– දේශපාලන විමර්ශනය
රටම ස්වභාවික විපත් සහ ආර්ථික අර්බුද හමුවේ හෙම්බත් වී සිටින මොහොතක, ජාතික ප්‍රමුඛතාවය විය යුත්තේ පීඩාවට පත් ජනතාවට සහන සැලසීමය. එහෙත්, “ක්‍රමයේ වෙනසක්” (System Change) පොරොන්දු වී බලයට පැමිණි වත්මන් ආණ්ඩුවේ ප්‍රමුඛයන්ගේ අවධානය යොමු වී ඇත්තේ කතරගම දෙවියන්ගේ අඩවියට දේශපාලන හස්තය දිගු කිරීමට බවට බරපතල චෝදනා එල්ල වෙමින් තිබේ. කතරගම මහා දේවාලයේ බස්නායක නිළමේ ධුරය සඳහා පැවැත්වෙන නිලවරණය මූලික කරගනිමින්, ජනතා විමුක්ති පෙරමුණේ මූලස්ථානය වන පැලවත්ත කාර්යාලය කේන්ද්‍ර කරගත් අමුතුම ආකාරයේ මෙහෙයුමක් මේ වන විට දියත් වී ඇත.
පැලවත්තෙන් ඥාති සංග්‍රහය කරළියට?
පසුගිය කාලය පුරාවටම රාජපක්ෂ පවුල්වාදය සහ දේශපාලන හිතවතුන්ට තනතුරු ලබා දීම දැඩිව විවේචනය කළ වත්මන් පාලක පක්ෂය, අද දවසේ සිදු කරමින් සිටින්නේ කුමක්ද? වාර්තා වන තොරතුරු වලට අනුව, මෙවර කතරගම බස්නායක නිළමේ තරඟය සඳහා ඉදිරිපත්ව සිටින ප්‍රබලම අපේක්ෂකයෙකු වන ශක්ති වීරකෝන් මහතාට සහය ලබා දීම සඳහා පක්ෂයේ ඉහළම බලධාරීන් මැදිහත් වී ඇත. බරපතලම කාරණය වන්නේ, මොහු ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාගේ බිරිඳගේ සහෝදරියගේ පුත්‍රයා බවට තොරතුරු හෙළිවී තිබීමයි.
පවුල්වාදය සහ ඥාති සංග්‍රහය දැඩිව ප්‍රතික්ෂේප කළ පක්ෂයක්, බලය ලැබූ විගස තම ප්‍රධාන ලේකම්වරයාගේ ඥාතියෙකු ඓතිහාසික පූජනීය ස්ථානයක ප්‍රධාන තනතුරට පත් කිරීමට “පැලවත්තෙන් මෙහෙයුම්” දියත් කිරීම දෛවයේ සරදමකි. මෙය හුදෙක් අපේක්ෂකයෙකු ඉදිරිපත් වීමක් නොව, රාජ්‍ය බලය සහ පක්ෂ යාන්ත්‍රණය යොදා ගනිමින් සිදුකරන බලහත්කාරී දේශපාලන මැදිහත්වීමකි.
මිලියන ගණනක අල්ලස් සහ දකුණේ ව්‍යාපාරික හස්තය
ලබන අඟහරුවාදා (09) පැවැත්වීමට නියමිත මෙම නිලවරණය ඉලක්ක කරගනිමින් ඡන්ද හිමි නිලධාරීන්ට මිලියන ගණනින් අල්ලස් ලබා දීමට උත්සාහ කරන බවට මේ වන විටත් තොරතුරු අනාවරණය වී තිබේ. දකුණේ ප්‍රබල ව්‍යාපාරිකයන් හරහා ප්‍රාදේශීය ලේකම්වරුන් බිාගැනීමට හෝ නම්මා ගැනීමට උත්සාහ දැරීම මගින් පෙනී යන්නේ, පැවති රජයන් සිදුකළ දූෂිත මැතිවරණ සංස්කෘතියම වත්මන් රජය යටතේ ද යළි ප්‍රතිෂ්ඨාපනය වී ඇති බවයි. අල්ලස් දීමට පැමිණීම සම්බන්ධයෙන් අදාළ නිලධාරීන් විසින් ඉහළ බලධාරීන් දැනුවත් කර තිබියදීත්, ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවීම තුළින් ගම්‍ය වන්නේ මෙම වංචනික ක්‍රියාවලියට දේශපාලන ආශිර්වාදය හිමි වී ඇති බව නොවේද?
