Friday, December 19, 2025
spot_img

Latest Posts

තුම්මුල්ලේ හෝම්ලෑන්ඩ් පෙන්ටාරා හුටපටය ! – නීතියේ කනින් රිංගා දුන් UDA අනුමැතියට ‘මාතෘභූමි’ සංවිධානයෙන් නඩු

කොළඹ 05, තුම්මුල්ල, හැව්ලොක් පාරේ ඉදි කිරීමට යෝජිත තට්ටු 40කින් යුතු හෝම්ලෑන්ඩ් පෙන්ටාරා’ නිවාස සංකීර්ණය සඳහා නීතියට පටහැනිව අනුමැතිය ලබාදුන් බව කියන නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගවලට  අවතීර්ණ වන බව ”මාතෘභුමි” සංවිධානය පවසයි.

‘මාතෘභුමි” සංවිධානයේ කැඳවුම්කාරිනි, මාධ්‍යවේදී සිරිමලී ලියනගම විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් ඒ බව කියා සිටියි.

‘මාතෘභුමි” සංවිධානය විසින් නිකුත්කර ඇති නිවේදනයේ මෙසේද සඳහන් වේ.


අකටයුතුකම් හෙළිදරව් කිරීම වගකීමක් ….

නාගරික සංවර්ධන අධිකාරිය (UDA) විසින් කොළඹ 05, තුම්මුල්ල පෙදෙසේ, නාගරික සැලසුම් රෙගුලාසි සහ පාරිසරික නීතිරීති පැහැදිලි ලෙස උල්ලංඝනය කරමින් ‘හෝම් ලෑන්ඩ්ස්’ පුද්ගලික සමාගමේ අධි උස නිවාස ව්‍යාපෘතියකට නීති විරෝධී ලෙස අනුමැතිය ලබා දීම සම්බන්ධයෙන් මාධ්‍ය ආයතනයක් විසින් සිදු කරන ලද නිර්භීත හෙළිදරව්වට එරෙහිව, හිටපු UDA සභාපති කුමුදුලාල් මහතා විසින් අද (ඔක්තෝබර් 21) දහවල් කුරුඳුවත්ත පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ඔහු සිය පැමිණිල්ල මඟින් දක්වා ඇත්තේ, මාධ්‍ය විසින් අනාවරණය කළ තොරතුරු සාවද්‍ය බවත්, එමඟින් තමාට අපහාසයක් සිදු වී ඇති බවත්ය.

කෙසේ වුවද, එකී මාධ්‍ය අනාවරණයන්හි තොරතුරු පදනම් වී ඇත්තේ අදාළ ප්‍රදේශවාසීන් විසින් අභියාචනාධිකරණයට ඉදිරිපත් කර ඇති නෛතික කරුණු සහ UDA හි අභ්‍යන්තර සැලසුම් රෙගුලාසි පිළිබඳ නිවැරදි විශ්ලේෂණයක් මතය.



මෙම හෙළිදරව්ව මඟින් අවධාරණය වූයේ:

* කලාපකරණ උල්ලංඝනය:
විශේෂ නේවාසික කලාපයකට අයත් ඉඩම, නීති විරෝධී ලෙස මිශ්‍ර සංවර්ධන කලාපයකට අයත් ලෙස සලකා අනුමැතිය ලබා දීම.

* උස සීමාව ඉක්මවීම:
මීටර් 50 ක උපරිම සීමාව තිබියදී මීටර් 120 කට වඩා වැඩි උසකට අනුමැතිය ලබා දීම.

* වංචනික ලෙස මුහුණත පළල තක්සේරු කිරීම:
මීටර් 30 ට අඩු මුහුණත පළල මීටර් 40 ක් ලෙස සලකා නිර්ණායක සම්පූර්ණ කළ බව පෙන්වා දීම.

