ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලය යනු හුදු පෞද්ගලික ව්‍යාපාරික සමාගමක් හෝ කවර හෝ පුද්ගලයෙකුගේ පරවේණි බූදලයක් නොවේ. එය 1931 අංක 19 දරන බෞද්ධ විහාර දේවාලගම් ආඥාපනත යටතේ නෛතිකව පාලනය වන, ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ගේ පඬුරු හා භක්තිය මත රඳා පවතින පොදු ආගමික භාරයකි. එහෙත්, එවැනි පූජනීය ආයතනයක ස්ථිර සේවකයෙකු කිසිදු විධිමත් විනය පරීක්ෂණයකින් තොරව, අසභ්‍ය හා තර්ජනාත්මක වචන මාලාවකින් බැණ වදිමින් රැකියාවෙන් දොට්ට දැමීමේ සිද්ධියක් මේ වන විට බරපතළ පරිපාලනමය හා නෛතික කැළඹීමක් නිර්මාණය කර තිබේ.
කතරගම ප්‍රදේශයේම පදිංචි ස්ථිර සේවකයෙකු වන ප්‍රදීප් කුමාර මහානාම ගුණවර්ධන වත්මන් බස්නායක නිලමේ ඒ. ආරච්චිගේ තිළිණ මධුශංඛ විසින් සේවයෙන් පහ කිරීමට ගෙන ඇති අත්තනෝමතික පියවර, හුදු එක් පුද්ගලයෙකුට රැකියාව අහිමි වීමකින් ඔබ්බට ගොස්, මෙරට කම්කරු නීතියට සහ පරිපාලන සම්ප්‍රදායට එල්ල කළ ප්‍රබල අභියෝගයක් බවට පත්ව ඇත.
ලේඛනගත සේවා ඉතිහාසය සහ බිඳ වැටෙන පරිපාලන ප්‍රබන්ධය
මෙම අර්බුදයේ සැබෑ පසුබිම වටහා ගැනීමට නම්, වත්මන් පාලනාධිකාරිය හෝ එයට විරුද්ධ පාර්ශ්වයන් ගොතන කතන්දරවලට වඩා දේවාලයේම නිල ලේඛන කියවා බැලීම ප්රමාණවත්ය. කතරගම, වැඩසිටිකන්ද පාරේ පදිංචි ප්‍රදීප් කුමාර රුහුණු මහා කතරගම දේවාල කාර්යාලයේ ඉඩම් ලිපිකරු තනතුරට පත් කරනු ලබන්නේ හිටපු බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර විසින් නිකුත් කළ 2025 පෙබරවාරි 26 දිනැති නිල පත්වීම් ලිපිය මගිනි.

2025 මාර්තු 01 වැනිදා සිට ක්‍රියාත්මක වූ මෙම පත්වීම ස්ථිර, සේවක අර්ථසාධක අරමුදල් හා සේවා නියුක්තයන්ගේ භාරකාර අරමුදල් හිමි නීත්‍යානුකූල පත්වීමකි. ඔහු සේව්‍ය අංක W 5267 සහ සාමාජික අංක 24 යටතේ සේවක අර්ථසාධක අරමුදලේ ලියාපදිංචි වී ඇති අතර, 2025 වසරේ මාර්තු සිට දෙසැම්බර් දක්වා අඛණ්ඩව දායක මුදල් බැර වී වසර අවසානයේ රුපියල් 57,147ක ශේෂයක්ද සටහන්ව ඇත.

සාමාන්‍යයෙන් මාස හයක පරිවාස කාලයකට යටත්ව ලබා දුන් මෙම තනතුරේ, ප්‍රදීප් කුමාරගේ සේවය කෙතරම් සතුටුදායක වීද යන්න තහවුරු වන්නේ මාස හය සම්පූර්ණ වීමටත් පෙර, එනම් 2025 ජූලි 26 දිනැති ලිපියෙන් ඔහුව 2025 මාර්තු 01 දින සිටම ක්‍රියාත්මක වන පරිදි සේවයේ ස්ථිර කිරීමෙනි. තවද, 2025 ඔක්තෝබර් 11 දින පරිපාලන ලේකම් ඊ. එම්. සනත් ඒකනායක විසින් නිකුත් කළ වැටුප් සහතිකයට අනුව 2025 ජූලි, අගෝස්තු සහ සැප්තැම්බර් යන මාස තුනේදීම රුපියල් 35,000ක මූලික වැටුපට අමතරව රුපියල් 20,000ක සම්පූර්ණ පැමිණීමේ දීමනාව ඔහුට හිමිව තිබේ. රාජකාරි පැහැර හරින හෝ පැමිණීම දුර්වල සේවකයෙකුට අඛණ්ඩව පූර්ණ පැමිණීමේ දීමනාවක් ගෙවන්නේ නැත.

