වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වන ලසන්ත වික්‍රමසේකර, හෙවත් “මිදිගම ලසා”, අද (ඔක්තෝබර් 22) උදෑසන නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකුගේ වෙඩි ප්‍රහාරයකට ලක්වීමත් සමඟ, මෑත කාලීන ඉතිහාසය තුළ දේශපාලන සහ පාතාල ක්‍රියාකාරකම්වල කේන්ද්‍රස්ථානයක් බවට පත්ව ඇති වැලිගම ප්‍රදේශයේ තත්ත්වය පිළිබඳව යළිත් අවධානය යොමුවී තිබේ.
යතුරුපැදියකින් පැමිණි බව කියන මෙම තුවක්කුකරුවන් දෙදෙනා, සභාපතිවරයා ප්‍රාදේශීය සභා කාර්යාලයේ සිය නිල පුටුවේ අසුන්ගෙන සිටියදී වෙඩි තබා ඇති බව පොලීසිය පවසයි. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ සභාපතිවරයා වහාම රෝහල් ගත කර ඇති අතර ජීවිතක්ෂයට පත්ව ඇත.
අර්බුදයේ කේන්ද්‍රස්ථානය වූ වැලිගම
වැලිගම ප්‍රදේශය මෑත ඉතිහාසය තුළ දේශපාලන සහ පාතාල ක්‍රියාකාරකම් බහුල වූ ප්‍රදේශයක් ලෙස සලකුණු වී ඇත. මෙම වෙඩි තැබීමේ සිදුවීම වැලිගම අවට දේශපාලන ක්ෂේත්‍රයේ මතුවෙමින් පවතින උණුසුම් තත්ත්වයේම එක් දිගුවක් ලෙස බොහෝ දෙනා අර්ථකථනය කරති.
පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් අනතුරුව වැලිගම ප්‍රාදේශීය සභාවේ සහ නගර සභාවේ බලය පිහිටුවීම සම්බන්ධයෙන් ඇති වූ සිදුවීම් ගණනාවක් ප්‍රදේශය තුළ දැඩි මතභේදයට තුඩු දී තිබුණි. මෙම ආයතන දෙකෙහිම වැඩිම මනාප සංඛ්‍යාවක් ලබා ගත්තේ ජාතික ජන බලවේගය (මාලිමාව) වුවද, බලය පිහිටුවීමේදී මාළිමාවට විපක්ෂවූ පක්ෂ සන්ධානයක් විසින් සභා බලය දිනා ගන්නා ලදී.
බලය පිහිටුවීමෙන් පසු ඇති වූ අවුල් සහගත තත්ත්වයන්, සභා රැස්වීම්වලදී ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයන් සහ පසුව ඇති වූ විවිධ ආරවුල් දේශපාලන වාර්තාකරුවන්ගේ අවධානයට ලක් විය. දේශපාලන බලය අල්ලා ගැනීමේ මෙම ගැටුම්කාරී ක්‍රියාවලිය තුළ පාතාල කණ්ඩායම්වල මැදිහත්වීම් පිළිබඳ චෝදනා ද එල්ල විය.
පාතාලය දේශපාලනයට ඈඳා ගැනීම
මිදිගම ලසා ලෙස ප්‍රසිද්ධ ලසන්ත වික්‍රමසේකර ට එල්ල වූ මෙම ප්‍රහාරය, වැලිගම දේශපාලනය සහ ප්‍රදේශයේ ක්‍රියාත්මක වන පාතාල කල්ලි අතර ඇති සම්බන්ධතාව යළිත් ප්‍රශ්න කරයි. ප්‍රදේශීය දේශපාලන බලය, කොන්ත්‍රාත් සහ අනෙකුත් වාසි ලබා ගැනීම සඳහා පාතාල කණ්ඩායම් යොදා ගැනීම දිගු කලක් තිස්සේ පැවත එන චෝදනාවකි.
වැලිගම සභාපතිවරයාට සිය නිල කාර්යාලය තුළදීම දහවල් කාලයේ එල්ල වූ මෙම ප්‍රහාරය මගින්, ප්‍රදේශයේ නීතියේ ආධිපත්‍යය බිඳවැටීම සහ අපරාධකරුවන්ගේ නිර්භීතභාවය මනාව පෙන්නුම් කරයි.
මතු වන ප්‍රශ්න
ප්‍රදේශයේ ජනතාව අද වන විට ප්‍රශ්න කරන්නේ, මෙම වෙඩි තැබීම හුදෙක් අපරාධමය සිදුවීමක්ද, නැතහොත් බලය තහවුරු කර ගැනීම සඳහා දේශපාලන ප්‍රතිවාදීන් විසින් දියත් කරන ලද මෙහෙයුමක්ද යන්නයි.
පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සම්බන්ධයෙන් ඇති වූ ආරවුල් මෙන්ම, දේශපාලනමය වශයෙන් විරුද්ධ මත දරන පාර්ශව ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාරය එල්ල වූවා දැයි යන්න පිළිබඳව පුළුල් පරීක්ෂණයක් පැවැත්වීම කාලීන අවශ්‍යතාවයකි.
වැලිගම ප්‍රදේශයේ දේශපාලනය පාතාලය සමඟ ගුප්ත ලෙස බැඳී ඇති බවට වන මහජන මතය ශක්තිමත් කරමින්, මෙම සිදුවීම ප්‍රදේශයේ නීතිය හා සාමය පිළිබඳ තත්ත්වය පිළිබඳව දැඩි ප්‍රශ්න ගණනාවක් මතු කරයි. වැලිගම නැවතත් අපරාධ සහ දේශපාලන ගැටුම්වල උණුසුම් කලාපයක් බවට පත්වීම වැළැක්වීමට බලධාරීන් කඩිනමින් මැදිහත් විය යුතුය.
පිළිතුරු ලබාදීමේ අයිතිය:-
මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයක අපහසුතාවක් පැනනගින්නේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම්, ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට සම්පූර්ණ අයිතිය පවතී. harideshaya.lk නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, වෘත්තීය ආචාරධර්මවලට ගරුකරන අන්තර්ජාල වේදිකාවක් ලෙස පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් කරුණාකර අපට දැනුම්දෙන්න..
Email – [email protected]
WhatsApp – +94771474028

