ශ්‍රී ලංකාවේ වත්මන් රජය ටෙන්ඩර් පටිපාටීන් සම්බන්ධයෙන් දිගින් දිගටම විවේචනයට ලක්වෙමින් සිටින පසුබිමක, රුපියල් බිලියන 40 කට අධික වටිනාකමකින් යුත් ඩබල් කැබ් රථ 1,775ක් මිලදී ගැනීම සඳහා මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් කැඳවා ඇති අතිශය කෙටි කාලීන ටෙන්ඩරයක් පිළිබඳව අවධානය යොමු වේ.
විපක්ෂයේ සිටියදී පැවති ආණ්ඩු විසින් ටෙන්ඩර් ක්‍රියාවලීන්හි සිදුකළැයි කියන උල්ලංඝනයන්ට එරෙහිව දැඩි ස්ථාවරයක සිටි වත්මන් පාලකයන්, බලයට පැමිණීමෙන් පසු ගල් අඟුරු, ඩිමෝ බස්, හාල්, සහ බෙහෙත් වැනි ටෙන්ඩර් සම්බන්ධයෙන් දූෂිත හා අනීතික ක්‍රියා සිදුකළ බවට නැගෙන චෝදනා මධ්‍යයේ, මෙම නවතම ඩබල් කැබ් ටෙන්ඩරය ද සැකයට භාජනය වී තිබේ.
|අමුතු කඩිමුඩියේ ටෙන්ඩරය
මුදල් අමාත්‍යාංශය විසින් ඩීසල් බලයෙන් ක්‍රියාත්මක වන, රෝද හතරේ ධාවන පද්ධතියකින් සහ ස්වයංක්‍රීය ගියර් පද්ධතියකින් සමන්විත ඩබල් කැබ් රථ 1,775 ක් මිලදී ගැනීමට ජාතික තරඟකාරී ලංසු කැඳවීමේ (NCB) ක්‍රියාපටිපාටිය යටතේ පසුගිය බ්‍රහස්පතින්දා ටෙන්ඩර් කැඳවා ඇත. මෙහි ඇති අසාමාන්‍ය තත්ත්වය වන්නේ ලංසු ලේඛන මිලදී ගැනීමට 2025 ඔක්තෝබර් 23 සිට නොවැම්බර් 3දක්වා දින කිහිපයක් පමණක් ලබාදී තිබීම සහ ලංසු භාර ගැනීමේ අවසන් දිනය 2025 නොවැම්බර් 4, දින ප.ව. 2.00 ලෙස නියම කිරීමයි.
සාමාන්‍යයෙන් මෙවැනි විශාල ව්‍යාපෘති සඳහා ටෙන්ඩර් ක්‍රියාවලියේදී අනිවාර්යයෙන්ම පැවැත්වෙන පූර්ව ලංසු රැස්වීමක් (Pre-bid Meeting) අවසර දී ඇති කෙටි කාලසීමාව හේතුවෙන් නොපැවැත්වෙන බවද සඳහන් වේ. මෙම කඩිනම් ක්‍රියාවලිය පිටුපස ඇති ක්ෂණික පැහැදිලි කිරීමක් මෙතෙක් ලැබී නොමැතිවීම දේශපාලන හා විමර්ශනාත්මක කෝණයකින් මෙම ටෙන්ඩරය විමර්ශනය කිරීමට අවශ්‍යතාවක් මතු කරයි.
වර්තමාන වෙළඳපොළ මිල ගණන් (ඩබල් කැබ් රථයක මිල රුපියල් මිලියන 23ත් 24.7ත් අතර) අනුව, මෙම ටෙන්ඩරයේ අවම වටිනාකම රුපියල් බිලියන 40.8 ක් වන අතර, මෙවන් විශාල මුදලක් වැය කරන ටෙන්ඩරයක් සඳහා මෙවන් හදිසියක් පෙන්වීම රාජ්‍ය මුදල් වියදම් කිරීමේ විනිවිදභාවය සහ වගවීම පිළිබඳ බරපතල ප්‍රශ්න මතු කරයි.
ටෙන්ඩර් සුදුසුකම්වල විචල්‍යතාවය
අතීතයේ පැවති ටෙන්ඩර්වලදී සුදුසුකම් අවම කිරීම හෝ අධික ලෙස දැඩි කිරීම මෙන්ම කැඳවීමේ කාලය වෙනස් කිරීම වැනි ක්‍රියා සිදුවූ බවට චෝදනා එල්ල වූ පරිදිම, මෙම ටෙන්ඩරයේ ප්‍රධාන කොන්දේසි ද විමර්ශනාත්මක අවධානයට ලක්විය යුතුය.
- අවම වාර්ෂික සාමාන්‍ය පිරිවැටුම:
වාහන ආනයන තහනමට පෙර කාලය වූ 2017-2019 කාලය තුළ ලංසුකරු විසින් අවම වාර්ෂික සාමාන්‍ය පිරිවැටුම රුපියල් බිලියන 10 කට නොඅඩු ප්‍රමාණයක් පවත්වා තිබිය යුතුය. අලුතින් වෙළඳපොළට පිවිසීමට අපේක්ෂා කරන හෝ මෑත කාලයේ පිරිවැටුම අඩුවී ඇති සමාගම්වලට මෙය දැඩි බාධාවක් විය හැකි අතර, සීමිත සමාගම් කිහිපයකට පමණක් ටෙන්ඩරය සඳහා ඉදිරිපත් වීමට අවස්ථාව සලසා දීමේ උත්සාහයක් දැයි සැකයක් පවතී.