එහෙත්, වත්මන් බස්නායක නිලමේ තිළිණ මධුශංඛ විසින් 2026 ඔක්තෝබර් 23 දින නිකුත් කළ සේවයෙන් ඉවත් කිරීමේ ලිපියේ සිව්වැනි ඡේදයේ සඳහන් වන්නේ සම්පූර්ණයෙන්ම විකෘති කළ චිත්රයකි. “තවද ඔබ ඉඩම් අංශයට අනුයුක්තව රාජකාරි සිදු කිරීමේ දී එම වගකීම් පැහැර හැරීම හේතුවෙන් එම අංශයෙන් ඔබව ඉවත් කර ගබඩා අංශයට යොමු කළ අතර” යනුවෙන් එහි සඳහන් වේ.

මෙම ප්‍රකාශය පදනම් විරහිත බව දේවාලයේම පරිපාලන ලේකම් සනත් ඒකනායක අත්සන් තබා ඇති 2025 සැප්තැම්බර් 21 දිනැති ඉහත පලකර ඇති නිල ලිපියෙන්ම සනාථ වේ. එම ලිපියේ ඉතා පැහැදිලිව සඳහන් කර ඇත්තේ, “ගබඩා පාලක තනතුරේ ඇති වී තිබෙනා පුරප්පාඩුව හේතුවෙන් ඔබ දැනට රාජකාරි ඉටු කරන ලබන ඉඩම් අංශයේ රාජකාරි වලින් නිදහස් කර 2025.09.21 වන දින සිට ගබඩා පාලක තනතුරට පත් කරන බව” යි. එපමණක් නොව, ගබඩා අංශයේ රාජකාරි නොමැති අවස්ථාවලදී ඉඩම් අංශයේ රාජකාරි සඳහාද සහයෝගය ලබා දෙන ලෙස එම ලිපියෙන්ම දන්වා ඇත. ඉඩම් අංශයේ වැඩ අවුල් කළ සේවකයෙකු දේවාලයේ සමස්ත භාණ්ඩ තොග පාලනය කරන වගකිවයුතු ගබඩා පාලක තනතුරට පත් කිරීමටත්, ඉඩම් අංශයට තවදුරටත් සහාය වන ලෙස ඉල්ලා සිටීමටත් කිසිදු පරිපාලනයක් කටයුතු නොකරනු ඇත.
දේවාලයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පෙන්වා දෙන්නේ මෙම හදිසි ඉවත් කිරීමේ සැබෑ හේතුව රාජකාරි අතපසුවීමක් නොව, ගබඩා අංශයේ සිදුවන ඇතැම් කටයුතුවලට කතරගම ගම්වාසී මෙම ස්ථිර සේවකයා බාධාවක් වීම බවය. 2025 සැප්තැම්බර් 21 පත්වීම් ලිපියට අනුව දිනපතා තොග පොත් යාවත්කාලීන කිරීමත්, භාණ්ඩ ඇණවුම් කිරීම් හා නිකුත් කිරීම් බලලත් නිලධාරියෙකුගේ අනුමැතියට යටත්ව ලේඛනගතව සිදු කිරීමත් ඔහුගේ වගකීම වී තිබේ. එවැනි විනිවිදභාවයක් පවතින පුටුවකින් ඔහුව ඉවත් කිරීම සඳහා බාහිර පුද්ගලයින් සමඟ “යම්කිසි ගනුදෙනුවක ස්වරූපයෙන්” තොරතුරු හුවමාරු කළ බවට කිසිදු සාක්ෂියක්, දිනයක් හෝ පුද්ගලයෙකු නොමැතිව බරපතළ චෝදනා එල්ල කිරීමෙන්ම මෙහි යටි අරමුණක් ඇති බව අභ්‍යන්තර ආරංචිමාර්ග වලින් මෙන්ම අදාළ ලේඛන තුළින් ද පැහැදිලි වන්නකි.
