Saturday, February 14, 2026
spot_img

Latest Posts

සිංගප්පූරු ආශ්චර්යයේ නියමුවා: ශ්‍රී ලංකාවට පාඩමක්

මිලින්ද මොරගොඩ විසිනි.


සිංගප්පූරුවේ ප්‍රථම ප්‍රධාන ආර්ථික උපදේශකයා වූ ලන්දේසි ජාතික ආර්ථික විද්‍යාඥ ආචාර්ය ඇල්බට් වින්සෙමියස් (Dr. Albert Winsemius) අභාවප්‍රාප්ත වී 2026 වසරට වසර 30ක් සපිරෙයි. ඒ නිමිත්තෙන් හිටපු කැබිනට් අමාත්‍ය සහ රාජ්‍ය තාන්ත්‍රිකයකු වන මිලින්ද මොරගොඩ මහතා විසින් ලියන ලද මෙම විශේෂ ලිපියෙන් වින්සෙමියස්ගේ දූරදර්ශී දායකත්වය සහ ඔහු සමඟ පැවැත්වූ පෞද්ගලික ඇසුර පිළිබඳව මතකයන් අවදි කරයි. සම්පත් විරහිත දූපතක් ලෝක ආර්ථික බලවතෙකු බවට පත් කිරීමට වින්සෙමියස් ලබා දුන් ප්‍රායෝගික මගපෙන්වීමත්, සිංගප්පූරුව සහ ඩුබායි අතර ඇති හිඩැස පිරවිය හැකි ප්‍රධාන මධ්‍යස්ථානය ලෙස කොළඹ නගරය පිළිබඳව ඔහු දුටු සිහිනය ශ්‍රී ලංකාවට තවමත් වැදගත් වන්නේ මන්දැයි මෙහිදී විග්‍රහ කෙරේ.

ආචාර්ය ඇල්බට් වින්සෙමියස් අනුස්මරණය: සිංගප්පූරුව ගොඩනැගූ ආකාරය සහ එය තවමත් ශ්‍රී ලංකාවට වැදගත් වන්නේ ඇයි?

(ආචාර්ය ඇල්බට් වින්සෙමියස්)

2026 වසර සනිටුහන් කරන්නේ සිංගප්පූරුවේ ප්‍රථම ප්‍රධාන ආර්ථික උපදේශකයා සහ එහි පරිවර්තනය පිටුපස සිටි ප්‍රධාන මගපෙන්වන්නා වූ ආචාර්ය ඇල්බට් වින්සෙමියස්ගේ අභාවයෙන් 30 වැනි සංවත්සරයයි. වින්සෙමියස් යනු සිංගප්පූරුවේ මුල්කාලීන සංවර්ධනය කෙරෙහි දැවැන්ත බලපෑමක් ඇති කළ ලන්දේසි ආර්ථික විද්‍යාඥයෙකි. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) දූත පිරිසක ප්‍රධානියා ලෙස 1960 දී ප්‍රථම වරට පත් කරන ලද ඔහු, පසුව එරට නිර්මාතෘ නායක අගමැති ලී ක්වාන් යූ සමඟ සමීපව කටයුතු කරමින්, පශ්චාත් යුධ සමයේ ලොව සාර්ථකම ආර්ථික ප්‍රතිසංස්කරණයක ආයතනික සහ ප්‍රතිපත්තිමය පදනම සකස් කළේය.

මම ක්‍රියාකාරී දේශපාලනයට පිවිසීමට පෙර, විශ්‍රාම සුවයෙන් පසුවෙමින් සිටි ආචාර්ය ඇල්බට් වින්සෙමියස්ව ප්‍රථම වරට හේග් (The Hague) නුවරදී මුණගැසුණෙමි. ඒ 1980 දශකයේ මැද භාගයේදී, මගේ විසි ගණන්වල මුල් භාගයේදීය. ඔහුගේ සරල බව, පැහැදිලි චින්තනය සහ ස්ථිර විශ්වාසය මා කෙරෙහි නොමැකෙන මතකයක් ඉතිරි කළේය. ඔහු ප්‍රදර්ශනකාමී චරිතයක් නොවූ අතර, ඔහුගේ ප්‍රවේශය විනයගරුක සහ නිරවද්‍ය විය. එය මතවාදයකට වඩා තර්කනය මත පදනම් වූ ලන්දේසි ප්‍රායෝගිකවාදය (Pragmatism) මැනවින් පිළිබිඹු කළේය.

