Saturday, February 14, 2026
spot_img

Latest Posts

ඉන්දියානු එන්නත් 10ක තහනම: තාක්ෂණික දෝෂයක්ද? දේශපාලන උවමනාවක්ද?

– අනුමැතිය දුන් ලිපි මෙන්න!

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය නැවත වරක් දැඩි කතාබහකට ලක්ව ඇත්තේ ඉන්දියානු එන්නත් වර්ග 10ක් භාවිතයෙන් ඉවත් කිරීමට ඖෂධ නියාමන අධිකාරිය ගත් තීරණයත් සමඟය. පොදු මහජනතාව තුළ “බාල ඖෂධ” භීතිකාව යළිත් ලැව්ගින්නක් සේ පැතිර යද්දී, මෙම තීරණය පිටුපස ඇති සැබෑ තාර්කික පදනම කුමක්ද යන්න පිළිබඳව බරපතල ගැටලු රැසක් මතුවේ.

විශේෂයෙන්ම MAAN Pharmaceuticals සමාගම සම්බන්ධයෙන් මතුව ඇති මෙම තත්ත්වය, හුදෙක් ගුණාත්මකභාවය පිළිබඳ ප්‍රශ්නයක්ද නැතහොත් ක්‍රමවේදයන් හිතාමතා මඟහැරීමක්ද යන්න අප සතු ලේඛන ඇසුරින් විමසා බැලිය යුතුය.

1. වසර 20ක ඉතිහාසය සහ ලියාපදිංචිය

ප්‍රධානතම චෝදනාව වන්නේ මෙම සමාගම් හදිසියේ ලියාපදිංචි කළ බාල සමාගම් බවයි. එහෙත් අප සතු ලේඛනවලට අනුව (ලිපිය: 2004 මැයි 7), MAAN Pharmaceuticals Ltd සමාගමේ පැතිකඩ (Company Profile) ශ්‍රී ලංකාවේ වෛද්‍ය තාක්ෂණ සහ සැපයුම් අධ්‍යක්ෂ කාර්යාලය විසින් පිළිගෙන ඇත්තේ මීට වසර 20කට පෙර, එනම් 2004 වසරේදීය. එසේම, වර්තමානයේ මෙම සමාගමේ දේශීය නියෝජිතයා ලෙස PTC ආයතනය කටයුතු කරන්නේ 2017 වසරේ සිටය. එබැවින් මෙම සමාගම ක්ෂේත්‍රයට නවකයෙකු නොවන බව පැහැදිලිය.

2. “Pre-shipment” පරීක්ෂණ වාර්තා පරස්පරතාව

වඩාත්ම මතභේදාත්මක කරුණ වන්නේ රාජ්‍ය ඖෂධ සංස්ථාව (SPC) විසින් එවන ලද විද්‍යුත් පණිවිඩයයි. එහි පැහැදිලිවම සඳහන් වන්නේ:

“SPC Technical Department has informed Pre-shipment test result are acceptable.”

එනම්, අදාළ ඖෂධ තොගය මෙරටට නැව්ගත කිරීමට පෙර කළ පරීක්ෂණවලින් ඒවායේ ගුණාත්මකභාවය සමත්ව ඇති බව SPC ආයතනයම තහවුරු කර ඇත. එවැනි තත්ත්වයක් තුළ, එම ඖෂධ මෙරටට පැමිණි පසු “විෂබීජ” ඇති බවට හෝ ප්‍රමිතියෙන් තොර බවට චෝදනා නඟා තහනම් කිරීම බරපතල ගැටලුවකි.

එසේ නම්, පරීක්ෂණ වාර්තා වැරදිද? නැතහොත් තහනම දේශපාලන තීරණයක්ද?

3. සෘජු ආනයනය සහ මූල්‍ය ක්‍රියාවලිය

මෙම ඖෂධ ගෙන්වා ඇත්තේ අතරමැදියන් හරහා නොව, රාජ්‍ය ඖෂධ සංස්ථාව (SPC) විසින් සෘජුවම ලංකා බැංකුව (Bank of Ceylon) හරහා විවෘත කරන ලද ණයවර ලිපි (LC) මගිනි.

  • Indent No: DHS/TEP/535/2022
  • Qty: ඔන්ඩෙස්ට්‍රෝන් එන්නත් (Ondansetron) 1,200,000 ක්.
  • LC අගය: USD 40,300.00 කට අධික ප්‍රමාණයක්.

රජයේ නිසි ක්‍රමවේදය හරහා, බැංකු පද්ධතිය හරහා ගෙවීම් කර ගෙන්වූ ඖෂධ සම්බන්ධයෙන් මෙවැනි අවිනිශ්චිතතාවයක් ඇති කිරීම හරහා මහජන මුදල් විශාල වශයෙන් නාස්ති වීමක් ද සිදුවේ.

4. සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශය සහ යථාර්ථය

සෞඛ්‍ය අමාත්‍යවරයා පවසන්නේ මහජන ආරක්ෂාව වෙනුවෙන් තමන් කිසිදු සහනයක් නොදෙන බවත්, සැක සහිත ඕනෑම ඖෂධයක් තහනම් කරන බවත්ය. (වීඩියෝව: සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශය). එහෙත් ඔහුට මෙම චෝදනාව (තීරණය) පිළිබඳව ඊට වඩා වගකීමෙන් සොයා බැලිය යුතුව තිබුණු බව අපගේ අදහසය.

කෙසේ වෙතත්, තාක්ෂණික අංශ විසින් “හොඳයි” කියා සහතික කළ ඖෂධ, පසුව දේශපාලන වේදිකාවල “බාල” ලෙස හංවඩු ගැසීම තුළ පවතින්නේ මහජන ආරක්ෂාවද, නැතහොත් වෙනත් සැපයුම්කරුවන්ට අවස්ථාව ලබා දීමේ උපාය මාර්ගයක්ද යන්න විමර්ශනය කළ යුතුය.

රෝගීන් “බලෙන් ළිපට” වැටෙයිද?

ඖෂධයක් ප්‍රමිතියෙන් තොර නම් එය තහනම් කළ යුතුය. ඒ පිළිබඳ විවාදයක් නැත. නමුත්:

  1. වසර 20ක ඉතිහාසයක් ඇති,
  2. රාජ්‍ය බැංකු හරහා සෘජුව ගෙන්වූ,
  3. නැව්ගත කිරීමට පෙර SPC තාක්ෂණික අංශයේ අනුමැතිය ලැබුණු, ඖෂධ මෙසේ එකවර තහනම් කිරීම පිටුපස ඇති “සැබෑ විද්‍යාත්මක පදනම” මහජනතාවට හෙළි කළ යුතුය.

“ඉන්දියන් ෆාර්මකොපියා” ගිවිසුම් හරහා ඉදිරියේදී ඖෂධ ගෙන්වීමේදී මෙවැනි ව්‍යාකූල තත්ත්වයන් දිගින් දිගටම ඇති වුවහොත්, අවසානයේ අසරණ වන්නේ රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන්ය.

Latest Posts

spot_imgspot_img