ඊටත් වඩා පරස්පරතාව ඇත්තේ ඉවත් කිරීමේ ලිපියේම තුන්වැනි සහ පස්වැනි ඡේද අතරය. රාජකාරි පැහැර හරින පුද්ගලයින්ට දීමනා ලබා දීම “බැතිමතුන්ගේ පඬුරු මුදලින් පවත්වාගෙන මෙවැනි ස්ථානයකට සිදු කරන විශාල හානියක්” බව තුන්වැනි ඡේදයේ දේශනා කරන වත්මන් බස්නායක නිලමේ, පස්වැනි ඡේදයෙන්ම කිසිදු නෛතික පදනමකින් හෝ මුදල් රෙගුලාසි අනුමැතියකින් තොරව මාස තුනක දීමනා පාරිතෝෂිකයක් ලබා දී ඔහුව ඉවත් කරන බව දන්වා සිටී. සැබැවින්ම වරදක් කළ සේවකයෙකු නීත්‍යානුකූලව ඉවත් කරන්නේ නම් බැතිමතුන්ගේ පඬුරු මුදලින් මාස තුනක අමතර වන්දියක් පිරිනැමීමට අවශ්‍යතාවක් නැත. එය හුදෙක් නීතිවිරෝධී දොට්ට දැමීමක් මුදල් දී යටපත් කිරීමේ උත්සාහයකි.

ආයතන සංග්‍රහය, පත්වීම් කොන්දේසි සහ කම්කරු නීතිය පාගා දැමීම
පරිපාලනමය සහ නෛතික දෘෂ්ටිකෝණයෙන් බලන විට මෙම සේවයෙන් පහ කිරීම මුල සිටම බලශූන්‍ය වූවකි. ප්‍රදීප් කුමාරගේ 2025 පෙබරවාරි 26 මුල් පත්වීම් ලිපියේ — එනම් 2025 ජූලි 26 ස්ථිර කිරීමේ ලිපියෙන්ද යළි තහවුරු කළ — 11 වැනි වගන්තියේ ඉතා පැහැදිලිව මෙසේ සටහන්ව තිබේ: “බස් නායක නිලමේවරයා විසින් කරනු ලබන ස්වාධීන පරීක්ෂණයකින් හැර ඔබගේ සේවය අත්හිටු වීම සිදු කළ නොහැකි අතර ඒ සම්බන්ධයෙන් බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව දැනුවත් කිරීම ද කල යුතුය. එවැනි අවස්ථාවක බල පැවැත්වනුයේ ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජන රජයේ ආයතන සංග්‍රහයේ විධිවිධානයන්ය.”
පත්වීම ලබා ගැනීමේදී දැන දැනම අසත්‍ය තොරතුරු සැපයූ බව ඔප්පු වන 14 වැනි වගන්තියේ අවස්ථාව හැරුණු විට, ස්ථිර සේවකයෙකු කිසිදු ලෙසකින් ස්වාධීන පරීක්ෂණයකින් තොරව ඉවත් කිරීමට බස්නායක නිලමේට ගිවිසුම්ගත බලයක් නැත.