එකල මගේ දිවංගත පියා හේග් නුවර පදිංචිව සිටියේය. සිංගප්පූරුවේ නැගී සිටීම සඳහා ඔහු ඉටු කළ වැදගත් කාර්යභාරය පිළිබඳව කියවා තිබූ මම, ඔහුගේ අත්දැකීම්වලින් ඉගෙන ගැනීමට දැඩි කැමැත්තකින් සිටියෙමි. මගේ පියාගේ සමීප මිතුරෙකු වූ – රැජිනගේ නිවහන භාරව සිටි ජ්‍යෙෂ්ඨ ලන්දේසි රාජ්‍ය තාන්ත්‍රිකයෙකු හරහා මට ඔහුව හඳුන්වා දෙන ලදී. එම හමුවීමෙන් පසු නෙදර්ලන්තයට ගිය මගේ සෑම සංචාරයකදීම ඔහු සමඟ ඉතා වැදගත් සාකච්ඡා කිහිපයක් පැවැත්වීමට අවස්ථාව ලැබුණි.

මා වඩාත්ම විශ්මයට පත් කළේ සංකීර්ණ ආර්ථික අභියෝග සරල සංකල්පීය රාමුවකට ගොනු කරමින්, ප්‍රතිපත්තිමය වශයෙන් මෙන්ම ප්‍රායෝගික වශයෙන් ද ක්‍රියාත්මක කළ හැකි විසඳුම් ඉදිරිපත් කිරීමට ඔහුට තිබූ දුර්ලභ හැකියාවයි. එහෙත් ඔහු හුදු තාක්ෂණික නිලධාරියෙකු (Technocrat) පමණක් නොවීය. ආර්ථික වර්ධනය සහ අවස්ථා උදා කිරීම යනු දුෂ්කරතා අවම කර ගෞරවය නැවත ලබා දීමේ වඩාත් ඵලදායී මාධ්‍යය බව ඔහු විශ්වාස කළේය. එම විශ්වාසය ඔහුගේ ආර්ථික ප්‍රතිපත්තිවල සදාචාරාත්මක හරය විය.

වින්සෙමියස් වරක් සිහිපත් කළේ 1960 දී සිංගප්පූරු ඉතිහාසයේ තීරණාත්මක සන්ධිස්ථානයකදී ඔහු එහි ගිය ප්‍රථම සංචාරයයි. එම පත්වීම සිංගප්පූරුව සමඟ දශක දෙකකට වැඩි කාලයක් – එනම් වසර 25කට ආසන්න කාලයක් – පුරා පැතිරුණු සුවිශේෂී සබඳතාවක ආරම්භය විය. ඒ කාලය පුරාම ඔහු රජයට උපදෙස් දෙමින් දිගුකාලීන ආර්ථික උපායමාර්ග සකස් කිරීමට උදව් කළේය.

යුනිලිවර් (Unilever) සහ ෂෙල් (Shell) වැනි බහුජාතික සමාගම් ආකර්ෂණය කර ගැනීමට කටයුතු කළ පශ්චාත් යුධ නෙදර්ලන්තයේ අත්දැකීම් ඇසුරින්, ඔහු ඕලන්දය සහ සිංගප්පූරුව අතර පැහැදිලි සමානකම් දුටුවේය. ස්වභාවික වායු සොයා ගැනීමට පෙර, නෙදර්ලන්තය ද සිංගප්පූරුව මෙන්ම – ඇතැම් කරුණුවලදී ශ්‍රී ලංකාව මෙන්ම – ප්‍රධාන ස්වභාවික සම්පත් නොමැති, ආර්ථික වශයෙන් අදාළව සිටීම සඳහා විවෘතභාවය, කාර්යක්ෂමතාව සහ උපායමාර්ගික දැක්ම මත යැපීමට සිදු වූ කුඩා ආර්ථිකයක ලක්ෂණ පෙන්නුම් කළේය.

තරඟකාරී ලෝකයක, ආයෝජන ප්‍රවර්ධනය සඳහා වේගය, තීරණාත්මක බව සහ අඛණ්ඩතාව අත්‍යවශ්‍ය බව වින්සෙමියස් විශ්වාස කළේය. විදේශීය ආයෝජකයින්ට කාර්යක්ෂමතාව මෙන්ම නිශ්චිතභාවය ද අවශ්‍ය බව ඔහු නිතර පෙන්වා දුන්නේය. මේ සඳහා ඔහු ආයෝජකයින්ට අමාත්‍යාංශ කිහිපයක් හරහා රස්තියාදු වීමට සිදු නොවන පරිදි “එක් නැවතුම් ආයතනයක්” (One-stop agency) පිහිටුවීමට දැඩි ලෙස යෝජනා කළේය. මෙම නිර්දේශය 1961 දී ආර්ථික සංවර්ධන මණ්ඩලය (Economic Development Board – EDB) පිහිටුවීමට සෘජුවම හේතු වූ අතර, එය සිංගප්පූරුවේ ආර්ථික සාර්ථකත්වයේ කේන්ද්‍රස්ථානය බවට පත් විය. පසුව ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ රටවල් මෙය ආදර්ශයට ගැනීමට උත්සාහ කළහ.

