නිදහස් නීතීඥවරුන්ගේ සංගමය විසින් යොමුකර ඇති ලිපිය, ‘දිට්වා’ සුළි කුණාටුවෙන් පසු පනවන ලද හදිසි නීති රෙගුලාසිවල පවතින ප්‍රායෝගික නොවන ස්වභාවය සහ ඉන් අධිකරණ පද්ධතියට සිදුව ඇති බලපෑම පිළිබඳව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා වෙත යොමු කරන ලද විවෘත ඉල්ලීමකි.
ලිපියේ අන්තර්ගත ප්‍රධාන කරුණු මෙසේය:
- අදාළ නොවන රෙගුලාසි:
දැනට පනවා ඇති හදිසි නීති රෙගුලාසි, ව්‍යසනයට අදාළ වනවා වෙනුවට පැරණි නීති පද්ධතීන්ගෙන් “Copy-Paste” කරන ලද මර්දනකාරී ස්වභාවයක් (උදා: සමලිංගික ක්‍රියාකාරකම් පිළිබඳ තහංචි, පෝස්ටර් ඇලවීම තහනම් කිරීම) ගන්නා බව පෙන්වා දෙයි.
- අධිකරණ පද්ධතියේ බිඳවැටීම:
සුළි කුණාටුව නිසා උසාවි ලේඛන සහ නඩු ලිපිගොනු විනාශ වීමෙන් මතුව ඇති නීතිමය අර්බුදය (විශේෂයෙන් කාලසීමා ඉක්මවා යාම සහ තාවකාලික වාරණ නියෝග සම්බන්ධ ගැටලු) ලිපියෙන් අවධාරණය කරයි.
- ඉඩම් මායිම් අර්බුදය:
මහවැලි කලාප ඇතුළු ප්‍රදේශවල ඉඩම් සෝදාපාලුවට ලක්වීම නිසා සීමා මායිම් හඳුනාගත නොහැකි වීමෙන් පැනනගින ගැටලුවලට මැදිහත් වන ලෙස ඉල්ලා සිටියි.
- මර්දනකාරී මෙවලම්වලට එරෙහි වීම:
හදිසි නීතිය ජනතාවගේ මූලික අයිතිවාසිකම් මර්දනය කිරීමට යොදා නොගෙන, ව්‍යසනයෙන් පීඩාවට පත් යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය යථා තත්ත්වයට පත් කිරීමට යොදා ගන්නා ලෙස ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න ඇතුළු නීතිඥ කණ්ඩායම මෙයින් යෝජනා කරයි.


2025.12.18
හර්ෂණ නානායක්කාර මැතිතුමා,
ගරු අධිකරණ අමාත්‍යතුමා,
අධිකරණ අමාත්‍යාංශය, කොළඹ
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් පනවන ලද හදිසි නීතිරීති රෙගුලාසි සම්බන්ධයෙන් මතුව ඇති ගැටළු හා යෝජනා
ගරු අමාත්‍යතුමනි,
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් රට පුරා ඇතිවූ අතිශය දැඩි ස්වභාවික ව්‍යසනය මඟින් ජන ජීවිතයට, දේපළට, රාජ්‍ය ආයතනවලට සිදුව ඇති විනාශය පිළිබඳව අපගේ බලවත් කනගාටුව ප්‍රකාශ කරමු. විශේෂයෙන්ම යුක්තිය පසිඳලීම, උසාවි ලේඛන, විධාන හා නියෝග සම්බන්ධයෙන් ද, අධිකරණ නිලධාරීන්ට ද සිදුව ඇති පීඩාවන්ට වහා පිළියම් යෙදිය යුතුව ඇත.
රජය විසින් පණවනු ලැබූ හදිසි නීතිරීති රෙගුලාසි යටතේ ජනතා ආරක්ෂාව හා මහජන සුරක්ෂාව කෙටි කලකට තහවුරු කිරීම තේරුම් ගත හැකි තත්වයකි.
