Friday, December 19, 2025
spot_img

Latest Posts

කොළඹ ප්‍රධාන ව්‍යාපාරිකයින් මාලිමාව ආරක්ෂා කරන්නේ ඇයි…?

වර්තමාන මාලිමා රජයේ ක්‍රියාපටිපාටිය සහ විපක්ෂයේ ප්‍රධාන ආර්ථික විශේෂඥයෙකු වන ආචාර්ය හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයාගේ හැසිරීම හා ක්‍රියාකලාපය පිළිබඳව බරපතල සැකයන් සහ ආන්දෝලනාත්මක චෝදනා මතු වෙමින් තිබේ. ශ්‍රී ලංකාවේ ප්‍රධාන ව්‍යාපාරික පන්තිය සහ පාලන තන්ත්‍රය අතර පවතින සබඳතා පිළිබඳව මෙම සැකයන් මූලික වශයෙන් අවධානය යොමු කරයි. සචින් රත්වත්තේ යන නමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන පහත සටහන, මෙම සැකයන්හි සාරාංශයක් ලෙස වැදගත් වේ. එම සටහන මගින් වත්මන් රජය, පූර්ව පාලකයන්ට වඩා වෙනස් අයුරින්, ප්‍රධාන ව්‍යාපාරිකයන්ට ‘අයියලා, මල්ලිලා සහ මචන්ලා’ ලෙස සලකමින්, ඩොලර් පාර්ක් කිරීම වැනි ‘ජාවාරම්’ සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන බවටත්, හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා එම ව්‍යාපාරිකයන්ගේ අවශ්‍යතා වෙනුවෙන් ආණ්ඩුව ආරක්ෂා කරමින්, ගනුදෙනු වල තැරැව්කරුවෙකු ලෙස ක්‍රියාකරන බවටත් සෘජු චෝදනා එල්ල කරයි. මෙම චෝදනා, රටේ දේශපාලන විනිවිදභාවය, විපක්ෂයේ කාර්යභාරයේ ස්වාධීනත්වය සහ ආණ්ඩුවේ ප්‍රතිපත්ති සම්පාදනය පිටුපස ඇති සැබෑ බලවේගයන් පිළිබඳව පුළුල් විමර්ශනයක් ඉල්ලා සිටී.

කොළඹ ප්‍රධාන ව්‍යාපාරිකයින් මාලිමාව ආරක්ෂා කරන්නේ ඇයි…? – (සචින් රත්වත්තේ)

මම හිතන්නේ මෙය තවදුරටත් සැඟවිය යුතු කාරණයක් නොවෙයි. සතුරා ගේ සතුරා අපේ මිත්‍රයෙක් කියලා කතාවක් තියෙනවා. ඒ වගේ ප්‍රසිද්ධ නොවුනත් තවත් විශ්වීය න්‍යායක් තියෙනවා. එනම් ‘මිතුරා ගේ මිතුරා අපේ මිත්‍රයා.’ එයත් විශ්වීය සත්‍යයක්. සාමාන්‍යයෙන් ලෝකයේ මිත්‍ර කල්ලි ගොඩනැගෙන්නේ ඔය න්‍යායෙන්.

අයියලා, මල්ලිලා සහ  මචන්ලා...

මේ මොහොතේ හර්ෂ ඩි සිල්වාගේ හැසිරීම විශ්ලේෂණය කළ හැකි හොඳම න්‍යායත් ඒක. දැන් කොළඹ ප්‍රධාන ව්‍යාපාරිකයින් සියලූ ම දෙනා මාලිමා ආණ්ඩුව ආරක්ෂා කරනවා. ඔවුන් දැඩිව මාලිමාව වෙනුවෙන් පෙනී ඉන්නවා. ඇයි…? මෙතරම් ව්‍යාපාරික පන්තියට යටත් වූ, ඔවුන්ට නිදහසේ ජාවාරම් කිරීමට ඉඩ දුන්නු රජයක් තවත් නැහැ.

අතීත පාලකයන් වූ මහින්ද ලා, රනිල් ලා, ගෝඨාභය ලා සහ අවම වශයෙන් මෛත්‍රීපාලට පවා මේ ව්‍යාපාරිකයන් ආමන්ත්‍රණය කළේ ‘සර්’ කියලා. ව්‍යාපාරිකයින් ඒ පාලකයන්ට යටත්ව සිටියා. ව්‍යාපාරිකයන් පාලකයින්ට බය වුණා. පාලකයො ඔවුන්ගේ සාක්කුවේ හිටියේ නැහැ. නමුත් මාලිමා රජය වෙනස්. මාලිමා රජයේ: අනුර, ටිල්වින් සහ ඇමතිවරුන් ව්‍යාපාරිකයන්ට එක්කො ‘අයියාලා’, එක්කෝ ‘මල්ලිලා’,  එක්කො ‘මචන් ලා’ වෙලා. මේ ව්‍යාපාරිකයන් පෙර නොවූ විරු අයුරින් ඉතාම නිදහසේ, රාජ්‍ය අනුග්‍රහයෙන් තමන්ගේ ජාවාරම් කරමින් ඉන්නවා. විශේෂයෙන්ම ‘ඩොලර් පාර්ක්’ කිරීමේ ජාවාරමට අද රාජ්‍ය අනුග්‍රහය හිමියි.

