Latest Posts

බිළිඳු කළල, සියදිවි නසාගැනීම් සහ යටගැසූ පරීක්ෂණ: ‘Lyceum’ පාසල් ජාලයේ අඳුරු පැතිකඩ මෙන්න!

ළමා හා කාන්තා කටයුතු අමාත්‍යවරයාට දරුවන්ගේ ජීවිත වැදගත් වන්නේ තෝරා බේරාගෙනද?

මෑතකදී මාස දෙකක් වයසැති සිය බිළිඳා සමඟ ගුහාවක ජීවත් වූ 15 හැවිරිදි දැරියක් පිළිබඳව ළමා හා කාන්තා කටයුතු අමාත්‍යවරයා දැක්වූ කඩිනම් අවධානය මෙන්ම ඒ සම්බන්ධයෙන් පළකළ කම්පනය සමාජයේ පැසසුමට ලක්විය. එහෙත්, මෙම ක්‍රියාදාමය හමුවේ අපට මඟහැරිය නොහැකි අපහසු ප්‍රශ්නයක් මතු වේ. එනම්, රටේ ප්‍රබල පෙළේ ජාත්‍යන්තර පාසල් ජාලයක් වන ‘ලයිසියම්’ (Lyceum International School) තුළ දරුවන්ගේ ජීවිත හා සුරක්ෂිතභාවය සම්බන්ධව අඛණ්ඩව සිදුවන බරපතළ හා කම්පනකාරී සිදුවීම් මාලාව අමාත්‍යවරයාගේ ප්‍රසිද්ධ අවධානයට ලක් නොවන්නේ මන්ද යන්නයි.

විමර්ශනාත්මක මාධ්‍යවේදනයක් ලෙස ‘හරි දේශය’ අප මේ පිළිබඳව සිදුකළ නිරීක්ෂණවලදී අනාවරණය වූයේ දරුවන්ගේ ආරක්ෂාව දැඩි අවදානමකට ලක් කළ ඛේදවාචක කිහිපයක්ම පසුගිය කාලය පුරාවට ලයිසියම් පාසල් ජාලය ආශ්‍රිතව වාර්තා වී ඇති බවයි.

ජීවිතය අත්හැරීමට තීරණය කරන සිසු දරුවෝ

පාසලක් යනු දරුවෙකුට වඩාත් සුරක්ෂිතම ස්ථානය විය යුතු වුවත්, ලයිසියම් සිසුන් සියදිවි නසාගැනීමට තැත් කිරීමේ අවස්ථා කිහිපයක්ම වාර්තා වී ඇත. 2026 පෙබරවාරි 07 වන දින වාර්තා වූ පරිදි, පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසලේ 9 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ 14 හැවිරිදි සිසුවෙකු ගුරුවරුන්ගේ අවවාද නොතකා පාසල් ගොඩනැගිල්ලේ තෙවන මහලෙන් පැනීම හේතුවෙන් බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබුණි.

මීට පෙර 2025 ජනවාරි මාසයේදී, වත්තල ලයිසියම් පාසලේ 8 වන ශ්‍රේණියේ දැරියක් පාසල් ගොඩනැගිල්ලේ පස්වන මහලෙන් බිමට වැටී කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබුවාය. පහළ මහලේ වූ ෆයිබර් වහලයක් මතට වැටීම නිසා ඇයගේ ජීවිතය බේරී තිබුණු අතර, ඇය පස්වන මහලෙන් පනින්නට ඇති බවට විමර්ශනය කරන පොලිසියේ මූලික වාර්තා මඟින් සැක කර තිබුණි.

ගම්පහ ලයිසියම් පාසලෙන් හමුවූ කළලය සහ පරීක්ෂණවලට බාධා කිරීම

ඊටත් වඩා කම්පනකාරී සිදුවීමක් ගම්පහ ලයිසියම් ජාත්‍යන්තර පාසලෙන් වාර්තා විය. එහි සිසුවියන්ගේ වැසිකිළි පද්ධතිය තුළ තිබී නොමේරූ බිළිඳු කළලයක් හමුවිය. මෙම සිදුවීම සම්බන්ධයෙන් බේම්මුල්ල පොලිසිය සහ ගම්පහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කළද, ඊට අදාළ ඉදිරි විමර්ශන කටයුතු සඳහා පාසලෙන් ප්‍රමාණවත් සහයෝගයක් නොලැබෙන තත්ත්වයක් උද්ගත වූ බව මාධ්‍ය වාර්තා කළේය. ඒ හේතුවෙන්, අදාළ සිසුවියන් වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීම සඳහා අධිකරණයට කරුණු වාර්තා කර අධිකරණ නියෝගයක් ලබාගැනීමට පවා විමර්ශන අංශවල අවධානය යොමුවී තිබුණි. නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට සහය නොදීම හරහා ආයතනයක් උත්සාහ කරන්නේ කුමක් වසන් කිරීමටද?

දේශපාලන බලය සහ වගවීම

ලයිසියම් ජාත්‍යන්තර පාසල යනු හිටපු අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු මහතාට සම්බන්ධ ආයතනයකි. දරුවන්ගේ සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් මෙතරම් බරපතළ සිදුවීම් මාලාවක් වාර්තා වෙද්දීත්, ළමා කටයුතු අමාත්‍යාංශය මෙම සිදුවීම් නිසි පරිදි විමර්ශනය කර ඇත්ද? වගවීම තහවුරු කිරීමට ගෙන ඇති පියවර මොනවාද? ඔහුගේ දේශපාලන පසුබිම සහ ආයතනික බලපෑම හේතුවෙන්, මේ පිළිබඳ විනිවිදභාවයෙන් යුත් ස්වාධීන විමර්ශනයක් සිදු කිරීම වඩාත් අත්‍යවශ්‍ය වේ. දේශපාලන සබඳතා, මූල්‍ය බලය හෝ ආයතනික බලපෑම කිසිවිටෙකත් කිසිවෙකු වගවීමෙන් ආරක්ෂා කරන පලිහක් නොවිය යුතුය.

ළමා ආරක්ෂාව යනු තෝරා බේරාගෙන සිදු කළ හැකි දෙයක් නොවේ. අදාළ ආයතනය, පවුල් පසුබිම හෝ දේශපාලන සබඳතා කුමක් වුවත්, සෑම දරුවෙකුගේම ජීවිතය එකසේ වටී. සත්‍යය, නිරවද්‍යතාවය සහ මහජන යහපත වෙනුවෙන් කැපවූ ස්වාධීන ගවේෂණාත්මක පුවත්පත් කලා වේදිකාවක් ලෙස, බලවත් පුද්ගලයන් හෝ ආයතන ආරක්ෂා කිරීම වෙනුවෙන් අපේ දරුවන්ගේ ජීවිත, ආරක්ෂාව සහ අනාගතය කිසිවිටෙකත් පාවා නොදිය යුතු බව ‘හරි දේශය’ තරයේ අවධාරණය කරයි. අදාළ බලධාරීන් මේ පිළිබඳව වහාම පියවර ගෙන මහජනතාවට සත්‍යය හෙළිදරව් කළ යුතුව ඇත.

Latest Posts

spot_imgspot_img