- සේවා සහ අළුත්වැඩියා මධ්‍යස්ථාන:
රට පුරා සේවා සහ අළුත්වැඩියා මධ්‍යස්ථාන දහයක් (බස්නාහිර පළාතෙන් පිටත පහක්) අයිතිය යටතේ පවත්වාගෙන යාම අනිවාර්ය කිරීම ද තවත් සීමාකාරී කොන්දේසියකි.
- බලයලත් ආයතන/ආශ්‍රිත ආයතන බැහැර කිරීම
ව්‍යාපාරික බලයලත් ආයතන (Authorized Agents) හෝ ආශ්‍රිත ආයතන මෙම ටෙන්ඩරය සඳහා පිළිගනු නොලැබේ. මේ නිසා, සෘජු නිෂ්පාදකයන් හෝ ඔවුන්ගේ මව් සමාගම හා සම්බන්ධතා නොමැති ආයතන බැහැර වන අතර, මෙහිදී ටෙන්ඩරය සඳහා ඉදිරිපත් විය හැකි පාර්ශ්වයන් තවදුරටත් සීමා වේ.
මෙම කොන්දේසි, විශේෂයෙන්ම කෙටි කාලසීමාව සමඟ සංයෝජනය වූ විට, තෝරාගත් සමාගම් කිහිපයක් සඳහා පමණක් ටෙන්ඩරය විවෘත කිරීමේ දේශපාලන න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක වන්නේද යන ප්‍රශ්නය මතු කරයි.
‘හදිසිය’ පිටුපස ඇති දේශපාලන කතාව
මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම විසින් නිකුත් කරන ලද චක්‍රලේඛයේ දැක්වෙන්නේ කෘෂිකර්මය, වාරිමාර්ග, ඉඩම්, සහ ප්‍රාදේශීය පරිපාලනය වැනි ක්ෂේත්‍රවල ගැටලු කඩිනමින් විසඳීම සඳහා මෙය අත්‍යවශ්‍ය බවත්, පැරණි වාහන නඩත්තුවට යන අධික පිරිවැය සහ ප්‍රමාණවත් වාහන නොමැති වීම සංවර්ධන කටයුතුවලට බාධාවක් වී ඇති බවත්ය.
“රජයේ සංවර්ධන වැඩසටහන් කඩිනම් හා කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක කිරීම” සඳහා වාහන මිලදී ගැනීමේ අවශ්‍යතාවය පිළිගත හැකි වුවද, බිලියන 40කට අධික මුදලක් වැය කරමින්, පූර්ව ලංසු රැස්වීමක්වත් නොපවත්වා, කෙටි කාලයක් තුළ අවසන් කිරීමට උත්සාහ කරන මෙවැනි විශාල ටෙන්ඩරයකදී, විනිවිදභාවය සහ තරගකාරීත්වය පිළිබඳව ජනතාවට සහ දේශපාලන විචාරකයන්ට සැක සංකා ඇතිවීම අසාධාරණ නොවේ.
අතීතයේදී, වත්මන් පාලකයන් විසින් ටෙන්ඩර් පටිපාටි උල්ලංඝනය කළ අවස්ථාවන්හිදී අදාළ ටෙන්ඩර් අවලංගු කිරීමට කටයුතු කළ ආකාරය සැලකීමේදී, වත්මන් ආණ්ඩුව බලය යොදවමින් දූෂිත අනීතික ටෙන්ඩර් ක්‍රියා සිදුකරන බවට එල්ල වන චෝදනා සත්‍ය බවට පත් වුවහොත් එය දේශපාලන සදාචාරය සම්බන්ධයෙන් ඉතාමත් බරපතල තත්ත්වයකි.
මෙම ඩබල් කැබ් ටෙන්ඩරය, රාජ්‍ය සම්පත් කළමනාකරණයේ විනිවිදභාවය සහ වගවීම සම්බන්ධයෙන් වත්මන් රජය මුහුණ දෙන අභියෝගයන් පිළිබඳව මතු කරන නවතම උදාහරණයකි. ටෙන්ඩරය හදිසි වන්නේ යැයි පවසමින් එහි විමර්ශනාත්මක අංග සහ විනිවිදභාවය නොසලකා හැරීම, රටේ ප්‍රගතියට වඩා දේශපාලන හෝ පෞද්ගලික වාසි ඉලක්ක කරගත් ක්‍රියාවලියක් බවට විපක්ෂයේ සහ සිවිල් සමාජයේ සැකය තහවුරු කිරීමට හේතුවක් විය හැකිය.
පිළිතුරු ලබාදීමේ අයිතිය:-
මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයක අපහසුතාවක් පැනනගින්නේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම්, ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට සම්පූර්ණ අයිතිය පවතී. harideshaya.lk නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, වෘත්තීය ආචාරධර්මවලට ගරුකරන අන්තර්ජාල වේදිකාවක් ලෙස පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් කරුණාකර අපට දැනුම්දෙන්න..
Email – [email protected]
WhatsApp – +94771474028

