Friday, December 19, 2025
spot_img

Latest Posts

රැවටුණු ‘System Change’ එක

රජයේ බිලියන ගණනක ප්‍රචාරණ කොන්ත්‍රාත් තවමත් රාජපක්ෂලාගේ ග්‍රහණයේද?

විශේෂාංග ලිපියකි

ශ්‍රී ලංකාවේ දේශපාලන කරළිය උඩුයටිකුරු කරමින් “පද්ධතිමය වෙනසක්” (System Change) උදෙසා ජනතාව ජාතික ජන බලවේගය වටා රොද බැඳුණේ දශක ගණනාවක් පුරා පැවති දූෂිත ගනුදෙනු සහ පවුල් පාලනය අවසන් කිරීමේ පරම චේතනාවෙනි. එහෙත්, ආණ්ඩුවේ බලය මාරු වුවද, රටේ මූල්‍ය පද්ධතිය හසුරුවන “අදෘශ්‍යමාන හස්තයන්” තවමත් පැරණි පාලකයන්ගේ හිතවතුන් බවට තොරතුරු අනාවරණය වෙමින් පවතී. මෙහි වඩාත්ම ශෝචනීය තත්ත්වය වන්නේ, රජයේ දැවැන්ත ව්‍යවසායන්හි ප්‍රචාරණ බජට් එක තවමත් රාජපක්ෂ පවුලේ සමීපතමයන් සතු වීමයි.

ප්‍රචාරණ ක්ෂේත්‍රය: කවුරුත් නොදන්නා “ධන උල්පත”

ලංකාවේ ලාභදායී ව්‍යාපාර ලැයිස්තුගත කළහොත් දැන්වීම් ප්‍රචාරණ ආයතන (Advertising Agencies) හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයකි. යුනිලීවර්, කොකාකෝලා වැනි බහුජාතික සමාගම් මෙන්ම, රජය සතු ප්‍රබල ආයතනද වාර්ෂිකව ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් වෙන් කරන මුදල බිලියන ගණනකි.

රාජ්‍ය ආයතන පමණක් වාර්ෂිකව ප්‍රචාරණය සඳහා වැය කරන මුදල රුපියල් බිලියන 35 ඉක්මවයි. මෙය මෙරට වෙළෙඳපොළේ දෙවැනි වන්නේ යුනිලීවර් සමාගමට පමණි. මෙම මුදල් හසුරුවන ආයතනවලට මාධ්‍ය ආයතන පාලනය කිරීමටත්, රජයන් පෙරළීමට පවා බලපෑම් කිරීමටත් හැකියාව පවතී.

රාජපක්ෂවරුන් සහ “මීඩියා ෆැක්ටරි” ගනුදෙනුව

වර්තමාන රජය යටතේ වුවද රජයේ ප්‍රධානතම මූල්‍ය ආයතන වන ලංකා බැංකුව, මහජන බැංකුව සහ මොබිටෙල් වැනි ආයතනවල බිලියන ගණනක ප්‍රචාරණ කොන්ත්‍රාත් හිමිව ඇත්තේ “මීඩියා ෆැක්ටරි” (Media Factory) ආයතනයට බව වාර්තා වේ.

මෙම ආයතනයේ නිල නොලත් හිමිකාරීත්වය රාජපක්ෂ පවුලේ සාමාජිකයෙකු වන රෝහිත රාජපක්ෂ (චිචී) සතු බවත්, එහි ප්‍රධාන තනතුරු කලක් ටටියානා විසින් හෙබවූ බවත් ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ රහසකි. වර්තමානයේ ජනාධිපතිවරයාගේ සමීපතම හිතවතෙකු හරහා මෙම ආයතනය සිය බලය තවදුරටත් තහවුරු කරගෙන තිබීම පුදුමයකි.

රාජ්‍ය මාධ්‍ය වැටී ඇති අගාධය

පෞද්ගලික දැන්වීම් ඒජන්සි සහ රජයේ හිතවතුන් බිලියන ගණනින් මඩි තර කරගන්නා අතරතුර, රජයේ නිල මාධ්‍ය ආයතන පත්ව ඇත්තේ අන්ත අසරණ තත්ත්වයකටය.

  • ජාතික රූපවාහිනිය: වසර ගණනාවක EPF, ETF සහ VAT බදු ගෙවා නොමැත.
  • ගුවන් විදුලි සංස්ථාව: සේවක වැටුප් ගෙවීමට පවා නොහැකි මට්ටමට ආර්ථිකය කඩා වැටී ඇත.
  • ITN ආයතනය: දැවැන්ත මූල්‍ය අර්බුදයක හිරවී ඇත.

රජයට අයත් දැන්වීම් බජට් එක රජයේම මාධ්‍ය ආයතනවලට ලබා දෙනවා වෙනුවට, රාජපක්ෂ හිතවාදී ඒජන්සි හරහා තමන්ට හිතවත් පෞද්ගලික නාලිකාවලට මුදල් පොම්ප කිරීමේ පැරණි ක්‍රමය තවමත් ක්‍රියාත්මක වේ.

පූර්ණකාලීනයන් පාරේ – ව්‍යාපාරිකයන් සැපේ

ජාතික ජන බලවේගය බලයට ගෙන ඒමට වැස්සේ තෙමෙමින්, අව්වේ වේලෙමින් කැපවුණු පක්ෂ පූර්ණකාලීනයන් සහ සාමාන්‍ය ජනතාව අද පත්ව ඇත්තේ දැඩි කළකිරීමකටය. “අපි ගෙනාවේ මේ පද්ධතියමද?” යන්න ඔවුන් අද තමන්ගෙන්ම ප්‍රශ්න කරති.

"අපි මහ පාරේ වැඩ කරලා ආණ්ඩුවක් හැදුවේ රාජපක්ෂලාගේ හිතවතුන්ටම ආයෙත් බිලියන ගණන් හම්බ කරන්න නෙවෙයි. මේක පද්ධති වෙනසක් නෙවෙයි, පරණ ගනුදෙනුම අලුත් මුහුණුවරකින් සිදුවීමක්." - අසතුටට පත් ඡන්දදායකයෙක්.

මෙම තත්ත්වය දිගින් දිගටම පැවතුණහොත්, ජනතාව අපේක්ෂා කළ “සැබෑ වෙනස” හුදු සිහිනයක් පමණක් වනු ඇත. ආණ්ඩුවේ මූල්‍ය පදනම ව්‍යාපාරිකයන් අතළොස්සක් අතට පත්වීම වළක්වා, රාජ්‍ය සම්පත් නිසි ලෙස කළමනාකරණය කිරීමේ අභියෝගය දැන් රජය සතුය.

Latest Posts

spot_imgspot_img