Friday, December 19, 2025
spot_img

Latest Posts

පිරමීඩ වංචාවකට හසුව අත්අඩංගුවට පත්වූවන් අතර ක්‍රිකට් ආයතනයේ කපුවත්තගේ බිරිඳත්!


පිරමීඩ ජාවාරම් (Pyramid Schemes) යනු සාම්ප්‍රදායික ‘ජාල අලෙවිකරණය’ (Network Marketing) මුවාවෙන් ක්‍රියාත්මක වන මුදල් රැවටීමේ ක්‍රමවේදයන්ය. මෙහි මූලික අවධානය යොමුවන්නේ සැබෑ භාණ්ඩ හෝ සේවා විකිණීම වෙනුවට, නව සාමාජිකයන් බඳවා ගැනීම මත වන අතර, එම බඳවා ගැනීම් මත මුදල් හෝ ප්‍රතිලාභ උපයා ගනී. මේ නිසා පහළ ස්ථරයේ සාමාජිකයන්ට ආයෝජනය කළ මුදල හෝ ප්‍රතිලාභ අහිමි වීමේ ඉහළ අවදානමක් පවතී.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2005 වසරේදී පමණ සිට නිරන්තරයෙන් මෙවැනි පිරමීඩ ජාවාරම්වල අන්තරාය පිළිබඳව අනතුරු අඟවා ඇත. විශේෂයෙන්, ශ්‍රී ලංකාවේ මුදල් නීති පනත (Monetary Law Act) යටතේ මෙවැනි පිරමීඩ යෝජනා ක්‍රම පවත්වාගෙන යාම සම්පූර්ණයෙන්ම නීති විරෝධී සහ දඬුවම් ලැබිය හැකි වරදක් ලෙස සලකනු ලැබේ. මෙම නීතිමය තහනම පැනවීමට හේතුව, මෙවැනි වංචනික ක්‍රමවේදයන් පුද්ගල මූල්‍ය ස්ථාවරත්වයට හානි කිරීම සහ රටේ සමස්ත ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කිරීමයි.

මෙම නීතිමය පසුබිම යටතේ, ශ්‍රී ලංකාව තුළ මහා පරිමාණයෙන් ක්‍රියාත්මක වූ බව කියන පිරමීඩ ජාවාරමකට අදාළව වැදගත් පුවත් වාර්තාවක් පහත දැක්වේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගත් ‘ග්ලෝබල් ලයිෆ් ස්ටයිල් ලංකා’ සමාගමේ කළමනාකාරිත්වය සහ අධ්‍යක්ෂවරුන් ඇතුළු 7 දෙනෙකු රිමාන්ඩ් භාරයට පත් කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. රිමාන්ඩ් භාරයට ගත් පිරිස අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප ලේකම්වරයාගේ බිරිඳද සිටීම මෙම සිද්ධියේ විශේෂත්වයකි.

මේ ඒ පිළිබඳව srilankanmirror වෙබ් අඩවියේ පළකර තිබූ ලිපියකි.

ක්‍රිකට් උප ලේකම්ගේ බිරිඳ ඇතුළු 7ක් පිරමීඩ වංචාවකට රිමාන්ඩ්!


මහා පරිමාණ පිරමිඩ ජාවාරමක නිරත වූයේ යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සැකපිට අත්අඩංගුවට ගත් කොල්ලුපිටියේ පිහිටි ග්ලෝබල් ලයිෆ් ස්ටයිල් ලංකා පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ඇතුළු 7 දෙනකු ලබන 29 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර ඊයේ (23) පස්වරුවේ නියෝග කළේය.

මෙවැනි ආයතන මගින් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට විය හැකි හානිය සැලකිල්ලට ගනිමින් සැකකරුවන් රිමාන්ඩ් භාරයේ තැබීමට නියෝග කරන බව මහෙස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේය.

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි හිටපු නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් කරන ලද ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය කළේය.


අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක කැලුම් විජේසිංහ මහතා ඇතුළු නිලධාරීන් විසින් ඊයේ අත්අඩංගුවට ගත් කොල්ලුපිටිය, ආර්. ඒ. ද මෙල් මාවත, අංක 403 ලිපිනයේ පිහිටි ග්ලෝබල් ලයිෆ් ස්ටයිල් ලංකා පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන විල්වරාජන් විජේරත්නම්, එහි අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කරන කොළඹතන්ත්‍රිගේ ප්‍රියන්ත ප්‍රේමනාත්, ඇනීටා ශ්‍රියානි කපුවත්ත, මිරිහැල්ල වරකාපිටිය මුදියන්සේලාගේ නාමල් බණ්ඩාර කුලතුංග, සෝලමුත්තු සිවරාජා සහ එහි වෙළෙඳ ප්‍රචාරක කටයුතු සිදුකළ බව කියන පල්ලේගෙදර ප්‍රේමකීර්ති බණ්ඩාර, ලියනආරච්චිගේ සුසන්ත බණ්ඩාර යන සැකකරුවන් 7 දෙනකු එලෙස රිමාන්ඩ් භාරයේ තබන ලෙස මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.


අදාළ නඩුව මහෙස්ත්‍රාත්වරයාගේ නිල මැදිරියේදී කැඳවූ අවස්ථාවේදී විමර්ශනයේ ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙසේ දන්වා සිටියේය.

‘‘ශ්‍රී ලංකාවේ පදිංචි මැලේසියානු ජාතික මුදල් වංචාකරුවන් විසින් මෙරට ආර්ථිකය සූරාකමින් ග්ලෝබල් ලයිෆ් ස්ටයිල් ලංකා පුද්ගලික සමාගම නමින් නීතිවිරෝධී පිරමීඩාකාර ව්‍යාපාර සිදුකරන සමාගමක් ආරම්භ කර තිබෙනවා. එම සමාගම යටතේ ලංකාව පුරා නීති විරෝධී ආකාරයෙන් ගනුදෙනු සිදුකර මුදල් උපයාගෙන එම මුදල් භාවිත කර දේපළ මිලදී ගෙන තිබෙනවා. 

එම මුදල්වලින් කොටසක් විදේශ රටවල් වෙත නීතිවිරෝධී ආකාරයෙන් බැහැර කර තිබෙන බවත් අනාවරණය වී තිබෙනවා. 2009 වසරේ සිට මෙම පිරමිඩ ව්‍යාපාරය ආරම්භ කර තිබෙනවා. ‘නෙට්වර්ක් මාකටින්’ නමැති සංකල්පයක් පළමු වරට මෙරටදී හඳුන්වා දෙමින් මෙම පිරමිඩ ව්‍යාපාරය මොවුන් සිදුකර තිබෙනවා. ඉලෙක්ට්‍රොනික් උපකරණ, ගෘහභාණ්ඩ ඇතුළු විවිධ භාණ්ඩ 100 කට ආසන්න පිරිසක් අලෙවි කරමින් සැකකාර ආයතනයේ පිරිස් මෙම ජාවාරම සිදුකර තිබෙනවා.

සැකකාර පිරමිඩ ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ඇතුළු සැකකරුවන් වෙනුවෙන් නීතිඥවරුන් පිරිසක් සමග පෙනී සිටි හිටපු නීතිඥ, ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් කරුණු ඉදිරිපත් කරමින් සිය සේවාදායකයන්ගෙන් යම්කිසි අලාභයක් සිදුව ඇත්නම් එය පියවීමට සූදානම් හෙයින් ඔවුන් ඇප මත මුදාහරන ලෙස ඉල්ලා සිටියේය.

මහෙස්ත්‍රාත්වරයා:

‘මෙම සිද්ධියට අදාළ පොලිසියේ විමර්ශනවල අඩුපාඩු රැසක් තිබෙන බව අධිකරණයට පෙනී යනවා. මෙම සිද්ධියේ වින්දිතයන් සොයා ගැනීම සඳහා කඩිනම් විමර්ශන සිදුකළ යුතුයි. මෙම නඩුව කැඳවන ඊළඟ දිනයේදී සැකකරුවන් සම්බන්ධයෙන් තිබෙන කරුණු පැහැදිලිව ඉදිරිපත් කරන ලෙස අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරමි.’’

මෙසේ රිමාන්ඩ් භාරයට පත් පිරිස අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපලේකම් ක්‍රිශාන්ත කපුවත්ත මහතාගේ බිරිඳද සිටී.

පිළිතුරු ලබාදීමේ අයිතිය:-

මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයක අපහසුතාවක් පැනනගින්නේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම්, ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට සම්පූර්ණ අයිතිය පවතී. harideshaya.lk නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, වෘත්තීය ආචාරධර්මවලට ගරුකරන අන්තර්ජාල වේදිකාවක් ලෙස පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.

ඒ වෙනුවෙන් කරුණාකර අපට දැනුම්දෙන්න..

Email – [email protected]
WhatsApp – +94771474028

Latest Posts

spot_imgspot_img