Thursday, December 18, 2025
spot_img

Latest Posts

මුදල් විශුද්ධිකරණ පනත යටතේත් නෙවිල් වන්නිආරච්චිට විමර්ශන: රු. මිලියන 28ක අයථා වත්කම් ගැන අල්ලස් කොමිසම අධිකරණයට දන්වයි


කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය:

ඔක්තෝබර් 17 – හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක අංශයේ සේවය කළ නෙවිල් වන්නිආරච්චි මහතාට එරෙහිව මුදල් විශුද්ධිකරණ පනත යටතේද විමර්ශන ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (අල්ලස් කොමිසම) අද (17) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා සිටියේය.

රුපියල් මිලියන 28 ක වත්කම් සහ දේපළ නීත්‍යානුකූල නොවන ආකාරයෙන් උපයා ගත් බවට සැකපිට අත්අඩංගුවට ගත් සැකකරු, ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය විය.

අල්ලස් කොමිසමේ කරුණු දැක්වීම

අල්ලස් කොමිසම වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි සහකාර නීති අධ්‍යක්ෂක සුලෝචනා හෙට්ටිආරච්චි මහත්මිය කරුණු දක්වමින්, දූෂණ විරෝධී පනත යටතේ සිදු කරන විමර්ශනයට අමතරව අනාවරණය වන වත්කම් සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ විමර්ශන කටයුතු සිදු කිරීමට සූදානම් බව ප්‍රකාශ කළාය.

ඇය විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද කරුණු පහත පරිදිය:

සහකාර නීති අධ්‍යක්ෂක සුලෝචනා හෙට්ටිආරච්චි:
“ස්වාමීනී, 2014 වසරේ ජූලි මස 24 වනදා අල්ලස් කොමිසමට ලැබුණු ලිඛිත පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කළා. ඉන් අනතුරුව විමර්ශනවලට අවශ්‍ය තොරතුරු ලබාදෙන ලෙස 2016 වසරේ දෙසැම්බර් මස දැනුම් දුන්නත් එම තොරතුරු නිසි ආකාරව ඔහු ලබා දුන්නේ නෑ. පසුගිය වසර 07 තිස්සේ විමර්ශනවලට අවශ්‍ය තොරතුරු ලබාදීම සහ ඒ සඳහා ප්‍රකාශ ලබාදීම සඳහා කොමිසම හමුවී පෙනී සිටීම ඔහු මගහැර තිබෙනවා. මේ වන විට සිදු කර තිබෙන විමර්ශන වලට අනුව සැකකරු තමන්ගේ නීත්‍යානුකූල ආදායම ඉක්මවා රුපියල් මිලියන 28 ක් වැඩිපුර උපයාගෙන තිබෙන බවට තොරතුරු අනාවරණය වෙලා තිබෙනවා.”

දේපළ පිළිබඳ අනාවරණය:

සැකකරු විසින් අත්පත් කරගෙන ඇති බවට අනාවරණය වූ දේපළ පිළිබඳව කරුණු දක්වමින් සහකාර නීති අධ්‍යක්ෂකවරිය තවදුරටත් මෙසේ පැවසුවාය.

සහකාර නීති අධ්‍යක්ෂක සුලෝචනා හෙට්ටිආරච්චි:
“ස්වාමීනී, මේ සැකකරුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසුව ඔහු විසින් අත්පත් කරගෙන තිබෙන දේපළ ගණනාවක් පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබෙනවා. වලස්මුල්ල ප්‍රදේශයේ අක්කර තුනක් පර්චස් හතක විශාලත්වයකින් යුත් ඉදිකරමින් පවතින ඉන්ධන හලක්, පල්ලෙකැලේ ප්‍රදේශයේ රුපියල් ලක්ෂ 45ක් වටිනා නිවසක්, මහරගම නාවින්න ප්‍රදේශයේ රුපියල් ලක්ෂ 125ක් වටිනා නිවසක් මොහු විසින් අත්පත් කරගෙන තිබෙන බවට අනාවරණය වී තිබෙනවා. ඊට අමතරව දෙමටගොඩ ප්‍රදේශයේ රුපියල් දහසය ලක්ෂ පනස්දාහක වටිනා නිවසක්, තිස්සමහාරාමයේ හෝටලයක්, මාදිවෙල ප්‍රදේශයේ රුපියල් ලක්ෂ 400ක පමණ වටිනා ඉඩමක් මොහු විසින් අත්පත් කරගෙන තිබෙන බවට කරුණු අනාවරණය වී තිබෙනවා. එමෙන්ම බස්රථ හා ටිපර් රථ ගණනාවක් තිබෙන බවට තොරතුරු අනාවරණය වී තිබෙන අතර, එම වාහනවල සේවය කරන්නේ මොහුගේ ඥාතීන්. ඒ නිසා ආදායම ගණනය කිරීම සඳහා වැඩිදුර විමර්ශන සිදුකළ යුතුයි.”

