ජාතික විගණන කාර්යාලයෙන් හෙළිවූ අමිහිරි ඇත්ත එහෙමම යට යයිද?
රංගලාට නොපෙනෙන ටෙන්ඩර් වංචා…
අනිල් ජාසිංහටත් ගෙවා ගැලවීමේ සහනය ලැබේ ද?
විශ්‍රාම වයස පසුවීත් ලේකම් තනතුරේ සිටින ‘විශේෂඥ’ වෛද්‍ය වෘත්තියන් නැති නිළධාරියෙක්!
ඇන්ටිජන් ගනුදෙනුවේ සුදු ඇඳගත් කළු චරිතය
නව රජය බලයට පත් වූයේ "දූෂණය පිටුදැකීම" සහ "හොරුන් ඇල්ලීම" යන ප්‍රධාන තේමාව පෙරදැරිවය. එහෙත්, රටේ ප්‍රධානතම සෞඛ්‍ය ආයතනය වන කොළඹ ජාතික රෝහල තුළ සිදුවන මහා පරිමාණ මූල්‍ය අපරාධයක් විගණන වාර්තා මගින්ම තහවුරු කර තිබියදී, එම දූෂණ හෙළි කරන නිලධාරියා පීඩනයට පත් කිරීමේ බරපතල ඛේදවාචකයක් මේ වන විට කරළියට පැමිණ ඇත. මෙය හුදෙක් පරිපාලන ගැටලුවක් නොව, "සිස්ටම් චේන්ජ්" (System Change) එක අපේක්ෂා කළ ජනතාවගේ බලාපොරොත්තු සුනුවිසුනු කරන සංවිධානාත්මක ජාවාරමකි.
1. විගණනයෙන් හෙළිවූ රුපියල් බිලියන 2.5ක ප්‍රතික්‍රියක ජාවාරම
ජාතික විගණන කාර්යාලය විසින් 2025 ජුනි 06 දින නිකුත් කරන ලද අංක THO/B/NHSL/AB/AQ/2025/01 දරන විගණන විමසුම (Audit Query) මගින් කොළඹ ජාතික රෝහලේ ප්‍රතික්‍රියක (Reagents) මිලදී ගැනීමේදී සිදුව ඇති අක්‍රමිකතා රැසක් නිරුවත් කර ඇත. වාර්තාවලට අනුව (ලේඛන සාක්ෂි 03), 2022 සිට 2024 දක්වා වසර තුනක් තුළ රසායනාගාර 07ක් සඳහා රුපියල් මිලියන 2,543 ක (රු. බිලියන 2.5) ප්‍රතික්‍රියක මිලදී ගෙන ඇත්තේ බරපතල මූල්‍ය රෙගුලාසි උල්ලංඝනය කරමිනි.
කසළ ගොඩට යැවීමට මිලදී ගන්නා ප්‍රතික්‍රියක:
සාමාන්‍යයෙන් රසායනාගාර ප්‍රතික්‍රියක මිලදී ගැනීමේදී ඒවායේ ආයු කාලයෙන් (Shelf Life) 85%ක් ඉතිරිව තිබිය යුතුය. නමුත් මෙහිදී සැපයුම්කරුවන් විසින් කල් ඉකුත් වීමට මාස 06ක්වත් නොමැති ප්‍රතික්‍රියක රෝහලට ලබා දී ඇති බව විගණන අංශ නිරීක්ෂණය කර ඇත (ලේඛන සාක්ෂි 5.1).
- කැපී පෙනෙන සාක්ෂිය: ඉන්වොයිසි අංක 330114055 මගින් රු. 943,046ක් වටිනා ප්‍රතික්‍රියක තොගයක් සපයා ඇත්තේ 2024.02.15 දිනය. නමුත් එය කල් ඉකුත් වී ඇත්තේ 2024.03.22 දිනය. එනම් මිලදී ගෙන මසක් ඇතුළත එය ඉවත දැමිය යුතුය. මෙය හුදු අතපසුවීමක් ලෙස බැහැර කළ නොහැකි අතර, එය කොමිස් කුට්ටි මත සිදුවන සැලසුම් සහගත අපරාධයකි.
2. මීයන්ට සහ ‘සර්ජිකෙයාර්’ එකට පූජා කළ මහජන මුදල්
මිලදී ගත් ප්‍රතික්‍රියක නිසි ලෙස ගබඩා නොකිරීම නිසා රක්තවේද රසායනාගාරයේ ගබඩාවල දොරවල් මීයන් විසින් විනාශ කර ඇති අතර, ප්‍රතික්‍රියක අනාරක්ෂිතව රෝහල් කොරිඩෝවල ගොඩගසා තිබූ බව විගණනය මගින් සොයාගෙන ඇත.