ආයතන සංග්‍රහයේ XLVIII වැනි පරිච්ඡේදයේ දැක්වෙන විනය පරිපාටියට අනුව ස්ථිර සේවකයෙකු සේවයෙන් පහ කිරීමට පෙර විධිමත් මූලික පරීක්ෂණයක් පැවැත්වීම, නිශ්චිත චෝදනා සහිත ලිඛිත චෝදනා පත්‍රයක් නිකුත් කිරීම, නිදහසට කරුණු දැක්වීමට සාධාරණ කාලයක් ලබා දීම සහ ස්වාධීන පරීක්ෂණ නිලධාරියෙකු ඉදිරියේ විධිමත් විනය පරීක්ෂණයක් පැවැත්වීම අනිවාර්ය වේ. එහෙත් මෙහිදී සිදුව ඇත්තේ 2026 ඇසළ පෙරහැර සමයේ වාචිකව කරුණු විමසීමට පැමිණෙන ලෙස දැන්වූ බවට පමණක් සඳහන් කරමින්, 2026 ඔක්තෝබර් 21 වැනිදා ප්‍රධාන අධීක්ෂණ නිලධාරී පී. බී. නිහාල් විමලසූරියට උපදෙස් දී ඒකපාර්ශ්විකව සේවය අවසන් කිරීමයි. එහිදී බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව දැනුවත් කර ඇති බවක් හෝ 2026 ඔක්තෝබර් 23 ලිපියේ කොතැනකවත් සඳහන් නොවේ.
මෙය පරිපාලන නීතියේ මූලික පදනම වන ස්වාභාවික යුක්තියේ මූලධර්ම දෙකම ඍජුවම උල්ලංඝනය කිරීමකි. චූදිතයාට තම නිර්දෝෂීභාවය ඔප්පු කිරීමට අවස්ථාවක් නොදීමෙන් ‘අනෙක් පාර්ශ්වයටද සවන් දීමේ’ මූලධර්මය බිඳ දමා ඇති අතර, චෝදනා නඟන්නාත්, පැමිණිලිකරුත්, දඬුවම් නියම කරන විනිසුරුත් එකම පුද්ගලයා වීමෙන් ‘තමන්ගේම නඩුවේ විනිසුරු නොවීමේ’ මූලධර්මයද සුනු විසුනු කර තිබේ.
ඊට අමතරව, ඉවත් කිරීමේ ලිපියේ සිව්වැනි ඡේදයේ බස්නායක නිලමේ ඉදිරිපත් කරන නෛතික තර්කය අතිශය භයානක පූර්වාදර්ශයකි. “රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ තනතුර වර්ෂ 05 කට පමණක් සීමා වන අතර සෑම වර්ෂ 05 අවසානයේම බස්නායක නිලමේ මාරු වීම සිදු වේ. මා විසින් මෙම තනතුර හොබවන වර්ෂ 05 තුළ ඉතා විශ්වාසවන්ත නිලධාරීන් පමණක් රැඳිය සිටිය යුතු අතර” යනුවෙන් ඔහු එහි ලියා තිබේ. 1931 බෞද්ධ විහාර දේවාලගම් ආඥාපනත යටතේ වසර පහකට පත් වන බස්නායක නිලමේ යනු දේවාලයේ ව්‍යවස්ථාපිත භාරකරුවා මිස ස්ථිර සේවකයින්ගේ පෞද්ගලික හාම්පුතා නොවේ. සෑම වසර පහකට වරක්ම පත්වන නිලමේවරුන් පෙර නිලමේවරයාගේ කාලයේ පත්වූ ස්ථිර සේවකයින් “මට විශ්වාස නැත” යන හිතුවක්කාර පදනමින් එළියට දැමීමට පටන් ගතහොත්, රටේ කිසිදු රාජ්‍ය හෝ ව්‍යවස්ථාපිත ආයතනයක ස්ථිර සේවයක් ඉතිරි නොවනු ඇත.