ඇප ඉල්ලීමට විරෝධය:

සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කර සිටියදී කරන ලද විමර්ශනවලදී ඔහුගේ පවුලේ ඥාතීන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට අවශ්‍ය බව පෙන්වා දුන් අල්ලස් කොමිසම, සැකකරුට ඇප ලබා දීමට දැඩි ලෙස විරෝධය පෑවේය.

සහකාර නීති අධ්‍යක්ෂක සුලෝචනා හෙට්ටිආරච්චි:
“මොහු ඇප මත මුදා හැරියොත් සාක්ෂිකරුවන්ට බලපෑම් විය හැකි. මේ සැකකරු පසුගිය වසර හත තුළ විමර්ශනවලට අවශ්‍ය සහාය ලබා දුන්නේ නැහැ. ප්‍රකාශ ලබාදීම සඳහා දැනුම්දුන් අවස්ථාවල පැමිණියේ නෑ. මොහුට ඇප ලබා දුනහොත් සාක්ෂිකරුවන්ට බලපෑම් සිදු කිරීමට හැකියාවක් තිබෙනවා. එම නිසා සැකකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඉල්ලා සිටිනවා.”

සැකකරුගේ නීතිඥයාගේ කරුණු දැක්වීම:
සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා ඊට ප්‍රතිචාර දක්වමින්, විමර්ශනවලට සහාය නොදීමේ චෝදනා ප්‍රතික්ෂේප කළේය.

ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස්:
“ස්වාමීනී, මගේ සේවාදායකයාට එරෙහිව මීට පෙර වත්කම් හා බැරකම් ප්‍රකාශ නොකිරීම සම්බන්ධයෙන් නඩු පහකට වරද පිළිගත්තා. ඔහු විමර්ශනවලට අවශ්‍ය දිවුරුම් ප්‍රකාශ හතක් අවස්ථා කිහිපයකදීම ලබාදීලා තිබෙනවා. මේ විමර්ශනය පසුගිය වසර 11 තිස්සේ පැවැත්වෙනවා. ඒත් මේ සැකකරු කිසිදු සාක්ෂිකරුවෙකුට බලපෑම් සිද්ධ කළ බවට පැමිණිල්ලක් ඉදිරිපත් වී නැහැ. ඔහු පූර්ණ සහාය ලබාදීලා තිබෙනවා. එම නිසා මොහුව සුදුසු කොන්දේසියක් මත ඇප මත මුදා හරින ලෙස ඉල්ලා සිටිනවා ස්වාමීනී.”

මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය:

දෙපාර්ශ්වයේම කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා, සැකකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් නියෝග කළේය.

ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා:
“මේ සැකකරු මීට පෙර වත්කම් හා බැරකම් ප්‍රකාශ නොකිරීම සම්බන්ධ නඩු පහකට වරද පිළිගත් බව ඔහුගේ නීතිඥවරු ප්‍රකාශ කළා. එහෙත් එම නඩුව හා මේ විමර්ශනය කරුණු දෙකක් බව පෙනී යනවා. සිය විමර්ශනවලට මේ සැකකරු සහාය ලබා නුදුන් බවටත් අල්ලස් කොමිසම ප්‍රකාශ කළා. මෙම විමර්ශනයට අදාල ඥාතීන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට තිබෙන බවද අල්ලස් කොමිසම දන්වා සිටියා. ඒ අනුව මෙම අවස්ථාවේදී විමර්ශන කටයුතු ඉදිරියටත් සිදුවන හෙයින් මෙම සැකකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරනවා. සැකකරු ඔක්තෝබර් 31 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරනවා. සැකකරු සම්බන්ධව සිදු කළ විමර්ශන හා ඔහු විසින් අත්පත් කරගෙන ඇති බව කියන දේපළ පිළිබඳ සවිස්තර වාර්තාවක් ඉදිරි නඩු දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස විමර්ශන නිලධාරීන්ට නියෝග කරනවා.”

නඩුව ඔක්තෝබර් 31 යළි කැඳවීමට නියමිතයි.

Latest Posts

spot_imgspot_img