දූෂිත ගනුදෙනු සහ නීති විරෝධී ක්‍රියා කිසිවක් සදාකාලිකව වසා තැබිය නොහැක

හිටපු සභාපතිවරයා විසින් මාධ්‍යයට එරෙහිව පැමිණිලි ඉදිරිපත් කළ ද, ඔහුට එරෙහිව ප්‍රදේශවාසීන් විසින් මේ වන විටත් පැමිණිලි 17 ක් කුරුඳුවත්ත පොලීසියට කර ඇති බව පොලිස් ආරංචි මාර්ග වාර්තා කර ඇත. ඒ අනුව මෙමඟින් ගම්‍ය වන්නේ, මාධ්‍ය විසින් සිදු කර ඇත්තේ දූෂිත පරිපාලනයකට එරෙහිව මහජන හඬ අවදි කිරීම පමණක් බවයි. තනතුරින් නිල වශයෙන් ඉවත් කර තිබියදීත්, හිටපු සභාපතිවරයා තවමත් “වැඩ බලන සභාපතිවරයා” ලෙස පෙනී සිටිමින් අත්තනෝමතික ලෙස UDA පාලනය කිරීමට උත්සාහ දරන බව ආයතනයේ අභ්‍යන්තර ආරංචිමාර්ග තහවුරු කරයි.

තවද, ඔහු තම බලය අවසාන වරට භාවිතා කරමින්, එළඹෙන සෙනසුරාදා කොළඹ වෝටර්ස් එජ් හෝටලයේ කළමනාකරණ මණ්ඩල රැස්වීමක් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව ද, වාර්තා වේ.

මෙම සිදුවීම තුළින් පැහැදිලි වන්නේ, මාධ්‍යවේදීන් තම වෘත්තීය නිසි ලෙස ක්‍රියාවට නඟමින් රටේ නීතිය, පාරිසරික සාධාරණත්වය සහ මහජන අයිතිය ආරක්ෂා කිරීමට කැපවීමය.

හිටපු සභාපතිවරයා සිය වැරදි වසා ගැනීමට උත්සාහ කරමින්, මාධ්‍යවේදීන් බිය ගැන්වීමට හා ඔවුන්ගේ වෘත්තීය කාර්යභාරයට අපහාස කිරීමට උත්සාහ කළ ද, දූෂිත ගනුදෙනු සහ නීති විරෝධී ක්‍රියා කිසිවක් සදාකාලිකව වසා තැබිය නොහැක.

 “මාතෘභූමි” සංවිධානය විසින් අවධාරණය කරන්නේ, මෙම නීති විරෝධී අනුමැතිය සම්බන්ධයෙන් නව නාගරික සංවර්ධන අමාත්‍ය ගරු බිමල් රත්නායක මහතා වහාම පරීක්ෂණයක් ආරම්භ කර, මාධ්‍ය නිදහස සහ විනිවිදභාවය ආරක්ෂා කරමින්, අදාළ නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවය. දූෂණය තුරන් කිරීමේ වත්මන් රජයේ ප්‍රතිඥාව යටතේ, මෙවැනි අකටයුතුකම් සම්බන්ධයෙන් නිසිලෙස හෙළිදරව් කිරීම වගකීමක් ලෙස සලකනමාතෘභූමී” සංවිධානය මෙවන් වූ කිසිදු බිය ගැන්වීමකින් තොරව එම කාර්යය ඉදිරියට ගෙන යන බවට මහජනතාවට සහතික වෙයි.

පිළිතුරු ලබාදීමේ අයිතිය:-

මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයක අපහසුතාවක් පැනනගින්නේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම්, ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට සම්පූර්ණ අයිතිය පවතී. harideshaya.lk නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, වෘත්තීය ආචාරධර්මවලට ගරුකරන අන්තර්ජාල වේදිකාවක් ලෙස පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.

ඒ වෙනුවෙන් කරුණාකර අපට දැනුම්දෙන්න..

Email – [email protected]
WhatsApp – +94771474028

Latest Posts

spot_imgspot_img