Sunday, December 21, 2025
spot_img

Latest Posts

බාල ඖෂධ මගින් රෝගීන් මියයෑමට වග කිව යුත්තේ කවුද? – (රවී කුමුදේශ්)

ඖෂධ නියාමනය නාට්‍යයක් වෙද්දී – රෝගියා පරීක්ෂණයක් වෙන්නේ ඇයි?

(උක්ත ගැටලුව පිළිබඳව මතුවන ප්‍රධාන ප්‍රශ්න කිහිපයකට ලබා දියහැකි විද්‍යාත්මක පැහැදිලි කිරීමක්)


ඉකුත් දින කිහිපය තුළ, එන්නත් 10ක් ඖෂධ නියාමන අධිකාරිය විසින් අත්හිටුවීම සම්බන්ධයෙන් රට පුරා දැඩි කතාබහක් ඇතිව තිබේ. මෙම තීරණයට හේතුව ලෙස මහනුවර ජාතික රෝහලේ සිදු කළ පරීක්ෂණයකදී හමුවූ බව කියන බැක්ටීරියාවක් සඳහන් කළද, එය සම්බන්ධයෙන් සාමාන්‍ය ජනතාවටත් තේරුම් ගත හැකි පැහැදිලි කිරීමක් අවශ්‍ය වී ඇත.

මෙම ගැටළුව හේතුවෙන් බාල ඖෂධ පිළිබඳව විශාල බියක් නැවතත් රට තුළ ඇති තිබෙන බැවින් ඒ පිළිබඳව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් ගේ පැහැදිලි කිරීම පහත පරිදි වේ.

ප්‍රශ්නය 1. මහනුවර ජාතික රෝහලේදී හඳුනාගත් බව කියන බැටීරියාව කුමක්ද?

මෙහිදී හඳුනාගත් බව සඳහන් වන්නේ Rhizobium radiobacter නම් බැක්ටීරියාවකි. මෙය ප්‍රධාන වශයෙන් පස සහ පරිසරය තුළ පවතින (soil-living), Gram-negative බැක්ටීරියාවක් වන අතර, මිනිසාගේ සාමාන්‍ය රෝගකාරක බැක්ටීරියාවක් ලෙස වර්ගීකරණය වන්නේ නැත.

ප්‍රශ්නය 2: මෙම බැක්ටීරියාව භයානක රෝගකාරකයක්ද?

මෙය අවස්ථාසහගත (opportunistic) බැක්ටීරියාවකි. සෞඛ්‍ය සම්පන්න පුද්ගලයෙකුට සාමාන්‍යයෙන් රෝගයක් ඇති නොකරන අතර, ප්‍රතිශක්ති පද්ධතිය දුර්වල පුද්ගලයන්, ICU රෝගීන්, හෝ IV lines, cannula වැනි invasive devices භාවිතා කරන අවස්ථාවලදී පමණක් දුර්ලභ ලෙස සම්බන්ධ විය හැක.

ප්‍රශ්නය 3: මෙම බැක්ටීරියාව බ්ලඩ් culture එකක හමුවිය හැකිද?

ඔව්, දුර්ලභ වුවත් බ්ලඩ් culture එකක හමුවිය හැක. නමුත් එවැනි අවස්ථාවකදී එය:

සත්‍ය රුධිර ආසාදනයක්ද,

නැතහොත් sample collection, handling හෝ රෝහල් පරිසරයෙන් සිදු වූ contamination එකක්ද,

යන්න අනිවාර්යයෙන්ම වෙන්කර හඳුනාගත යුතුය.

ප්‍රශ්නය 4: බ්ලඩ් culture එකක බැක්ටීරියාවක් හමුවීමෙන් පමණක්, එය එන්නතකින් පැමිණි බව කියා තහවුරු කළ හැකිද?

නැහැ. බ්ලඩ් culture එකක බැක්ටීරියාවක් හමුවීමෙන් පමණක්, එය එන්නතකින් පැමිණි බව කියා නිගමනය කිරීම විද්‍යාත්මකව වැරදිය. එන්නතකින්ම ආසාදනයක් සිදු වී ඇති බව තහවුරු කිරීමට වෙනත් බොහෝ පරීක්ෂණ හා පාලක ක්‍රියාවලීන් අවශ්‍ය වේ.

