Friday, December 19, 2025
spot_img

Latest Posts

රනිල් ගේ නඩුව: CID කණ්ඩායමක් එක්සත් රාජධානියට!

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට වුල්වරහැම්ප්ටන් විශ්වවිද්‍යාලයෙන් (Wolverhampton University) යැවූ බව කියන ආරාධනා පත්‍රයේ සත්‍යතාව විමර්ශනය කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරීන් පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් එක්සත් රාජධානිය බලා පිටත්ව ගොස් ඇති බවත්, එම සංචාරය නීතිපතිවරයාගේ උපදෙස් හෝ දැනුම්දීමකින් තොරව සිදු වී ඇති බවත් වාර්තා වේ.

මෙම පරීක්ෂණය සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව සම්පූර්ණයෙන්ම අඳුරේ තබා ඇති බව පැවසේ. එසේම CIDයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් කණ්ඩායම පිටත්වීමට පෙර නීතිපති දෙපාර්තමේන්තුවෙන් කිසිදු උපදෙස් පතා නොමැති බවද සඳහන් වේ.

නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු (DIG) ප්‍රධානත්වයෙන් යුත් මෙම කණ්ඩායමට සහකාර පොලිස් අධිකාරීවරයෙකු (ASP), ප්‍රධාන පරීක්ෂකවරයෙකු (CI) සහ කනිෂ්ඨ නිලධාරීන් දෙදෙනෙකු ඇතුළත් වන අතර, ඔවුන් දින පහක සංචාරයක් සඳහා මේ සතිය මුලදී එක්සත් රාජධානිය බලා ගොස් ඇත. නීතිපති දෙපාර්තමේන්තු ආරංචි මාර්ග හෙළි කරන්නේ, නීතිපති පරින්ද රණසිංහ, අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් සහ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා ඇතුළු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨතම මට්ටමේ නිලධාරීන් පවා CID කණ්ඩායමක් එක්සත් රාජධානියට යැවීම ගැන දැනුවත් නොවූ බවයි. නීතිපති දෙපාර්තමේන්තුවට දැනුම්දීමකින් තොරව CIDය විසින් ස්වාධීනව මෙම කණ්ඩායම යැවීමට තීරණය කර ඇති බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම CID කණ්ඩායම විසින් හිටපු ශ්‍රී ලංකා එක්සත් රාජධානියේ මහ කොමසාරිස්වරිය වූ සරෝජා සිරිසේන මහත්මියගෙන් හෙට(17) දින ප්‍රකාශයක් සටහන් කර ගැනීමට නියමිතය. 2023 සැප්තැම්බර් මාසයේදී වික්‍රමසිංහ මහතා එවකට ජනාධිපති වශයෙන් සිටියදී, තම බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියට වුල්වරහැම්ප්ටන් විශ්වවිද්‍යාලයේදී ගෞරව මහාචාර්ය පදවියක් පිරිනැමීමේ උත්සවයට සහභාගී වීමට එරට සංචාරය කළ අවස්ථාවේදී සිරිසේන මහත්මිය මහ කොමසාරිස් තනතුර දැරුවාය.

තවමත් එක්සත් රාජධානියේ පදිංචිව සිටින සිරිසේන මහත්මියගෙන් ප්‍රකාශය ලබාගැනීම සඳහා ලන්ඩන් නුවර පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට පැමිණෙන ලෙස දැනුම් දී තිබේ. මෙම දෙදින සංචාරය පෞද්ගලික සංචාරයක් බව පවසමින්, ඒ සඳහා මහජන මුදල් රුපියල් මිලියන 16.6ක් අවභාවිත කළ බවට වික්‍රමසිංහ මහතාට චෝදනා එල්ල වී ඇති අතර, ඒ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව අගෝස්තු මාසයේදී CIDය විසින් නඩු පවරා, ඔහු අත්අඩංගුවට ගෙන කෙටි කලකට රිමාන්ඩ් භාරයේ තබා ඇප මත මුදා හරින ලදී.

Latest Posts

spot_imgspot_img