- කෝටි ගණන් පාඩු: Hemas Surgicals & Diagnostics (Pvt) Ltd සමාගමට ගෙවූ රු. මිලියන 40ක බිලක, රුපියල් ලක්ෂ 45ක් (මිලියන 4.5ක්) වටිනා ප්‍රතික්‍රියක ඒ වන විටත් කල් ඉකුත් වී තිබූ බව තහවුරු වී ඇත.
- වැඩිපුර ගෙවීම්: Surgicare (Pvt) Ltd ආයතනය වෙත 2025 පෙබරවාරි මස ගෙවීම් කිරීමේදී, සපයන ලද ඒකක ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයකට මුදල් ගෙවා ඇත. මෙමගින් පමණක් රු. 912,838 ක මුදලක් රජයට අහිමි කර ඇත.
3. විස්ල් බ්ලෝවර් (Whistleblower) දඩයම සහ අනිල් ජාසිංහගේ භූමිකාව
මෙම මහා පරිමාණ දූෂණයට එරෙහිව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා 2025 ජුනි මසදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. ඔහු පෙන්වා දෙන්නේ මෙය වසර ගණනාවක් තිස්සේ ඇදෙන කෝටි 900 කට අධික බව කියන සංවිධානාත්මක ජාවාරමක් බවයි.
නමුත් වෛද්‍ය බෙල්ලන රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත 2025.12.08 දින යවන ලද ලිපිය මගින් බරපතල අනාවරණයක් සිදු කරයි. එනම්, දූෂණය හෙළි කිරීම හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ විසින් තමාට එරෙහිව පළිගැනීමේ චේතනාවෙන් විනය පරීක්ෂණ මාලාවක් (පරීක්ෂණ 06ක්) ආරම්භ කර ඇති බවයි.
වෛද්‍ය බෙල්ලන චෝදනා කරන්නේ, වෛද්‍ය අනිල් ජාසිංහ මීට වසර 10කට පෙර ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ සමයේ පටන් මෙම අක්‍රමික මිලදී ගැනීම්වලට වගකිව යුතු බවත්, තමා එම තොරතුරු හෙළි කිරීම නිසා දැන් තමා නිහඬ කිරීමට හෝ සේවයෙන් ඉවත් කිරීමට උත්සාහ කරන බවත්ය.
4. විශ්‍රාම වයස පැන ලේකම් පුටුවේ සිටින ‘විශේෂඥයා’ කවුද?
දැනට වයස අවුරුදු 65ත් ඉක්මවා ඇති වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සෞඛ්‍ය ලේකම් ධුරයේ රඳවාගෙන සිටින්නේ කුමන පරිපාලන සේවා චක්‍රලේඛයක් මතද යන්න බරපතල ගැටලුවකි. විශේෂඥ වෛද්‍ය වෘත්තියක් නොමැති නිලධාරියෙකු මෙලෙස නීති විරෝධීව රඳවා ගැනීම නව රජයේ ප්‍රතිපත්තිවලට එකඟද?
දන්නෝ දනිති…
WHO තීන්දු පසෙකලා මුස්ලිම් දේහයන් ආදාහනයට දුන් උපදෙස්
මොහුගේ අතීත ක්‍රියාකලාපය දෙස බැලීමේදී, ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා අපකීර්තියට පත්වීම ඇරඹුනේ මොහුගේ උපදෙස් මත බව නොරහසකි. කොවිඩ් වසංගතයේදී මුස්ලිම් දේහයන් භූමදාන නොකොට ආදාහනය කිරීමට ඉඩ සැලැස්වීමේ තීරණයට මූලික වූයේ මොහුය. WHO නිර්දේශ පසෙකලා ආදාහනය කිරීමේ තීන්දුව හිටපු ජනාධිපතිවරයා වෙත ගෙන එමින් ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලංකාව අපකීර්තියට පත්කළේත්, ජාතීන් අතර වෛරයක් ඇති කිරීමට මූලික වූයේත් එවක සෞඛ්‍ය ලේකම් අනිල් ජාසිංහය.
