Friday, December 19, 2025
spot_img

Latest Posts

ව්‍යසනය මැද විපක්ෂය දඩයම් කිරීම: ජනාධිපති මාධ්‍ය අංශයේ “භින්න” භූමිකාව සහ මහජන මුදල් නාස්තිය

විශේෂ ලියුම්කරුවෙකු විසිනි.

ශ්‍රී ලංකාව මේ මොහොතේ පසුවන්නේ ඉතිහාසයේ අන් කවරදාකටත් වඩා බරපතල ජාතික ව්‍යසනයක් අභියසය. “දිත්වා” සුළි කුණාටුව සහ ගංවතුර තත්ත්වය විසින් නිර්මාණය කර ඇති මෙම ඛේදවාචකය, 2004 සුනාමි ව්‍යසනයට පමණක් දෙවැනි වන මට්ටමේ මහා විනාශයකි. අනෙක් පසින් පාස්කු ඉරිදා ප්‍රහාරය හා සම්බන්ධ දේශපාලනික කතාබහද, එම චෝදනාවට සමාන චෝදනාවන්ද මෙම ව්‍යසනය අස්සේම මතුවෙමින් තිබේ. මෙවැනි සංකීර්ණ වටපිටාවක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් හදිසි නීතිය ප්‍රකාශයට පත් කරනු ලැබුවේ, ආපදා තත්ත්වය කළමනාකරණය කිරීමේදී ඊට අදාළ නීතිමය ප්‍රතිපාදන සහ සහන සේවා කඩිනම් කිරීමේ අරමුණෙනි. සාමාන්‍ය නීතිය යටතේ අණ පනත් සම්මත කරමින් කාලය ගත කළ නොහැකි මොහොතක ඕනෑම රජයක් මෙවැනි තීරණයක් ගැනීම ස්වභාවිකය.

ජනාධිපතිගේ පොරොන්දුව සහ නියෝජ්‍ය ඇමතිගේ තර්ජනය

හදිසි නීතිය පැනවීම කෙරෙහි දේශපාලනිකව දැඩි විරෝධයක් ඇති වත්මන් ජනාධිපතිවරයා, මෙම තීරණය ගැනීමේදී ජනතාවට විශේෂ සහතිකයක් ලබා දුන්නේය.

“මෙම හදිසි නීතිය ආපදාව කළමනාකරණය කර ගැනීමට සහ කාර්යක්ෂමව අපේ රට ගොඩනැගීම සඳහා ඉවහල් කර ගන්නවා හැරෙන්නට, වෙනත් කිසිදු මර්දනීය ක්‍රියාදාමයක් වෙනුවෙන් අපි උපයෝගී කරගන්නේ නැහැ,”

යනුවෙන් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

එහෙත් ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශයේ තීන්ත වේලෙන්නටත් මත්තෙන්, මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා විසින් හදිසි නීතිය හරහා සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් සහ අදහස් ප්‍රකාශ කරන්නන්ව අත්අඩංගුවට ගන්නා බවට සිදුකළ අනතුරු ඇඟවීම බරපතල ගැටළුවකි. මෙය ජනාධිපතිවරයාට සිය කැබිනට්ටුව සහ විධායක නිලධාරීන් විනයගත කර ගැනීමට නොහැකි වී ඇති බවට කදිම උදාහරණයක් ලෙස දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රධානීන්ගේ දෙබිඩි පිළිවෙත

මෙම ලිපියේ අවධානය යොමු වන්නේ නියෝජ්‍ය අමාත්‍ය වටගලගේ ක්‍රියාකලාපයටත් වඩා, ජාතික ජන බලවේගය ආණ්ඩුවේ, විශේෂයෙන්ම ජනාධිපතිවරයාගේ මාධ්‍ය ඒකකයේ අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කරන සහ ජනතා විමුක්ති පෙරමුණේ නිල මාධ්‍ය මෙහෙයුම්කරුවන්ගේ වර්තමාන හැසිරීම ගැනය. විශේෂයෙන්ම අප හිතවත් උපුල් රංජන් සහ ජනාධිපති මාධ්‍ය ඒකකයේ අධ්‍යක්ෂවරයෙකු වන සිසිර සෙන්පති වැනි රජයේ වැටුප් ලබන නිලධාරීන්ගේ සමාජ මාධ්‍ය භාවිතය මේ මොහොතේ දැඩි විවේචනයට ලක්ව තිබේ.

