Friday, December 19, 2025
spot_img

Latest Posts

ගං වතුර බැස ගිය පසු…

මේ මොහොතේ අපේ අවධානය යොමු වී ඇත්තේ ගංවතුරෙන් සහ නායයෑම්වලින් ජීවිත බේරා ගැනීම ගැනය. එය මේ අවස්ථාවේ අත්‍යාවශයම කටයුත්තය. නමුත් ජලය බැස ගිය පසු අපට මුහුණදීමට ඇති යථාර්ථය ඊටත් වඩා භයානක විය හැකිය. සරලවම කිව්වොත්, අපි සිටින්නේ බරපතල ආහාර හිඟයක් අබියසය.

මේ ගං දිය ලබන කන්නයේ වී අස්වැන්න මුළුමනින්ම විනාශ කර ඇත. උඩරට එළවළු වගා බිම් සොයාගන්නටවත් නොමැත, නායයෑම් තේ වතු පොලොවටම සමතලා කර ඇත, කුකුළු ගොවිපලවල්, සත්ව ගොවිපලවල් තිබූ ලකුණුවත් අද නැත. මේවායේ ප්‍රතිඵලය වන්නේ ඉදිරියේදී සහල්, එළවළු, බිත්තර, මස් සහ කිරි ආශ්‍රිත නිෂ්පාදනවල දැඩි හිඟයක් ඇති වීම සහ ඒවායේ මිල ඉහළ යාමය.

එමෙන්ම මහාමාර්ග පද්ධතියට සිදුව ඇති විනාශය හරහා බෙදාහැරීම් ජාලය බිඳ වැටෙනු ඇත. ඒ හරහා ගොවියා යන්තමින් හෝ රැකගත් නිෂ්පාදනයක් පවා පාරිභෝගිකයා වෙත සමීප කිරීම අභියෝගයක් විය හැකිය.

මෙය ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම ස්වාභාවික ආපදාව නොවේ. මීට වඩා භයානක ස්වාභාවික විපත්වලට අප මුහුණදී තිබේ.

නමුත් පැහැදිලිවම මෙය ශ්‍රී ලංකා ඉතිහාසයේ නරකම සහ බිහිසුණුම ස්වාභාවික ආපදාවක් වේ.

අවංකවම එය බිහිසුණුම සහ නරකම තත්ත්වයට පත් කරගත්තේ ආණ්ඩුවම බව තහවුරු කිරීමට හැකි සාධක රැසක් තිබේ.

ඕනෑම සුළි කුණාටුවක් පිළිබඳ කල්තියා පුරෝකථනය කිරීමටත්, එහි සුළඟේ වේගය, වැස්සේ ප්‍රමාණය ආසන්න වශයෙන් ගණනය කිරීමටත් හැකි තරමට ලොව කාලගුණ ගවේශකයින් ප්‍රබල තාක්ෂණික පද්ධතිවලින් සන්නද්ධය.

ඒ අනුව මේ සුළි කුණාටුව සහ වර්ෂාව ශ්‍රී ලංකාවට පැමිණෙන බව විදෙස් රටවල් අපට දැන්වූයේ මාසයක පමණ සිටය.

ඔබ නොවැම්බර් 26 වනදාට සතියකට පමණ ආසන්න කාලයේ CNN, BBC පුවත් නැරඹුවා නම් ඔවුන් පවා ශ්‍රී ලංකාවට අනතුරු ඇඟවූ අයුරුත්, මහා වැස්සකට සුදානම් වන ලෙසට ප්‍රකාශ කළ අයුරුත් දැකගත හැකිය.

අපේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවද සතියක සිට මේ ව්‍යවසනය ගැන, ඇතිවිය හැකි ගංවතුර ගැන නිවේදනය කළ බව අප අමතක නොකළ යුතුය.

එහෙත් රජය ඒ අනතුරු ඇඟවීම් කනකට හෝ ගත්තේ නැත, ඔවුන් සතුව කිසිඳු පෙර සුදානමක් හෝ සැලසුමක් තිබුණේ ද නැත.

සාමාන්‍යයෙන් මෙවැනි අනතුරු ඇඟවීමක් සිදු වූ සැණින් අතීතයේ ප්‍රාදේශීය යාන්ත්‍රණ සක්‍රීය කරන අයුරුත්, ගංවතුර ඇරඹීමට පෙරම ජනතාව දැනුවත් කිරීමත්, මෝය කට පුළුල් කරමින්, වර්ෂාව ආරම්භ වීමට පෙර ජලාශ හිස් කරමින් වැසි දියට ප්‍රමාණවත් පරිදි ජලාශයේ ධාරිතාව පවත්වා ගැනීමත් සිදු කළ අයුරු අපිට ඕනෑ තරම් මතකය.

නමුත් වර්තමාන පාලකයන්ට මේ පියවරයන් ගැන අදහසක් තිබුණේ නැත. අවම වශයෙන් ප්‍රධාන ජලාශ හිස් කර තිබුණේ නම්, මේ ව්‍යවසනයෙන් 80% ක් වලකා ගැනීමට තිබූ බව දැන් දැන් පැහැදිලි වන්නේය.