කෙසේ වෙතත්, මේ වන විට ක්‍රියාත්මක හදිසි නීති රෙගුලාසි මෙයට පෙර අවස්ථාවන් හි සුවිශේෂ අවස්ථාවන් හි පනවනු ලැබූ රෙගුලාසි තැනින් තැන එක්කර “copy and paste” ආකාරයෙන් ප්‍රකාශයට පත් කර ඇති බව පැහැදිලිව පෙනී යයි. හදිසි නීතිරීති රෙගුලාසි යනු මුලිමනින්ම එම අවස්ථාවට ගැලපෙන, යථාර්ථවාදී සහ ප්‍රායෝගික විය යුතු නීති පද්ධතියකි. එය කිසි ලෙසකින් හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පරයා යන නීතියක් නොව, අනෙකුත් නීති පමණක් ඉක්මවන තත්වයකි.
ව්‍යවසන අවස්ථාවක දී මෙයට පෙර පැවති තත්වයන් හි පනවනු ලැබූ රෙගුලාසි “copy and paste” කිරීමෙන් කාලීන අවශ්‍යතාවන් ඉටුවන්නේ නැත.
• රෙගුලාසි 18 (රාජ්‍ය නිලධාරීන් අතර අප්‍රසාදය හෝ අකමැත්ත ඇති කිරීම වරදක් බව)
• රෙගුලාසි 19 (මහජන ආරක්ෂාවට, මහජන සාමයට හෝ ප්‍රජා ජීවිතයට අත්‍යවශ්‍ය සැපයුම් හා සේවා පවත්වාගෙන යාමට අගතිගාමී වන පෝස්ටර්, දැන්වීම් හෝ පත්‍රිකා ඇලවීම හෝ බෙදා හැරීම වරදක් බව)
• රෙගුලාසි 20 (මහජන භීතිය හෝ මහජන නොසන්සුන්තාවයක් ඇති කිරීමට ඉඩ ඇති කටකතාවක් හෝ අසත්‍ය ප්‍රකාශයක්, ලිඛිත, ඉලෙක්ට්‍රොනික, ඩිජිටල් හෝ වෙනත් ක්‍රම මගින් (මාධ්‍ය, තොරතුරු තාක්ෂණය, ස්වයංක්‍රීය පද්ධති හෝ කෘත්‍රිම බුද්ධිය ඇතුළුව) සන්නිවේදනය කිරීම, ප්‍රකාශයට පත් කිරීම, උත්පාදනය කිරීම හෝ බෙදා හැරීම වරදක් බව)
මෙම ව්‍යසනයට කිසිදු ලෙසකින් සෘජුව හා වක්‍රම අදාළ නොවේ. මෙය මර්ධන මෙවලමක් ලෙස භාවිත වීමට ඇති ඉඩ ප්‍රස්ථාව වැඩිය. එය රටේ මුලික නීතිය වන මානව අයිතිවාසිකම්වලට (එනම් ගමන් කිරීමේ, රැස්වීමේ, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස වැනි අයිතිවාසිකම් ද, විරෝධය දැක්වීමට ඇති අයිතිය වැනි සාමුහික ක්‍රියකාරකම් ද අවදානමට ලක් කරයි.
ව්‍යවසනට කිසිදු සම්බන්ධයක් නොමැති ‘සමලිංගික ක්‍රියාකාරකම්’ පිළිබඳව පවා රෙගුලාසි පැනවීම විහිළුවකි.
සැබෑ අවශ්‍යතාව කුමක්ද?
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් අධිකරණ කිහිපයක වාර්තා කාමර ජලයෙන් යටවීම නිසා නඩු ලිපිගොනු, නඩු සටහන්, නියෝග, නිල ලිපි හා වැදගත් ලේඛන විශාල ප්‍රමාණයක් විනාශ වී හෝ බලවත් ලෙස හානි වී ඇත. මෙම තත්ත්වය නීතිඥවරුන්ට, පාර්ශවකරුවන්ට සහ සමස්ත අධිකරණ පද්ධතියට අතිශය බරපතළ හා අමාරු ප්‍රතිවිපාක ඇති කරනු ඇත.
