිටි හෙන්රි නෝවැක්ට සදම්ටන්හි බෙල්මොන්ට් පාරේදී 23 හැවිරිදි වික්‍රම් සිං දිග්වා නැමැත්තා මුණගැසුණි. වික්‍රම් සිං විසින් සිය ඉණෙහි සඟවාගෙන සිටි විශාල පිහියක් හෙන්රි විසින් ජංගම දුරකථනයෙන් වීඩියෝ කිරීමත් සමඟ උරණ වූ වික්‍රම්, හෙන්රිට පස් වතාවක් පිහියෙන් ඇන්නේය. ඉන් එක් පහරක් හෙන්රිගේ හදවත පසාරු කරගෙන ගොස් තිබුණි.

ඝාතනයෙන් පසු, වික්‍රම්ගේ සහෝදරයා වන ගුර්ප්‍රීත් පොලිසියට ඇමතුමක් ලබා දෙමින් සම්පූර්ණයෙන්ම ගෙතූ බොරුවක් පැවසීය. එනම්, “සුදු ජාතිකයෙකු විසින් තමන්ට ජාතිවාදී ප්‍රහාරයක් එල්ල කළ” බවයි. පොලිසිය එම ස්ථානයට පැමිණි විට, හෙන්රි තමන්ට ජාතිවාදී ලෙස අපහාස කර තම තලප්පාව (Turban) ගලවා දැමූ බවට වික්‍රම් සිං බොරු පැමිණිල්ලක් කළේය.

“මට හුස්ම ගන්න බෑ…” – අමානුෂික පොලිස් ප්‍රතිචාරය

බ්‍රිතාන්‍ය පොලිසියේ අදූරදර්ශී සහ පක්ෂග්‍රාහී ක්‍රියාකලාපය මනාව පෙන්නුම් කළේ ඉන් අනතුරුවයි. වික්‍රම්ගේ ජාතිවාදී පැමිණිල්ල කිසිදු විමර්ශනයකින් තොරවම පිළිගත් පොලිස් නිලධාරීන්, ලේ ගලමින් බිම වැටී සිටි හෙන්රි නෝවැක් දෙස බැලුවේ සැකකරුවෙකු ලෙසිනි.

හදවතට එල්ල වූ මාරාන්තික පිහි ඇනුමත් සමඟ බිම වැටී සිටි හෙන්රි, “මට හුස්ම ගන්න බෑ… මට ඇනලා තියෙන්නේ” යැයි 9 වතාවක් පොලිසියට පැවසීය. එහිදී එක් නිලධාරියෙකු හෙන්රිට පවසා ඇත්තේ, “මම හිතන්නේ නෑ උඹට ඇනලා තියෙනවා කියලා, මචං” යනුවෙනි. මියයමින් සිටි වින්දිතයාට මාංචු දැමීමට පොලිසිය කටයුතු කළ අතර, සැබෑ ඝාතකයා වූ වික්‍රම් ලේ තැවරුණු පිහියද සාක්කුවේ දමාගෙන නිදැල්ලේ සිටියේය. හෙන්රිගේ පියා පවසන පරිදි, පසුව පොලිසිය වික්‍රම්ව කැඳවාගෙන ගොස් ඔහුට කෑමට අවශ්‍ය දේ තෝරා ගැනීමට පවා ඉඩ සලසා දී ඇත.

“මගේ පුතාට ගෞරවාන්විත මරණයක් හිමි වුණේ නෑ,”

යනුවෙන් පියා දැඩි වේදනාවෙන් ප්‍රකාශ කළේය.

බ්‍රිතාන්‍යයේ ‘ජෝර්ජ් ෆ්ලොයිඩ්’ මොහොත?

මෙම සිදුවීමත් සමඟ බ්‍රිතාන්‍ය නීතිය ක්‍රියාත්මක කිරීමේ පද්ධතිය තුළ පවතින ‘දෙපිරිස් පොලිස්’ (Two-Tier Policing) ක්‍රමවේදය පිළිබඳව දැඩි විවේචන එල්ල වෙමින් පවතී. කොන්සර්වේටිව් පක්ෂ නායිකා කෙමී බේඩනොක් (Kemi Badenoch) ප්‍රකාශ කළේ මෙය ඇමරිකාවේ ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණයට සමාන අවධානයක් දිය යුතු බරපතල සිදුවීමක් බවයි.

සුළුතර ජාතිකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේදී “ජාතිවාදී” යන ලේබලය වැදීමට ඇති බිය නිසා බ්‍රිතාන්‍ය පොලිසිය අතිශය මෘදු ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවටත්, එමඟින් සැබෑ වින්දිතයන්ට දැඩි අසාධාරණයක් සිදුවන බවටත් Reform UK නායක නයිජල් ෆැරාජ් (Nigel Farage) චෝදනා කළේය.

මෙම අසාධාරණයට එරෙහිව සදම්ටන් නුවර පුරා දැවැන්ත විරෝධතා ආරම්භ වූ අතර, “මට හුස්ම ගන්න බෑ” යන වැකිය රැගත් පුවරු ඔසවාගත් ජනතාව පොලිස් ස්ථානය වටලා දැඩි ප්‍රහාරයක් එල්ල කළහ. එම ගැටුම්වලින් පොලිස් නිලධාරීන් 11 දෙනෙකු තුවාල ලබා ඇත.

යුක්තිය පසිඳලීම සහ පොලිසියට එල්ල වන පීඩනය

තමන් ආගමික අවශ්‍යතාවයක් මත පිහියක් ළඟ තබාගත් බවට වික්‍රම් සිං අධිකරණයේදී කළ ප්‍රකාශය විනිසුරුවරයා විසින් ප්‍රතික්ෂේප කළ අතර, ඔහු ආයුධවලට දැඩි ලෙස ඇබ්බැහි වූවෙකු බව හෙළි විය. ඒ අනුව පසුගිය සඳුදා වික්‍රම් සිං ට වසර 21ක අවම කාලයක් සහිතව ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කෙරුණි. ඝාතන ආයුධය සැඟවූ ඔහුගේ මවද වරදකාරිය වී ඇත.

කෙසේ වෙතත්, හෙන්රි නෝවැක්ගේ මරණය හුදෙක් එක් මිනීමැරුමක් පමණක් නොවේ. එය බ්‍රිතාන්‍ය පොලිස් පද්ධතියේ ඇති අකාර්යක්ෂමතාවය, බියගුලුකම සහ අගතිය මනාව නිරූපණය කරන කැඩපතක් බවට පත්ව තිබේ. සිදුවීමට සම්බන්ධ වූ පොලිස් නිලධාරියෙකු මේ වන විටත් ඉල්ලා අස්වී ඇති අතර, බ්‍රිතාන්‍ය පොලිස් හැසිරීම් පිළිබඳ ස්වාධීන කාර්යාලය (IOPC) මේ පිළිබඳ පුළුල් විමර්ශනයක් අරඹා ඇත.

අහිංසක තරුණයෙකුගේ අවසන් හුස්ම පොදත් සමඟ බ්‍රිතාන්‍යයේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියේ ඇති හිඩැස් ලෝකයා ඉදිරියේ මෙලෙස නිරාවරණය වී තිබේ.

Latest Posts

spot_imgspot_img