ආචාර්ය වින්සෙමියස් විශ්වාස කළේ තරඟකාරිත්වය පවත්වා ගැනීම සඳහා ශ්‍රමය, යටිතල පහසුකම්, බදුකරණය සහ පාලනය කෙරෙහි නිරන්තර අවධානය යොමු කළ යුතු බවයි. තීරණ ගැනීම වේගවත් හා අනාගතයට ගැලපෙන විය යුතු අතරම, විශ්වාසය සහ ස්ථාවරත්වය ද ආරක්ෂා කළ යුතුය. තිරසාර ආයෝජන සඳහා ස්ථාවරත්වය සහ සමාජ සහයෝගීතාව අත්‍යවශ්‍ය පූර්ව අවශ්‍යතා බව ඔහු තර්ක කළේය.

සියල්ලටම වඩා, ඔහු අවධාරණය කළේ සිංගප්පූරුවේ සාර්ථකත්වය රඳා පවතින්නේ එහි නිර්මාතෘ නායකයින්ගේ දැක්ම, අඛණ්ඩතාව සහ අධිෂ්ඨානය මත මෙන්ම, සිංගප්පූරු ජනතාව ඔවුන් කෙරෙහි තැබූ විශ්වාසය මත බවයි. නායකත්වය සහ ජනතාව අතර ඇති මෙම බැඳීම ජාතික සංවර්ධනයේ සැබෑ පදනම ලෙස ඔහු සැලකුවේය.

ඔහු වරක් සඳහන් කළේ, අගමැති ලී ක්වාන් යූ ඇතැම් ගැටලු තමාගේ මීළඟ සංචාරය තෙක් පසෙක තැබීමට නිලධාරීන්ට පවසන බවයි. එය ඔහු කෙරෙහි තැබූ අසීමිත විශ්වාසය සහ බුද්ධිමය ගෞරවය පිළිඹිබු කරන්නකි. ඔහු අගය කරනු ලැබුවේ ඔහුගේ අපක්ෂපාතීත්වය සහ වෛෂයිකභාවය නිසාය; ඔහු පෞද්ගලික හෝ මතවාදී න්‍යාය පත්‍ර නොමැති, පැහැදිලිව සහ ස්ථිර විශ්වාසයකින් යුතුව කතා කළ උපදේශකයෙකු විය.

ඔහුගේ නිල උපදේශක භූමිකාව අවසන් වූ පසුවත් එම සමීපත්වය පැවතුනි. 2015 දී අගමැති ලී ක්වාන් යූ අභාවප්‍රාප්ත වූ විට, ආචාර්ය වින්සෙමියස්ගේ දරුවන්ට පවුලේ අමුත්තන් ලෙස අවමංගල්‍යයට සහභාගී වන ලෙස ආරාධනා කරන ලදී. එය ඔහු කෙරෙහි පැවති ගෞරවය නිහඬව ප්‍රකාශ වූ අවස්ථාවකි.

විශ්‍රාම ගැනීමෙන් පසුව පවා වින්සෙමියස් සිංගප්පූරුවේ සිදුවන වර්ධනයන් පිළිබඳව සමීපව අවධානය යොමු කළේය. සිංගප්පූරු රජය විසින් එරට ජාතික ගුවන් සේවය හරහා නිතිපතා ඔහුට ‘The Straits Times’ පුවත්පත එවනු ලැබූ බවත්, ඒ හරහා ඔහු එරට තොරතුරු යාවත්කාලීනව දැන සිටි බවත් ඔහු වරක් සිහිපත් කළේය.

මගේ එක් සිංගප්පූරු සංචාරයකදී, ඔහු මුල් වසරවලදී ඔහු සමඟ කටයුතු කළ ඔහුගේ හිටපු සගයන් කිහිප දෙනෙකු මුණගැසීමට මට කටයුතු සූදානම් කළේය. අදහස් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්නේ කෙසේද සහ දැක්මක් සහිත සැලසුමකට වඩා විනයගරුක ක්‍රියාත්මක කිරීම (Execution) කොතරම් තීරණාත්මකද යන්න පිළිබඳ මගේ අවබෝධය එම සාකච්ඡා මගින් ගැඹුරු විය.