කොටස් වෙළඳපොළ ව්‍යාපාරිකයින්ගේ ප්‍රධාන ඉල්ලීම

අක්බාර් සහෝදරයන්ගේ සිට: මාස්ලා, බ්‍රැන්ඩික්ස්ලා, ඩිල්මාලා නිදහසේ මෙරට අපනයන ආදායම් සිංගප්පූරුවේ හෝ ඩුබායි රාජ්‍යයේ ව්‍යාපාරවල තැන්පත් කරනවා. ගෝඨා ඊට දැඩිව විරුද්ධව කටයුතු කළා; රනිල් පවා එයට විරුද්ධ වුණා. නමුත් අද නිදහසේ ප්‍රමුඛ අපනයනකරුවන් සියලූම දෙනා ඩොලර් පාර්ක් කරනවා; අද ආණ්ඩුව එයට විරුද්ධ වන්නේ නැහැ.

අද ලීසිං, මයික්‍රෝ ෆයිනෑන්ස් ව්‍යාපාරිකයින් රාජ්‍ය අනුග්‍රහයෙන් ආරක්ෂා කරනවා. රජයේ සෑම නීතියක් ම, රෙගුලාසියක් ම සම්මත වන්නේ ඔවුන් ආරක්ෂා කිරීමට මිස ජනතාව ආරක්ෂා කිරීමට නොවෙයි.

ජාවාරම්කරුවන්ට නිදහස දුන් හේතු

ස්ථාවර තැන්පතුවලට බදු පැනවීම කොටස් වෙළඳපොළ ව්‍යාපාරිකයින්ගේ ප්‍රධාන ඉල්ලීමක්. ජනතාව ස්ථාවර තැන්පතුවලට වඩා කොටස් වෙළදපොළට පැමිණීම ඔවුන්ගේ අවශ්‍යතාවක්. එය ඉටු කළේ මාලිමා රජය. සෑම ජාවාරම්කරුවකුට ම නිදහසේ සිය ජාවාරම් කරගෙන යෑමට රජය උපරිම නිදහස ලබා දීලා තියෙනවා. එයට හේතු තුනක් තියෙනවා. මේ ආණ්ඩුව ඉන්නේ ජාවාරම්කාර ව්‍යාපාරිකයන්ගේ සාක්කුවේ.

අනුරට, ටිල්වින්ට මුදල් දෙන්නේ ඔවුන්. නිල නිවාස නැති ආණ්ඩුවේ ඇමතිලාට ගෙවල්, අපාර්ට්මන්ට් පවා අරන් දීලා තියෙන්නේ මේ ව්‍යාපාරිකයො. අද හැම කැබිනට් ඇමතිවරයෙකුම ඉන්නේ ව්‍යාපාරිකයන් ලබා දුන්නු ගෙවල්වල.

දෙවැන්න මාලිමා ආණ්ඩුවේ නොදන්නාකම. ඔවුන් ව්‍යාපාරිකයන් ලබා දෙන ඕනෑම ඇමක් ගිලිනවා. ඔවුන් රාජ්‍ය පාලනය නොදන්නා නිසා මේ ව්‍යාපාරිකයින් තමන්ට රාජ්‍ය පාලනයට ‘උදව්’ කරනවා කියලා ඔවුන් විශ්වාස කරනවා.

තෙවැන්න මාලිමා ආණ්ඩුවේ ජනාධිපතිගේ සිට සියලූම දෙනා ෆුල් සූට් ඇදලා, ඉංග්‍රීසි කතා කරන අයට බයයි. ඔවුන් ඉදිරියේ හැසිරෙන්නේ බයාදු, හීනමානයකින්. ඒක කුමන තනතුරකට පත් වුනත් නැතිවෙන්නේ නැති හීනමානයක්; ඔවුන්ගේ පසුබිම ගැන ඇති වූ ලැජ්ජාව නිසා ඇති වූ හීනමානයක්. කොළඹ කාන්තාවන්ගෙන් හරහා ඔවුන් උත්සාහ කරන්නේ මේ හීනමානය පුරවාගැනීමටයි. මේ කරුණු තුන නිසා මේ කොළඹ සුපිරි ව්‍යාපාරික පන්තියේ රූකඩ ආණ්ඩුවක්.

හර්ෂ, ව්‍යාපාරික පන්තියට අතිශය වැදගත් ඇයි...?

හර්ෂ ඩි සිල්වා සම්බන්ධ වෙන්නේ මෙතන දී. හර්ෂ ඉංග්‍රීසිවලට බයත් නෑ. ෆුල් සූට් එකට බයත් නෑ. හර්ෂ බිස්නස්කාරයොන්ට බයත් නෑ. හැබැයි හර්ෂගේ දේශපාලනයට සම්පූර්ණයෙන් ම ෆන්ඩ් කරන්නේ ප්‍රධාන ව්‍යාපාරිකයො. මේ ව්‍යාපාරිකයින් හර්ෂ අනාගතයේ මුදල් ඇමතිවරයෙක් හෝ සමාන පුද්ගලයෙක් බව හඳුනාගෙන තිබෙනවා. හර්ෂගේ එක් වචනයකින් මාකට් එක/බැංකු පද්ධතියේ ස්ථාවරත්වය එහා මෙහා කළ හැකි යි. හර්ෂගේ එක් වචනයකින් එක්කො කොටස් වෙළඳපොල කඩා වැට්ටිය හැකි යි. එක්කො ඉස්සිය හැකි යි.