ප්‍රශ්නය 5: එන්නතක් තුළ මෙම බැක්ටීරියාව පවතින බව තහවුරු කිරීමට කරන්නේ මොනවද?

එවැනි තහවුරු කිරීමක් සඳහා,

NMRA / WHO අනුමත accredited laboratory එකක පරීක්ෂණ

Pharmacopoeial sterility testing protocols (USP / BP / IP)

Positive හා Negative control samples

Batch-wise සහ repeat testing

MALDI-TOF වැනි automated systems මගින් organism identification confirmation

අනිවාර්ය වේ.

ප්‍රශ්නය 6: රෝහලක රසායනාගාරයකින් පමණක් කරන පරීක්ෂණයක් මේ සඳහා ප්‍රමාණවත්ද?

නැහැ. රෝහලක රසායනාගාරයක් රෝගීන්ගේ ආසාදන පාලනය සඳහා අත්‍යවශ්‍ය වුවත්, එය ජාතික මට්ටමේ ඖෂධ ගුණාත්මකභාවය තීරණය කරන reference laboratory එකක් නොවේ. එවැනි තීරණ සඳහා ජාතික හා ජාත්‍යන්තර අනුමත පරීක්ෂණාගාර අවශ්‍ය වේ.

ප්‍රශ්නය 7: එන්නතෙන් ආසාදනයක් සිදු වී ඇති බව කියා නිගමනය කිරීමට පෙර වෙන මොනවද පරීක්ෂා කළ යුතු?

පහත සියල්ලම විද්‍යාත්මකව ඉවත් කළ යුතුය:

Injection administration technique

Storage හා cold chain

Ward-level handling

IV line / cannula contamination

Hospital-acquired infection

මෙවැනි විකල්ප මාර්ග සියල්ල ඉවත් නොකර, එන්නතට වරද පැවරිය නොහැක.

ප්‍රශ්නය 8: කාණ්ඩ කිහිපයකින් පමණක් බැක්ටීරියාව හමුවී තිබේ නම්, නිවැරදි නියාමන තීරණය කුමක්ද?

Sterile විය යුතු ඖෂධයක, කාණ්ඩ කිහිපයකම ජීවණු වර්ධනය වාර්තා වන්නේ නම්, විද්‍යාත්මක හා නියාමන වශයෙන් නිවැරදි ක්‍රියාව වන්නේ එම ඖෂධයේ සියලුම කාණ්ඩ තාවකාලිකව අත්හිටුවීමයි.

ප්‍රශ්නය 9: මෙවැනි සම්පූර්ණ පරීක්ෂණ ක්‍රියාවලියක් නොමැතිව කරන ප්‍රකාශයන්ගෙන් ඇති වන්නේ කුමක්ද?

එවැනි ප්‍රකාශයන්:

රෝගී ආරක්ෂාවට

රෝහල් රසායනාගාරවල වෘත්තීය ගෞරවයට

ඖෂධ නියාමන පද්ධතියේ විශ්වාසනීයත්වයට බරපතළ හානි සිදු කරයි.

ප්‍රශ්නය 10: මෙම සමස්ත නියාමන ක්‍රියාවලිය ගැන සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ ස්ථාවරය කුමක්ද?

අපි පුද්ගලයන් නොව ක්‍රමය ප්‍රශ්න කරමු. අපි ප්‍රචාරණය නොව විද්‍යාව ඉල්ලා සිටිමු. අපගේ ප්‍රමුඛ අරමුණ වන්නේ රෝගියාගේ ආරක්ෂාව සහ නියාමන විශ්වාසනීයත්වයයි. විද්‍යාව WhatsApp පණිවිඩ මත නොව, පරීක්ෂණ, සාක්ෂි සහ ක්‍රමවේද මත පදනම් විය යුතුය.

නියාමනය නාට්‍යයක් නොවිය යුතුය. රෝගියා කිසිවිටෙකත් කතාවක චරිතයක් නොවිය යුතුය.

රවී කුමුදේශ්
සභාපති
සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය

Latest Posts

spot_imgspot_img