ජාතික ව්‍යසනයකදී රටක් ලෙස පක්ෂ පාට භේද පසෙකලා එක්ව කටයුතු කිරීම ශිෂ්ට දේශපාලන සම්ප්‍රදායයි. විපක්ෂය දෙසට මඩ ගැසීම වෙනුවට ඔවුන්වද මෙම ජාතික වැඩපිළිවෙලට දායක කර ගැනීම ආණ්ඩුවක වගකීමකි. නමුත් සිදුවෙමින් පවතින්නේ එහි අනෙක් පැත්තයි.

උපුල් රංජන්ගේ “භින්න” මාධ්‍ය භාවිතය

ජනාධිපති මාධ්‍ය ඒකකයේ ප්‍රබල චරිතයක් වන උපුල් රංජන්ගේ සමාජ මාධ්‍ය හැසිරීම නිරීක්ෂණය කිරීමේදී පෙනී යන්නේ ඔහු යම්කිසි ‘භින්න’ (Split) මානසිකත්වයකින් කටයුතු කරන බවයි. එක් පසෙකින් ඔහු මානව හිතවාදී කවි සහ සංවේදී සටහන් පළ කරමින් “ලස්සන කොලොන්නාව” ගැනත්, මනුෂ්‍යත්වය ගැනත් කතා කරයි.

එහෙත් එම මනුෂ්‍යත්වය පිළිබඳ හැඟීම්බර සටහන තබා හෝරාවක් ගතවන්නට මත්තෙන්, ඔහු නැවතත් සිය සුපුරුදු දේශපාලන මඩ බලකායේ භූමිකාවට පණ දෙයි. රටේ විපක්ෂ නායකවරයා ආපදා තත්ත්වය සොයා බැලීමට යන ගමන විහිළුවක් බවට පත් කරමින්, එය “ආතල් ගැනීමක්” ලෙස අර්ථකථනය කිරීමට තරම් මොවුන්ගේ මාධ්‍ය භාවිතය පහත් තැනකට වැටී ඇත.

මහජන මුදලින් නඩත්තු වන මඩ බලකාය

සිසිර සෙන්පති වැනි අය රජයේ මුදලින් වැටුප් ලබමින් සිදුකරන්නේ ආණ්ඩුවේ සංවර්ධන පුවත් ජනතාවට ගෙන යාම නොව, විපක්ෂ නායකවරයා ඇතුළු විරුද්ධ මතධාරීන්ට මඩ ගැසීම බවට චෝදනා එල්ල වේ. මහනුවර ප්‍රදේශයේ ආපදා සහන බෙදා හැරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා කළ මැදිහත්වීම විකෘති කරමින්, ඔහුට සමාව ගන්නා ලෙස බලකරමින් පළ කර ඇති පෝස්ට් මගින් පෙනී යන්නේ ජාතික ව්‍යසනයකදී පවා මොවුන් දේශපාලන ලකුණු රැස් කිරීමට (Political point-scoring) වෙර දරන ආකාරයයි.

