Friday, December 19, 2025
spot_img

Latest Posts

නීතීඥ චතුර ගුණරත්නගෙන් ‘හරි දේශයේ’ පුවතට පිළිතුරක්!

හරි දේශය වෙබ් අඩවියේ අද පළකෙරුනු “ගණේමුල්ල සංජීව ඝාතනයට නීතීඥවරියක් අත්අඩංගුවට” පුවතේ තමරා අබේරත්න නීතීඥවරිය සමග සම්බන්ධව වැඩකළ තවත් නීතීඥවරයෙකු පිළිබඳව පොලිස් ඇස යොමුව ඇති බවත්, ඔහු NPP  මන්ත්‍රීවරයෙකු යැයි එකී ආරංචිමාර්ග පවසන බවත් එකී පුවත මගින් අනාවරණය කෙරිනි.

ඒ අනුව මහර උසාවියේ නීතීඥ චතුර ගුණරත්න විසින් එම ප්‍රවෘත්තිය මගින් නමක් සඳහන් නොකළද එහි සඳහන් කරුණුවලට අනුව එම චෝදනාව තමා වෙත සෘජුවම එල්ලවන බවත් එමගින් වෘත්තීය වශයෙන් ඔහු දැඩි අපහසුතාවයට පත්ව ඇති බවත් සඳහන් කරමින් පිළිතුරක් අප වෙත එවා ඇත.

යම් ආකාරයකින් අප විවිධ පාර්ශ්වයන් හරහා ලබාගන්නා විශ්වාසදායක පුවත් උවත් ඒමගින් යම් නිර්දෝෂී පුද්ගලයෙකුට අපහසුතාවක්, අසාධාරණයක් වන්නේ නම් ඒ ගැන අපගේ බලවත් කණගාටුව පළකරන්නෙමු.

එසේම ඔහු විසින් එවා ඇති පිළිතුර පහත පළකරන්නෙමු.


කතෘතුමා,

හරි දේශය වෙබ් අඩවිය,

මම නීතිඥ චතුර ගුණරත්න වේ. මම මහර අධිකරණ නීතිඥ සංගමයේ සාමාජිකයෙකු වන අතර මහර ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරයකු වේ.

ඔබ ප්‍රවෘත්ති අඩවියේ පලවී ඇති ආකාරයට, නීතිඥ තමරා අබේරත්න අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව- ඇය සමඟ වෘත්තීය කටයුතු වල යෙදුණු, ජාතික ජන බලවේගයේ මන්ත්‍රී වරයකු ද වන තවත් නීතිඥ වරයකු සම්බන්ධයෙන් පොලීසියේ අවධානය යොමු වී ඇති බවට ද දක්වා ඇත.

එහි දක්වා ඇති පරිදි ඉතා සරලවම හඳුනාගත හැකි කාරණය නම්, නීතිඥ තමරා අබේරත්න සමඟ වෘත්තීය කටයුතු වල යෙදුණු ජාතික ජන බලවේගයේ එකම මන්ත්‍රීවරයා වන්නේ චතුර ගුණරත්න වන මම වෙමි. එය මා දැන හඳුනන ඕනෑම අයෙකුට පහසුවෙන් ම ග්‍රහණය කර ගත හැකි කාරණයකි.

කෙසේ වෙතත් ඔබගේ ප්‍රවෘත්ති අඩවියේ පලවී ඇති ආකාරයේ විමර්ශනයක් පිළිබඳව මා නොදන්නා අතර, එවැනි ආකාරයේ විමර්ශනයක් පිළිබඳව රහසිගතව තබාගත්තේනම් එකී විමර්ශන තවත් සාර්ථක විය හැකි බව මාගේ මතයයි. විශේෂයෙන් ම අපරාධ අධිකරණ කටයුතුවල දී / විමර්ශන වලදී රහස්‍යභාවය අත්‍යවශ්‍ය අංගයක් බව නීතිඥවරයකු ලෙස මාගේ අත්දැකීමයි.

ඔබ විසින් ඉහත කරන ලද පල කිරීම නිසා පුද්ගලිකව සහ වෘත්තීය වශයෙන් මා දැඩි අපහසුතාවයට පත්ව ඇති බව වැඩිදුරටත් දන්වමි.

කෙසේ වුවද මහජනතාවට තොරතුරු ලබාදීමට ඔබට ඇති අයිතියට මා ගරු කරන අතර, අවශ්‍ය විමර්ශනයක දී සත්‍ය හා නිවැරදි තොරතුරු සැපයීම පුරවැසියකු ලෙස පමණක් නොව විශේෂයෙන් ම නීතිඥවරයකු වශයෙන් මා නීත්‍යනුකූලව බැඳී සිටින්නක් බව මම තරයේ විශ්වාස කරමි.

ස්තුතියි. මෙයට විශ්වාසී;

නීතිඥ චතුර ගුණරත්න.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයක අපහසුතාවක් පැනනගින්නේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම්, ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට සම්පූර්ණ අයිතිය පවතී. harideshaya.lk නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, වෘත්තීය ආචාරධර්මවලට ගරුකරන අන්තර්ජාල වේදිකාවක් ලෙස පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.

ඒ වෙනුවෙන් කරුණාකර අපට දැනුම්දෙන්න..

Email – [email protected]
WhatsApp – +94771474028

Latest Posts

spot_imgspot_img