මන්ද ජලාශවල තිබූ ජලය කල්වේලා ඇතිව බැහැර කර තිබුණේ නම්, අලුතින් වැටෙන වැසි දිය දෙගොඩ තලා යාමට ඉඩ නොදී ජලාශවල රඳවා ගැනීමේ හැකියාව ඕනෑ තරම් තිබුණී.

මේ මෙහොතේ සිදුවූයේ, පසුගිය සමයේ රටට ඇදහැළුණු වැසි දියත්, අලුතින් වැටුණු මිලිමීටර් 200 ඉක්මවූ වැස්සත් එක්වී මහා ජලකඳක් ජලාශවලින් එකවර මුදාහැරීමට සිදුවීමය.

මෙලෙස වැස්සට ප්‍රථම ජලාශ හිස් කිරීම රොකට් සයන්ස් නොව, අතීත රජයන් සහ නිළධාරීන් විසින් සිදු කළ සාමාන්‍ය ක්‍රමවේදයන්ය.

මන්ද මීට පෙරද මිලිමීටර් 200 – 400 අතර මහා වැසි ඕනෑ තරම් මේ ශ්‍රී ලංකා පොලොවට වැටී ඇති බව ඉතිහාස දත්ත පීරා බැලීමේදී තහවුරු වන්නේය.

මෙවැනි ආපදාවක දී අතීතයේ නම් ඔබට නිතර ඇසුණු නමක් ඇත, (DMC) ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය.

මෙවර මේ ව්‍යවසනය සම්බන්ධ ප්‍රවෘත්තීවලදී එක් වරක් හෝ ආපදා කලමණාකරණ මධ්‍යස්ථානයේ සක්‍රීය දායකත්වයක් ගැන අපට ඇසුනේද නැත.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය යනු මෙරට රාජ්‍ය පරිපාලනයේ සුවිශේෂී අංශයක් විය. එය ආපදා සම්බන්ධයෙන් කඩිනමින් ක්‍රියාත්මක වීමට මෙරට තිබූ එකම සහ හොඳම ආයතනය වූ අතර එය සුනාමි ව්‍යසනයෙන් පසු 2005 වසරේ පිහිටවූයේ පූර්ව අනතුරු හැඟවීම් සහ හදිසි ප්‍රතිචාර දැක්වීම් සඳහාය.

ඒ අනුව හදිසි ආපදා තත්ත්වයකදී ත්‍රිවිධ හමුදාව, පොලීසිය, රාජ්‍ය සේවය සහ ප්‍රාදේශීය දේශපාලඥයා සම්බන්ධීකරණය කළේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මගින්ය.

බෝට්ටු සේවා, ගලවා ගැනීමේ හෙලිකොප්ටර්, දියුණු GPS තාක්ෂණය ආදී සියලුම අංශ වලින් සන්නද්ධ ඔවුන්, විදුලිය නොමැති, දුරකථන සංඥා නොමැති ප්‍රදේශවල සන්නිවේදනයට අවශ්‍ය දියුණු සන්නිවේදන උපකරණ සහ චන්ද්‍රිකා දර්ශන පවා ලබාගත හැකි තාක්ෂණයෙන් බලගන්වා ඇත.

එය ආපදා සමයේ පැය 24 ම සේවය කරන ආයතනයක් වූ අතර අතීතයේ ව්‍යවසන හමුවේ පෙර සුදානම් සංවිධානය කළෙත්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන්ය.

එහෙත් වත්මන් මාලිමා රජය බලයට පැමිණි වහාම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අක්‍රීය කළ අතර, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මහජනතාවගේ බදු මුදල් විනාශ කරන සුදු අලියෙක් බවට ඔවුන් ප්‍රකාශ කළේය.

ඔවුන් කියා සිටියේ, “ආපදාවන් එන්නේ එක මාසයකට නිසා ඉතිරි මාස 11 පුරාවටම රාජ්‍ය ආයතනයක් වැටුප් ගෙවා නඩත්තු කිරීමට අවශ්‍ය නැහැ” කියාය. ඒ මාස 11 ක වැටුප් ගෙවීම බදු මුදල් අපතේ යැවීමක් ලෙස ඔවුන් දුටුවේය.

පාස්කු ප්‍රහාරය ගැන තොරතුරු තිබියදී, එය වළක්වා ගන්නට තීන්දු තීරණ නොගත් මෛත්‍රීපාල හිටපු ජනාධිපතිවරයා ඇතුළු පිරිසට ජනතාවට වන්දි ගෙවන්නත් සිදුවූ හැටි අපට ඉතිහාසය කියා දුන් පාඩමය.

එසේනම් මහා වැස්සක් ලැබෙන බව දැන, දැනත් ඊට නිසි ක්‍රියාමාර්ග නොගෙන වගකීම් පැහැර හැරි පුද්ගලයින් පිරිසක් බවට නම් කරමින් වත්මන් බළධාරීන්ගෙන්ද, මූලික අයිතිවාසිකම් පෙත්සම් හරහා පුරවැසියන්ට නීතිය හමුවේ ප්‍රශ්ණ කිරීමටද අයිතියක් ඇත.

මෙයද නිසි කළ, නිසි ලෙස තීන්දු නොගැනීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ කළ බවට අධිකරණය හමුවේ ඔප්පු වූ පාස්කු ප්‍රහාරයටත්, ආර්ථික කඩාවැටීමටත් සමාන සිදුවීමක් නොවන්නේද?

Latest Posts

spot_imgspot_img