geopolitics:
2025 දෙසැම්බර් 02
චණ්ඩ මාරුත 'දිට්වා' හේතුවෙන් ඇති වූ දැවැන්ත ගංවතුර තත්ත්වයෙන් පීඩාවට පත් ශ්‍රී ලංකාවට ආධාර සැපයීමේ මෙහෙයුම, කලාපීය බලවතුන් වන ඉන්දියාව සහ පකිස්ථානය අතර පවතින උණුසුම් භූ-දේශපාලන තත්ත්වය හේතුවෙන් බරපතල අර්බුදයකට ලක්ව ඇති බව නවතම වාර්තා පෙන්වා දෙයි.
මුලදී, විදෙස් සහ ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පකිස්ථානය යවන ලද සහන ගුවන් යානයට ඉන්දියාව පැය හතරක් වැනි කෙටි කාලයක් තුළ මානුෂීය පදනම මත ක්ෂණික අවසරයක් ලබා දුන් බවත්, ඉන්දීය රජය ද ‘සාගර් බන්ධු මෙහෙයුම’ යටතේ දැනටමත් ටොන් 53ක දැවැන්ත ආධාර තොගයක් ශ්‍රී ලංකාවට යවා ඇති බවත්ය. මෙම වාර්තා මගින් නිරූපණය වූයේ කලාපීය සහයෝගීතාවයේ යම් ප්රගතියකි.
කෙසේ වෙතත්, මෙම ප්රකාශයන්ට සම්පූර්ණයෙන්ම පටහැනි අදහසක් මීට සුළු වේලාවකට පෙර කොළඹ පකිස්ථාන තානාපති කාර්යාලය විසින් නිකුත් කරන ලද නිවේදනයකින් මතු වී ඇත.


එම නිවේදනය දැඩි ලෙස අවධාරණය කරන්නේ, අගමැතිවරයාගේ විශේෂ උපදෙස් මත සූදානම් කළ සම්පූර්ණයෙන් සන්නද්ධ නාගරික සෙවීම් සහ ගලවා ගැනීමේ (USAR) කණ්ඩායම්, ක්ෂේත්‍ර රෝහල්, පුහුණු කළ සුනඛයන් සහ ටොන් 200කට ආසන්න ජීවිතාරක්ෂක ද්‍රව්‍ය රැගත් පකිස්ථාන හදිසි සහන මෙහෙයුම ඇතුළත් C-130 ගුවන් යානය, ගුවන් ගමන් අවසරය ප්‍රමාද කිරීමේ ඉන්දීය “උපායශීලී ක්‍රියා” (“shenanigans”) හේතුවෙන් දින දෙකකට වැඩි කාලයක් තිස්සේ ඉස්ලාමාබාද්හි නූර් ඛාන් ගුවන් කඳවුරේ (NKAB) සිර වී ඇති බවයි.

පකිස්ථානය චෝදනා කරන්නේ ඉන්දියාව විසින් නොවැම්බර් 1 වන දින පස්වරු 6.00 ට ලබා දුන් එක්දින රාජ්‍යතාන්ත්‍රික අවසරය, ගුවන් යානය කොළඹට ගොස් ආපසු ඒමට ප්‍රමාණවත් නොවන පරිදි පැය 6කට පමණක් වලංගු වූ බවයි.
තවදුරටත්, පකිස්ථාන නිවේදනයට අනුව, ඉන්දීය බලධාරීන් විසින් සම්පූර්ණ ලියකියවිලි ලබා දී තිබියදීත්, ගුවන් ගමන් සැලසුම් නැවත නැවතත් ඉදිරිපත් කරන ලෙස ඉල්ලා හිතාමතාම ප්‍රමාද කිරීමේ උපක්‍රම භාවිතා කර ඇති අතර, එමගින් ආපදාවට ලක් වූ අසල්වැසියෙකුට නියමිත වේලාවට ආධාර ලබා දීමට ඇති හැකියාව දුර්වල කර ඇත. පකිස්ථානය මෙම ක්‍රියාව ‘නින්දිත‘ (‘callous’), ‘දේශපාලන අභිප්‍රේරිත‘ සහ ජාත්‍යන්තර මානුෂීය සම්මතයන්ට, එක්සත් ජාතීන්ගේ මූලධර්මවලට මෙන්ම සාක් මානුෂීය ප්රඥප්තියේ මූලධර්මවලට පටහැනි බවට චෝදනා කරයි.
මේ ආකාරයට හදිසි මානුෂීය ආධාර ප්‍රමාද කිරීම, අර්බුදකාරී අවස්ථාවක කලාපීය සහයෝගීතාවයට ඇති ඉන්දියාවේ කැපවීම පිළිබඳව බරපතල සැකයන් මතු කරන බව පකිස්ථානය සඳහන් කරයි. කෙසේ වෙතත්, දැනටමත් ශ්‍රී ලංකාවේ ස්ථානගත කර ඇති පකිස්ථාන නාවික හමුදා නෞකාවක් (PNS) ශ්‍රී ලංකා බලධාරීන් සමඟ සම්බන්ධීකරණය කරමින් භූමියේ මානුෂීය මෙහෙයුම්වල නිරත වන බවත්, මෙම බාධාවෙන් ශ්‍රී ලංකාවට සහාය වීමට ඇති පකිස්ථානයේ අධිෂ්ඨානය දුර්වල නොවන බවත් තානාපති කාර්යාලය අවධාරණය කරයි.
පකිස්ථානය අවසාන වශයෙන් බලාපොරොත්තු වන්නේ ඉන්දියාව වගකිවයුතු මානුෂීය ප්‍රවේශයක් ගෙන, ගුවන් මෙහෙයුම් සඳහා ප්‍රමාණවත් කාලයක් සමඟ වහාම ගුවන් සීමාවට ප්‍රවේශය ලබා දෙනු ඇති බවයි.
කෙසේ වෙතත් ඉහත දෙපාර්ශ්වයේ පැහැදිලි කිරීම්හි ඇති විෂමතාවය මගින් ශ්‍රී ලංකාවේ ස්වාභාවික ආපදා තත්ත්වය හමුවේ පවා දකුණු ආසියාවේ ප්‍රධාන කලාපීය ප්‍රතිවාදීන් දෙදෙනා අතර පවතින භූ-දේශපාලන තරඟය සහ අවිශ්වාසය කොතරම් ගැඹුරුද යන්න පෙන්වා දෙයි. ආධාර මෙහෙයුම සම්බන්ධයෙන් පැන නැගී ඇති මෙම අර්බුදය, කලාපීය ස්ථාවරත්වය සහ සහයෝගීතාවය සම්බන්ධයෙන් බරපතල ප්‍රශ්න මතු කරයි.