නිගමනය

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට හෝ විපක්ෂයට දේශපාලන වශයෙන් චෝදනා එල්ල විය හැකිය.ඔවුන්ගේ දේශපාලන භාවිතයන් ප්‍රශ්න කළ යුතුයි. එහෙත් ඔහු මේ රටේ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයාය. ජාත්‍යන්තර ප්‍රජාව සහ ලෝක රටවල් ආධාර ලබා දීමේදී රටේ දේශපාලන ස්ථාවරත්වය සහ එකමුතුකම ගැන ද අවධානය යොමු කරයි. ආණ්ඩුව කළ යුත්තේ විපක්ෂයද හවුල් කරගෙන මෙම අර්බුදයෙන් ගොඩ ඒමට මාර්ගය සැකසීමයි. එහෙත් ආණ්ඩු පක්ෂය මේ මොහොතේත් විපක්ෂය පොළවට බහිනවාට විරුද්ධ වනවානම් ඒ ඔවුන් තමන් පිළිබඳව තබා ඇති අවතක්සේරුවකි. රාජ්‍ය බලය පිළිබඳ අවිඥානික බියකි. පසුගියදා නුවරට විපක්ෂයෙන් පැමිණි මොහොතේ ආණ්ඩුවේ නුවර දිස්ත්‍රික් නායක කෘෂීකර්ම ඇමති කේ.ඩී.ලාල්කාන්ත කලබල වීම සහ ඒ පිළිබඳ ප්‍රකාශයන් නිකුත් වීම පිටුපස ඇත්තේ එකී අවිඥානික සැකයයි, බියයි.

ප්ලේටෝගේ ‘රිපබ්ලික්’ කෘතියේ ඔහු පවසන්නේ බලය කාලයත් සමඟ පරිහානියට පත්වන බවයි. සත්‍යය මත පදනම් වූ පාලනයක් (Aristocracy) ධනය මත පදනම් වූ පාලනයකට (Oligarchy), ඉන්පසු නිදහස මත පදනම් වූ අසංවිධානාත්මක පාලනයකට (Democracy), සහ අවසානයේදී ආඥාදායකත්වයකට (Tyranny) පරිවර්තනය වන අයුරු ඔහු එහිදී විග්‍රහ කරයි.

මෙයින් පෙනී යන්නේ බල හුවමාරුවේ යථාර්ථය යනු උත්තරීතර ගුණයෙන් පහළම මට්ටමට ගමන් කරන අනිවාර්ය චක්‍රයක් බවයි.

වත්මන් ආණ්ඩුවේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා පමණක් ප්‍රඥා කේන්ද්‍රීයව කටයුතු කිරීම ප්‍රමාණවත් නැත. ඔහු කුමක් කෙසේ සිදුකළද වටගලලා වැනි අඥාන නියෝජතියින් පැමිණ සියල්ල බිඳ දමනු ලබයි. එසේම එවැන්නන් දෙස බලා දේශපාලනය කරන්නට සූදානම් වන සිසිර සෙන්පතිලා වැනි පුද්ගලයින් ආන්ඩුවට පක්ෂයට කරන හානිය ඉමහත්ය. ඒ අතර උපුල් රන්ජන් සිටියේ ධනාත්මක තලයක වුවද දැන් ඔහුත් ක්‍රමයෙන් පහලට ගමන් කර ඇත.

කෙසේ වුවත් දැන් “වැටත් නියරත් ගොයම් කයි නම් කාට කියමුද ඒ අවනඩුව” යන්න නිවැරදිය. ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂයේ නිල මාධ්‍ය ප්‍රකාශකයින් සහ ජනපති කාර්යාලයේ රජයේ වැටුප් ලබන නිලධාරීන් මෙලෙස තුන්වෙනි පන්තියේ මඩ ව්‍යාපෘති සඳහා කාලයත්, ශ්‍රමයත්, මහජන මුදලුත් වැය කරන්නේ නම්, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ “නව දේශපාලන සංස්කෘතිය” යනු මෙයදැයි ජනතාව ප්‍රශ්න කරනු ඇත. උපුල් රංජන්ලාගේ සහ සිසිර සෙන්පතිලාගේ මෙම දෙකයි පනහේ මාධ්‍ය භාවිතයේ ආනිසංස ආණ්ඩුවට අත්විඳීමට සිදුවීම වැඩි ඈතක නොවනු ඇත.

Latest Posts

spot_imgspot_img