මෙරට කම්කරු නීතිය හමුවේද මෙම ඉවත් කිරීම කිසිසේත්ම වලංගු නොවේ. 1950 අංක 43 දරන කාර්මික ආරවුල් පනතේ 31ආ වගන්තිය යටතේ සාධාරණ හේතුවක් සහ විධිමත් පරීක්ෂණයක් නොමැතිව ස්ථිර සේවකයෙකු ඉවත් කිරීම ‘අසාධාරණ සේවය අවසන් කිරීමක්’ වන අතර, සේවය අවසන් කර මාස හයක් ඇතුළත කම්කරු විනිශ්චය සභාව හමුවේ නඩු පවරා හිඟ වැටුප් සහිතව නැවත සේවයේ පිහිටුවීම ඉල්ලා සිටීමට සේවකයාට පූර්ණ නීතිමය අයිතිය ඇත. එමෙන්ම, වසරකට වඩා (වසර 1යි මාස 7කට අධික) අඛණ්ඩ සේවා කාලයක් සපුරා ඇති සේවකයෙකු විනය පරීක්ෂණයකින් ඔප්පු නොවූ පදනමකින් ඉවත් කිරීමේදී, 1971 අංක 45 දරන කම්කරුවන්ගේ සේවය අවසන් කිරීමේ (විශේෂ විධිවිධාන) පනත ප්‍රකාරව සේවකයාගේ පූර්ව ලිඛිත කැමැත්ත හෝ කම්කරු කොමසාරිස් ජනරාල්ගේ පූර්ව ලිඛිත අනුමැතිය අනිවාර්ය වේ. ඒ කිසිවක් නොමැතිව සිදු කළ මෙම ඉවත් කිරීම කම්කරු නීතිය අමු අමුවේ උල්ලංඝනය කිරීමකි.
හඬපටයෙන් හෙළි වන චෙක්පත් උගුල, තර්ජනය සහ පෞද්ගලික පළිගැනීම
නිල ලිපියේ භාෂාවට යටින් සැඟවී තිබූ සැබෑ ද්වේෂ සහගතභාවය සහ පෞද්ගලික එදිරිවාදීකම හෙළි වන්නේ, චෙක්පතක් ලබා දී අදාළ සේවකයාව සේවයෙන් ඉවත් කිරීමට උත්සාහ කළ අවස්ථාවේ පටිගත වී ඇති වත්මන් බස්නායක නිලමේගේ හඬපටයයි (ලේඛන මෙන්ම හඩපටයද අප වෙත ලැබී ඇති අතර එවැන්නක් සමාජගත කර වයිරල් කිරීමට මේ මොහොතේ අපට අවශ්‍යතාවක් නැත. එහෙත් එහි කියැවෙන දැනගතයුතු ප්‍රකාශ ඒ ආකාරයෙන්ම පහත උපුටා දක්වා ඇත.).
1995 අංක 14 දරන සාක්ෂි (විශේෂ විධිවිධාන) පනත යටතේ අධිකරණයකදී පවා ප්‍රබල සාක්ෂියක් විය හැකි එම හඬපටයේදී, තමා වැඩ කළ මාසයේ වැටුප ගැන විමසන සේවකයාට නිලමේ මාස තුනක චෙක්පත ඉදිරිපත් කරන්නේ මෙසේය: “ඊට අමතරව මේ මාස තුනක ග්රැටිවිටි හම්බෙනවා. මේ… දැන් රස්සාවෙන් මමනේ අයින් කරන්නේ. ඒක නිසා ඒක ගන්න අකමැති නම් ගැටලුවක් නෑ. ගන්න කැමති නම් මේ ඒ චෙක් එක අදාළ දවසට ගත්තා කියලා දාලා ගන්න.” මෙහි උපාය ඉතා පැහැදිලිය. චෙක්පත භාරගත් බවට සේවකයා ලවා අත්සන් කරවා ගැනීමෙන් මෙම අනීතික ඉවත් කිරීම ස්වේච්ඡා සමථයක් ලෙස හුවා දක්වා ඔහුගේ අධිකරණ අයිතිය අහුරා දැමීම එහි අරමුණ විය.
එහෙත් සේවකයා එම චෙක්පත් උගුල ප්‍රතික්ෂේප කළ සැණින්, පූජනීය දේවාලයක ප්‍රධානියාගේ ශිෂ්ට වෙස්මුහුණ ගැලවී යන්නේ කම්පනය දනවන අයුරිනි.
"උඹට මනුස්සකමට මම චෙක් එක දෙන්න හැදුවේ. තෝ ඒක ගන්නත් කැමති නැත්නම් එතනින් එහාට කතා කරන්න මුකුත් නෑ."
යනුවෙන් තර්ජනය කරන ඔහු, ඉන් නොනැවතී හිටපු බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර කෙරෙහි ඇති පෞද්ගලික ක්‍රෝධය අසභ්‍ය වචනවලින් පිට කරන්නේ මෙම ඉවත් කිරීම පිටුපස ඇති පළිගැනීමේ චේතනාව තමා විසින්ම ඔප්පු කරමිනි.