අපගේ පසුකාලීන සාකච්ඡාවකදී, වින්සෙමියස් ඕලන්දය සහ සිංගප්පූරුව අතර සුවිශේෂී සමානකමක් පෙන්නුම් කළේය. පශ්චාත් යුධ සමයේ නෙදර්ලන්තය රොටර්ඩෑම් වරාය (Rotterdam Port), ඇම්ස්ටර්ඩෑම් ගුවන් තොටුපළ සහ ඒකාබද්ධ මාර්ග හා දුම්රිය ජාලයන් භාවිතා කරමින් යුරෝපයේ බෙදාහැරීමේ මධ්‍යස්ථානය ලෙස දැනුවත්ව ස්ථානගත විය. සිංගප්පූරුව ද නැගෙනහිර ආසියාව සඳහා එවැනිම උපායමාර්ගික තේරීමක් කර ඇති බව ඔහු නිරීක්ෂණය කළේය. ශ්‍රී ලංකාවට ද කවදා හෝ දකුණු ආසියාව සඳහා එවැනි භූමිකාවක් ඉටු කළ හැකි බව ඔහු විශ්වාස කළේය.

1991 මුල් භාගයේදී මා එවකට සභානායක සහ කර්මාන්ත, විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නෙදර්ලන්ත සංචාරය සම්බන්ධීකරණය කළ අවස්ථාව මට පැහැදිලිව මතකයි. මා විසින් ආචාර්ය වින්සෙමියස් ගැන පවසා තිබූ කරුණු නිසා වික්‍රමසිංහ මහතා ඔහුව මුණගැසීමට කැමැත්ත පළ කළ අතර අපි ඔහුගේ නිවසට ගියෙමු. අප සාලයේ කතා කරමින් සිටියදී, වින්සෙමියස් නැගී සිට බිත්තියේ තිබූ ලෝක සිතියමක් වෙත ගියේය. ඔහුගේ ඇඟිල්ල සිංගප්පූරුවේ සිට ඩුබායි දක්වා රේඛාවක් ඇඳ, පසුව කොළඹ නගරය මත මදක් නතර විය. මෙහි විශාල හිඩැසක් තිබෙනවා,” ඔහු පැවසීය. ශ්‍රී ලංකාවේ අනාගතය රැඳී ඇත්තේ දකුණු ආසියාවට සහ ඉන් ඔබ්බට යන දොරටුවක් බවට පත්වීම මත බවත්, නමුත් ඒ සඳහා තීරණාත්මක ලෙස ක්‍රියා කළ යුතු බවත් ඔහු ඉන් අදහස් කළේය. දශක තුනකට පසුවත්, කණගාටුවට කරුණ නම් එම විභවය තවමත් සාක්ෂාත් කර ගැනීමට අප අපොහොසත් වීමයි.

ආචාර්ය වින්සෙමියස් 1996 දෙසැම්බර් මාසයේදී අභාවප්‍රාප්ත විය. වසර හතරකට පසු මම ක්‍රියාකාරී දේශපාලනයට පිවිස කැබිනට් අමාත්‍යවරයකු ලෙස කටයුතු කරන විට, මට බොහෝ විට ඔහුගේ උපදෙස් සිහිපත් විය – එනම් ප්‍රතිපත්තිමය පැහැදිලිභාවය, අවධානය සහ ප්‍රායෝගික බව පිළිබඳ ඔහුගේ අවධාරණයයි.

ඔහු සෑම අතින්ම අදහස් සහ ක්‍රියාව අතර පාලමක් විය. තාක්ෂණික බිඳවැටීම්, ජනගහන වෙනස්වීම් සහ භූ දේශපාලනික උච්චාවචනයන් පවතින යුගයක, ප්‍රතිපත්තිමය පැහැදිලිභාවය, ආයතනික ශක්තිය සහ විනයගරුකව ක්‍රියාත්මක කිරීම පිළිබඳ ආචාර්ය වින්සෙමියස්ගේ මගපෙන්වීම තවමත් අපට ඉතා වැදගත් වේ.



(මිලින්ද මොරගොඩ මහතා හිටපු කැබිනට් අමාත්‍යවරයකු සහ රාජ්‍ය තාන්ත්‍රිකයකු වන අතර, ශ්‍රී ලංකාවේ උපායමාර්ගික කටයුතු පිළිබඳ 'Pathfinder Foundation' ආයතනයේ නිර්මාතෘවරයා ද වේ. ඔහුව [email protected] හරහා සම්බන්ධ කර ගත හැක.)

Latest Posts

spot_imgspot_img