ඇන්ටිජන් ගනුදෙනුවේ සුදු ඇඳගත් කළු චරිතය
ආන්දෝලනයට පත්, කුප්‍රකට ඇන්ටිජන් ගනුදෙනුවලට රජය පාර්ශ්වයෙන් සම්බන්ධ වූවෙකු වන්නේ එවකට හිටපු සෞඛ්‍ය ලේකම්වරයා ය. ඒ අනුව එකී අක්‍රමිකතාවන්ට සෘජුව හෝ වක්‍රව ඔහු සම්බන්ධ වූ බවය ඔහුට එරෙහිව චෝදනා එල්ල වී ඇත.
5. ජාතික රෝහලේ අධ්‍යක්ෂ පුටුව හිස්ව තබාගැනීමේ අබිරහස
නුවර රෝහලේ අධ්‍යක්ෂ පුටුව හිස්වූ පසුව එහි වැඩබැලීම සඳහා නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙකුට අවස්ථාව සලස්වා දුන් නමුත්, කොළඹ ජාතික රෝහලේ එම පුටුව හිස්ව තබාගෙන ඇත්තේ කුමන යටි අරමුණක් වෙනුවෙන්ද? සුදුසුකම් සහිත නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන් තිදෙනෙකු සහ සහකාර අධ්‍යක්ෂවරුනුත් සිටින පසුබිමක් තුළ මෙම තනතුර පුරවන්නේ නැත්තේ, තමන්ගේ අභිමතය පරිදි වෛද්‍ය උපකරණ හා ඖෂධ මිළදී ගැනීමේ “සෙල්ලම” බාධාවකින් තොරව කරගෙන යෑමට දැයි සැකයක් මතුවේ. එම පුටුව පිරවීමේ වගකීම ඇත්තේ සෞඛ්‍ය ඇමතිවරයාට යෝජනාව ඉදිරිපත් කිරීමෙන් සෞඛ්‍ය ලේකම්වරයා වෙතය.
බලධාරීන්ගෙන් සහ රජයෙන් ඇසිය යුතු ප්‍රශ්න:
- විගණන වාර්තා මගින් හෙළි කර ඇති කල් ඉකුත් වූ ඖෂධ/ප්‍රතික්‍රියක ගෙන්වූ සමාගම් සහ ඊට අනුමැතිය දුන් නිලධාරීන් කවුරුන්ද? ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවන්නේ මන්ද?
- රුපියල් කෝටි ගණනක් පාඩු කළ මෙම ගනුදෙනු ගැන සොයනවා වෙනුවට, ඒවා හෙළි කළ නිලධාරියාට (Whistleblower) එරෙහිව විනය පරීක්ෂණ 6ක් පැවැත්වීම සාධාරණද?
- අල්ලස් කොමිසම මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් “අශ්වයා ගියාට පසු ඉස්තාලය වසාදැමීමේ” ප්‍රතිපත්තිය අනුගමනය කරන්නේ ඇයි?
- සෞඛ්‍ය ලේකම්වරයා ඇතුළු බලධාරීන් උත්සාහ කරන්නේ අක්‍රමිකතා නැවැත්වූ වෛද්‍ය බෙල්ලන ඉවත් කර නැවතත් එම “ගසාකෑමේ යාන්ත්‍රණය” සක්‍රීය කිරීමටද?
අවසාන වශයෙන්, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ විෂය භාර අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ දෙස දෑස් හැර බැලිය යුතුය. හොරුන් රැකීම පසෙකලා, හොරකම ඇල්ලූ මිනිසා ආරක්ෂා කිරීම නව රජයේ වගකීමකි. කල් ඉකුත් වූ බෙහෙත් තොග සමග සෞඛ්‍ය බලධාරීන්ගේ “වැඩකිඩ” දෙස රටේ ජනතාව බලා සිටින්නේ, මීයන්ට සහ කොමිස් කාක්කන්ට ගොදුරු වූ ජාතික රෝහලේ ධනයට වගකියන්නේ කවුද යන්න හෙළිවන තුරුය.
දූෂිතයන්ට රැකවරණය දීම “සිස්ටම් චේන්ජ්” එකේ කොටසක් නොවන බව බලධාරීන් සිහි තබා ගත යුතුය.
[සටහන: මෙම ලිපිය පදනම් වී ඇත්තේ අදාළ පාර්ශව විසින් අල්ලස් කොමිසම සහ රාජ්‍ය සේවා කොමිසම වෙත යොමු කළ ලිපි සහ ජාතික විගණන කාර්යාලය නිකුත් කළ විගණන විමසුම් වාර්තා සහ ක්ෂේත්‍රයේ ආරංචිමාර්ගද ඇතුලත් කරගනිමිනි.]