විශේෂයෙන්ම, තාවකාලික නියෝග (Enjoining orders) ලබා දී ඇති නඩු වල එම නියෝග දිගු කිරීමේ නීතිමය වලංගුභාවයන් මේ වන විටත් මතුව ඇත. නඩු කාලසීමා නිමාව (prescription) සම්බන්ධයෙන්ද අසාධාරණ තත්ත්වයන් ඇතිවිය හැක. මෙවන් අවස්ථාවන්හි යුක්තිය පවත්වා ගැනීම සඳහා නීතිමය කාල සීමා සම්බන්ධයෙන් සාධාරණ හා විශේෂ සංශෝධන සිදු කිරීම අත්‍යවශ්‍යය.
තවද, විනාශ වූ හෝ හානි වූ නඩු ලිපිගොනු නැවත සකස් කිරීම සඳහා ගරු උසාවි විනිසුරුතුමාට හා ගරු දිස්ත්‍රික් උසාවි විනිසුරුතුමාට පැහැදිලි නීතිමය බලය ලබා දීම අත්‍යවශ්‍ය වේ. ඇතැම් අවස්ථාවන්හි නඩු පාර්ශවයන් ජීවත්ව නොසිටීම, හේතුකාරකයන් (cause of action) නැවත සනාථ කළ නොහැකි වීම වැනි කරුණු ද සැලකිල්ලට ගත යුතුය.
මහවැලි කලාප, රාජාංගනය, විල්ගමුව වැනි ස්ථානයන් හි ඉඩම් සම්පූර්ණයෙන්ම සොදා ගෙන ගොස් ඇති අතර, සීමා මායිම් හදුණාගැනීමේ හැකියාවක් හෝ නැත. මෙම ඉඩම් පූර්ණ වශයෙන් නැවත මුණුම් කොට ගල් දැමිය යුතුව ඇත.
මෙවැනි කටයුතු සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යාංශයේ කිසිදු මැදිහත්වීමක් මේ දක්වා සිදුවී නොමැතිවීම කණගාටුවට කරුණකි.
හදිසි නීතිරීති පනවනු ලබන්නේ ජනතාවගේ මූලික අයිතිවාසිකම්—විශේෂයෙන්ම අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස—ආරක්ෂා කිරීම සඳහා විය යුතු නමුත්, ඇතැම් දේශපාලන නායකයන් විසින් මහජනතාවට එරෙහිව කරන ලද ප්‍රකාශ හදිසි නීතිරීති වල අරමුණ හා ප්‍රායෝගික භාවය පිළිබඳ බරපතළ ප්‍රශ්න මතු කරයි. මෙවැනි ප්‍රකාශන් නැවත නැවත දේශපාලනඥයින් විසින් පුණරුච්චාරනය කිරීම කණගාටුවට කරුණකි.
ඒ අනුව, මෙම විශේෂ තත්ත්වය සැලකිල්ලට ගනිමින්, දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් අධිකරණ පද්ධතිය, නීතිඥ වෘත්තිය සහ සාමාන්‍ය ජනතාව වෙනුවෙන් විශේෂ, යථාර්ථවාදී සහ සාධාරණ හදිසි නීතිමය විසඳුම් කඩිනමින් හඳුන්වා දෙන ලෙස ගරු නීතිපතිතුමාගෙන් හා ගරු අමාත්‍ය මණ්ඩලයෙන් අප ගෞරවයෙන් ඉල්ලා සිටිමු.
යුක්තිය ප්‍රමාද නොවී, විනාශයට ලක් නොවී, සමාජයේ සියලු පාර්ශවයන්ට සමානව හිමි වන පරිදි ක්‍රියාත්මක වීම සඳහා ඔබතුමාලාගේ මැදිහත් වීම අපේක්ෂා කරමු.
මෙයට විශ්වාසී, (අත්සන් කළේ)
ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න නීතිඥ අතුල ද සිල්වා නීතිඥ ගුණරත්න වන්නිනායක
0777900000 0777769787