"ඔයාට ඕන ඕන විදියට එක එකාගේ පස්සෙන් ගිහිල්ලා වැඩ කරයි කියලා එහෙම රස්සා දෙන්නෑ මං මෙතන. එක එකාට බයත් නෑ මං මෙතන. හිටපු නිලමෙටවත්, මොන පකයටවත් මං බය නෑ." යැයි ගුගුරන ඔහු තවදුරටත් පවසන්නේ "උඹ පුළුවන් දෙයක් කරපන්. එහෙම නම් මං මේකේ ඉන්නෑ එහෙම. ඩිෂාන්ටවත් මොකාටවත් බයේ මං මේකේ ඉන්නෑ." යනුවෙනි.
රටේ නීතියට, අධිකරණයට සහ ආණ්ඩුවලට ඔහු දක්වන නොතැකීම කෙතරම් උඩඟුද යන්න ඊළඟ ප්‍රකාශයෙන් මනාව ගම්‍ය වේ.
"ඒක ඕන වාහෙ කෙනෙකුට කියන්න. මං ආණ්ඩුව මොන ආණ්ඩුව තියෙද්දීත් මොකාටවත් බයවෙලා හිටියේ නෑ. ඒක හින්දා උඹට ඕන විදියට නඩු බැරිනම් ඕන ලබ්බක් කරපන්. මං ඒකට කිසි බයක් නෑ."
මෙහි උච්චතම සහ නීතිමය වශයෙන් අතිශය බරපතළම පාපොච්චාරණය සිදුවන්නේ හඬපටයේ අවසානයේදීය.
"දැන් උඹ කියන්නේ මට පොඩි මිනිහෙක්. කොච්චර ලොකුවට උඹලා හිතන් හිටියත් වැඩක් නෑ. මේකේ පරිපාලනය සියල්ලම මටයි තියෙන්නේ. වෙන මොකෙකුටවත් නෑ. මේ ඕනම සේවකයෙක් මට ඕනම වෙලාවක අයින් කරන්න පුළුවන්..."
කතරගම ගම්වාසී ස්ථිර සේවකයෙකු “පොඩි මිනිහෙක්” ලෙස හෑල්ලු කරමින්, පත්වීම් ලිපියේ 11 වැනි වගන්තියත්, ආයතන සංග්‍රහයත්, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ අධීක්ෂණ බලයත් තඹ දොයිතුවකට මායිම් නොකර “ඕනම සේවකයෙක් මට ඕනම වෙලාවක අයින් කරන්න පුළුවන්” යැයි ප්‍රකාශ කිරීම, බලය අයුතු ලෙස භාවිත කිරීමේ නිරුවත් ප්‍රදර්ශනයකි.
ලංකාවේ ආයතන පද්ධතීන් – ඇගමික ආයතන පවා – නව දේශපාලන තත්වයක් යටතේ පාලනාධිකාරයක් පත්වූ විට තමා සමග අදාළ ස්ථානයේ වැඩ කිරීමට විශ්වාසවන්ත සගයන් තමා අසලට ගැනීම සාමාන්‍ය තත්වයකි. එය අසාධාරණද නැත. එහෙත් කිසිදු විටෙක සිටින සේවකයින් බලහත්කාරයෙන් රැකියාවෙන් නෙරපීම, ඊට අදාළ අසත්‍ය කරුණු ප්‍රකාශ කිරීම නීතිගරුක සහ යුත්තිගරුක දක්ෂ පරිපාලකයෙකුගේ ක්‍රියාවක් නොවේ. සහ ඊට අදාළව කිසිදු නෛතික බලයක්ද ඔහුට නැත.