සුදුස්සෝ සහ නුසුදුස්සෝ
කතරගම දෙවියන් උදෙසා කෙරෙන තේවාවන් සහ දේවාලයේ භාරකාරත්වය දැරීම පූජනීය වගකීමකි. එහෙත් මෙවර තරඟ වැදීමට නියමිත අපේක්ෂක ලැයිස්තුව දෙස බැලීමේදී පෙනී යන්නේ එය දේශපාලන අතකොළු සහ අපරාධ චෝදනා ලත් පුද්ගලයින්ගේ සූදුවක් බවට පත්ව ඇති බවයි.
- තිළිණ මධුශංක: වත්මන් වැඩබලන නිළමේවරයා වන මොහු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පාර්ශවය නියෝජනය කරන බව කියැවේ.
- ශක්ති වීරකෝන්: ටිල්වින් සිල්වාගේ ඥාති පුත්‍රයා.
- මිනීමැරුම් චෝදනා ලත් අයෙක්: කතරගම ආරංචි මාර්ගවලට අනුව මිනීමැරුම් නඩුවකට පැටලී අධිකරණ ක්‍රියාමාර්ග වලට ලක්ව සිටින පුද්ගලයෙකුද අපේක්ෂක ලැයිස්තුවේ සිටී.
මෙවැනි පසුබිමක් තුළ, කිරිවෙහෙර නාහිමියන් පවසා ඇති පරිදි “කඩේක බඩු කිරන්නටවත් නුසුදුසු” පුද්ගලයින් ධනය සහ දේශපාලන බලය නිසා පමණක් මෙම උත්තරීතර තනතුරට පත් කිරීමට උත්සාහ දැරීම බරපතල ඛේදවාචකයකි.
ඡන්ද ගණිතය සහ බලපෑම
බස්නායක නිළමේ තෝරා පත් කර ගැනීමේ ඡන්ද බලය හිමි 17 දෙනාගෙන් කාන්තා ප්‍රාදේශීය ලේකම්වරුන් 04 දෙනෙකුට ඡන්දය භාවිතා කළ නොහැකි වීම හේතුවෙන් සක්‍රීය ඡන්ද සංඛ්‍යාව 13කට සීමා වේ. මෙම කුඩා ඡන්ද පදනම (Voter Base) දේශපාලන බලපෑම් සහ මුදල් මගින් පහසුවෙන් වෙනස් කළ හැකි එකකි. මොණරාගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන් බහුතරයකගේ ඡන්දය මෙහිදී තීරණාත්මක වන අතර, ඔවුන් රාජ්‍ය නිලධාරීන් බැවින් වත්මන් ආණ්ඩුවේ දේශපාලන බලපෑමට ඔවුන් නිරායාසයෙන්ම ලක්වීමේ අවදානමක් පවතී.
ජාතික ව්‍යසනය පසෙකලා නිළමේ පොරය
රටේ ජනතාව ගංවතුරින් සහ නායයෑම් වලින් පීඩා විඳිද්දී, සහන සේවා සැපයීම සඳහා යොමු කළ යුතු රාජ්‍ය යාන්ත්‍රණය සහ පක්ෂ ක්‍රියාකාරීත්වය, තම ඥාතීන් නිළමේ පුටුවලට පත් කරගැනීම වෙනුවෙන් වැය කිරීම වත්මන් ආණ්ඩුවේ සදාචාරාත්මකභාවය පිළිබඳ ප්‍රශ්නාර්ථයක් මතු කරයි. “වෙනසක්” බලාපොරොත්තුවෙන් පත්කළ ආණ්ඩුවක්, පැවති රජයන් සිදුකළ ආකාරයටම පූජනීය ස්ථානවලට දේශපාලන අතපෙවීම් සිදු කිරීමත්, පක්ෂ අරමුදල් සහ බලය යොදවා ඥාති සංග්‍රහය සිදු කිරීමත් හෙළා දැකිය යුතුය.
අවසාන වශයෙන් ඇසිය යුත්තේ මෙයයි; පැලවත්ත පක්ෂ මූලස්ථානයට මේ මොහොතේ ඇති ලොකුම ජාතික ප්‍රශ්නය ටිල්වින් සිල්වාගේ ඥාති පුත්‍රයා කතරගම නිළමේ පුටුවේ වාඩිකරවීම ද? ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්තිගරුක දේශපාලනය කතරගම පූජා භූමිය අභියස දී නිරුවත් වී තිබේද?