එම නිසා හර්ෂ ව්‍යාපාරික පන්තියට අතිශය වැදගත්. එම නිසා කොළඹ කොටස් වෙළඳපොල, අපනයන සහ බැංකු සහ ෆයිනෑන්ස් ක්ෂේත්‍රවල ව්‍යාපාරිකයින් හර්ෂට මුදල් ලබා දෙනවා. හර්ෂ නඩත්තු කරනවා. හර්ෂ කියන ඇතැම් කතාවල පසුපස ඉන්නේ මේ ව්‍යාපාරිකයො. ඔවුන්ට අවශ්‍ය කතා හර්ෂ පාර්ලිමේන්තුවේ හෝ මාධ්‍යයේ කියනවා. ඉතින් හර්ෂ සහ ආණ්ඩුව අතර ඩීල් එක දම්මන්නේ මේ ව්‍යාපාරිකයො. හර්ෂ ආණ්ඩුවට මෙල්ල කරලා, ආණ්ඩුවේ පොකට් එකට දාලා දෙන්නේ මේ ව්‍යාපාරිකයො.

මිතුරා ගේ මිතුරා තමන් ගේ ද මිතුරෙක්

හර්ෂ ඩි සිල්වාගේ ආර්ථික විද්‍යා දැනුම, උපාධිය ගැන අපට වෙනම සංවාදයක් ගොඩනැගිය හැකියි. ඔහු පෙන්වන තරම් දක්ෂයෙක් නොවෙයි. එය අනාගතයේ දී අපට දැකගත හැකි වේවි. නමුත් හර්ෂ මෙතරම් අසාර්ථක, ප්‍රාග්ධන වියදම් සම්පූර්ණයෙන් ම අපතේ යැවූ, ආර්ථික වර්ධන වේගය කඩා වැට්ට වූ, මුදල් චක්‍රය නතර කළ ආණ්ඩුවක් ජනතාවට තේරෙන භාෂාවෙන් වර්ණනා කරන්නේ ඒ ඩීල් එක නිසා. මෙරට ජනතාව ආර්ථික විද්‍යාවේ මූලික සංකල්ප සම්බන්ධයෙන් පවා සාක්ෂරතාවය අඩුයි.

හර්ෂ ගේ සහ අනුර ගේ පොදු මචන්ලා

ප්‍රාග්ධන වියදම් ‘ඉතිරි වීම’ ඔවුන්ට අනුව යහපත් තත්ත්වයක්. නමුත් ‘භාණ්ඩාගාරය පිරිලා ඉතිරිලා’ කිව්වම අතීත රජ කාලයක කතාවක් වගේ ඔවුන්ට චිත්‍රරූප මැවෙනවා. මිනිස්සු දන්න ආර්ථික විද්‍යාව ඒක. රජතුමාට භාණ්ඩාගාරයක් තිබුණා. ඒක පිරිලා නම් රට සරුසාරයි. ඒක හිස් නම් රජු ෆේල්. ජනතාව දන්න ආර්ථික විද්‍යාව ඔච්චරයි. හර්ෂ කතා කළේ එතනට. එතන දී හර්ෂ ආණ්ඩුවේ අධික ණය අමතක කළා. ආර්ථිකය නවත්තා තිබෙන බදු අමතක කළා. ඒ වගේම හර්ෂ තමන්ගේ පක්ෂයේ නායකයා ප්‍රසිද්ධ මාධ්‍යයේ විවේචනය කරන්නේත්, ඔහුගේ විදෙස් සංචාරයක් දෙකේ කොළයට දාන්නේත් මේ ඩීල් එක නිසා.


හර්ෂගේ කරට අත දාලා අනුර 'මචන්' කියලා කතා කරන්නේ, හර්ෂට සහ අනුරට පොදු වෙනත් 'මචන්' ලා ඉන්න නිසා. හර්ෂ මුදල් සම්බන්ධ පාර්ලිමේන්තු කමිටු වල සභාපති වීම ඔහුගේ පැවැත්මට අතිශය වැදගත්. අනුර කිසිදු චකිතයක් නොමැතිව හර්ෂට එම තනතුරු දී තිබෙන්නේත් මේ 'මිත්‍රත්වය' නිසා. හර්ෂ පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුනක වාඩි වෙලා හිටියට හර්ෂ ඉන්නේ ආණ්ඩුවේ. ඒ ගණුදෙනුවේ බ්‍රෝකර්ලා තමයි කොළඹ බිලියනපති ව්‍යාපාරික පන්තිය.

(Sachin Rathwatte)

Latest Posts

spot_imgspot_img