පූජාභූමිය තුළ හිස ඔසවන අනීතික ප්රවණතා
වත්මන් බස්නායක නිලමේගේ මෙම භාෂාව, හැසිරීම සහ පරිපාලන ප්‍රවේශය මෙරට දේශපාලන හා කම්කරු ඉතිහාසය දන්නා ඕනෑම පුරවැසියෙකුට අනිවාර්යයෙන්ම සිහිගන්වන්නේ අඳුරු ජේ. ආර්. ජයවර්ධන යුගයයි. 1977න් පසු මෙරට ගොඩනැඟුණු ජේ. ආර්. යුගය ඉතිහාසයට එක්ව ඇත්තේ, නීතියේ ආධිපත්‍යයට වඩා තනි පුද්ගල විධායක අධිකාරිවාදය ඉහළින් තැබූ, ගැහැනියෙකු පිරිමියෙකු කිරීමත් පිරිමියෙකු ගැහැනියෙකු කිරීමත් හැර අන් ඕනෑම දෙයක් තමන්ට කළ හැකිය යන උද්දච්ච මානසිකත්වය ආයතනගත කළ යුගයක් ලෙසිනි. 1980 ජූලි වර්ජනයේදී කිසිදු විනය පරීක්ෂණයකින් තොරව දහස් සංඛ්‍යාත ස්ථිර සේවකයින් එක රැයින් මහපාරට ඇද දැමීමත්, පෙර පාලනයන් යටතේ රැකියා ලැබූවන්ගෙන් දේශපාලන පළිගැනීම් සිදු කිරීමත්, අධිකරණ හා කම්කරු නීති ගණනකට නොගෙන “නඩු බැරිනම් ඕන ලබ්බක් කරපන්” පන්නයේ බලහත්කාරයක් වැඩ කරන ජනතාව මත පැටවීමත් එම යුගයේ ප්‍රධාන ලක්ෂණ විය.
කතරගම දේවාලයේ ගබඩා පාලක තනතුරේ සිටි ප්‍රදීප් කුමාරට අත්ව ඇති ඉරණම තුළ දක්නට ලැබෙන්නේද එම ජේ. ආර්. යුගයේ පළිගැනීමේ සහ බලහත්කාරයේම 2026 නව ප්‍රතිනිර්මාණයකි.
පෙර සිටි පාලකයාගේ සමයේ පත්වීම් ලැබූ නිසාම සේවකයෙකු සැකයට හා වෛරයට ලක් කිරීම, නිල ලේඛන පවා විකෘති කරමින් ව්‍යාජ චෝදනා ගෙතීම, සාමාන්‍ය වැඩ කරන මිනිසෙකු “පොඩි මිනිහෙක්” ලෙස පාගා දැමීම සහ “මේකේ පරිපාලනය සියල්ලම මටයි තියෙන්නේ” යැයි කියමින් ආයතනික නීතිරීති අභිබවා යෑම ප්රජාතන්ත්රවාදී සමාජයක කිසිසේත් ඉවසිය නොහැකි අධිකාරිවාදී ප්රවණතාවකි. අද එය කතරගම දේවාලය වැනි ජනතා ගෞරවයට පාත්‍ර වූ පූජනීය ස්ථානයක් ඇතුළත සිදුවීම වඩාත් බරපතළ ඛේදවාචකයකි.
බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සහ කම්කරු කොමසාරිස් ජනරාල් ඇතුළු වගකිවයුතු රාජ්‍ය ආයතන මේ මොහොතේ මුනිවත රකින්නේ නම්, ඉන් සමාජයට යන පණිවිඩය අතිශය භයානකය. ස්ථිර සේවකයෙකුගේ රැකියා සුරක්ෂිතභාවය ආරක්ෂා කිරීමත්, 1931 බෞද්ධ විහාර දේවාලගම් ආඥාපනත සහ ආයතන සංග්‍රහය තුළ පිහිටා දේවාල පරිපාලනය විනිවිදභාවයට ගෙන ඒමත් තවදුරටත් ප්‍රමාද කළ නොහැකිය. මන්දයත්, නීතියට ඉහළින් සිටින බව සිතන කුඩා ප්‍රමාණයේ ආඥාදායකයින්ට පූජාභූමි පවා යටත් වීමට ඉඩ හැරියහොත්, අවසානයේ විනාශ වන්නේ එක් සේවකයෙකුගේ ජීවනෝපාය පමණක් නොව, සමස්ත නීතියේ ආධිපත්‍යය සහ ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලය කෙරෙහි පවතින ජනතා විශ්වාසයයි.
Source: slleader.lk නිරෝමි සුබ්‍රමනියම්



