කොළඹ වරාය නගරය (Port City) යනු මෙරට සාමාන්‍ය ජනතාවට අදාළ වන නීතිය සහ මූල්‍ය විනය කිසිවක් වලංගු නොවන ‘වෙනමම රාජ්‍යයක්ද’ යන බරපතළ ප්‍රශ්නය මේ වන විට යළිත් කරළියට පැමිණ තිබේ. ඊට හේතුවී ඇත්තේ වරාය නගර ආර්ථික කොමිසම (CPCEC) තුළ රාජ්‍ය පරිපාලන නීති රීති සහ බඳවා ගැනීමේ පටිපාටි අමු අමුවේ උල්ලංඝනය කරමින් සිදුකර ඇති අත්තනෝමතික පත්වීම් මාලාවයි.


මෙම මගඩියේ කේන්ද්‍රස්ථානය වී ඇත්තේ කොමිසමේ අතිශය තීරණාත්මක තනතුරක් වන ‘වාණිජ හා මෙහෙයුම් අධ්‍යක්ෂ’ (Director – Commercial & Operations) ධුරයට රධිකා ඔබේසේකර නමැත්තිය පත්කිරීම සහ ඇය වටා ගෙතී ඇති නීතිවිරෝධී වරප්‍රසාද ජාලයයි.
MBA සුදුසුකම කුණු කූඩයට: ඩිප්ලෝමාධාරිනියකට සුපිරි පුටුවක්!
වරාය නගර කොමිසම විසින්ම ප්‍රසිද්ධ කළ නිල බඳවා ගැනීමේ පටිපාටියට අනුව, වාණිජ හා මෙහෙයුම් අධ්‍යක්ෂ ධුරය සඳහා වන මූලික සුදුසුකම් මෙසේය:
- ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධියක් (MBA) හෝ ඊට සමාන පිළිගත් උසස් අධ්‍යාපන සුදුසුකමක් තිබීම.
- දැවැන්ත වාණිජ ක්ෂේත්‍රයක ඉහළම කළමනාකාරීත්ව (Senior Management) මට්ටමේ සනාථ කළ හැකි දීර්ඝකාලීන පළපුරුද්දක් පැවතීම.
එහෙත්, මෙම ඉහළ වගකීම් සහිත පුටුවේ වාඩි කරවා සිටින රධිකා ඔබේසේකර සතුව ඇති සැබෑ සුදුසුකම් මොනවාද?
ඇය සතුව ඇත්තේ ලන්ඩන් විශ්වවිද්‍යාලයේ සාමාන්‍ය නීතිවේදී (LLB) මූලික උපාධියක් සහ අලෙවිකරණය (Marketing) පිළිබඳ ඩිප්ලෝමාවක් පමණි. වාණිජ ක්ෂේත්‍රයේ කළමනාකාරීත්ව සුදුසුකම ලෙස ඇය ඉදිරිපත් කරන්නේ හුදු අලෙවිකරණ ඩිප්ලෝමාවක් පමණක් නම්, කොමිසම විසින් අනිවාර්ය කර තිබූ පශ්චාත් උපාධි MBA සුදුසුකම ඇයට අදාළ නොවූයේ කෙසේද?

ලෝකයේ ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර ආයෝජකයන් සමඟ ගනුදෙනු කිරීමට, දැවැන්ත වාණිජ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ඉහළ කළමනාකාරීත්ව පළපුරුද්දක් නැති, සාමාන්‍ය ඩිප්ලෝමා මට්ටමේ දැනුමක් ඇති අයකු මෙවන් ඉහළම පුටුවකට ඔසවා තැබුවේ කවර බලවතකුගේ වුවමනාවටද?
නීති අධ්‍යක්ෂ ධුරයත් අත යටට: එක ගලෙන් කුරුල්ලන් දෙදෙනා බිම හෙළීම

මෙහි ඇති භයානකම තත්ත්වය වන්නේ, සුදුසුකම් නොමැතිව වාණිජ අධ්‍යක්ෂ ධුරයට පත්වූ ඇයටම වරාය නගරයේ ‘නීති අධ්‍යක්ෂ’ ධුරයේ සියලු බලතලද පවරා දීමයි.
කොමිසමේ වාණිජ අධ්‍යක්ෂ සහ නීති අධ්‍යක්ෂ යන තනතුරු දෙකටම එකවර අයදුම්පත් කැඳවා තිබියදීත්, නීති අධ්‍යක්ෂ තනතුර සඳහා කිසිවකු බඳවා නොගෙන වසර දෙකකට ආසන්න කාලයක් පුරප්පාඩුව තබාගැනීමට බලධාරීන් කටයුතු කළේය. මීට පෙර එම ධුරය දැරූ වින්ද්‍යා වීරසේකර මහත්මිය වසර 26ක ජ්‍යෙෂ්ඨ නීති පළපුරුද්දක් සහ ජාත්‍යන්තර වෙළෙඳ නීතිය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් සහිත ප්‍රවීණයෙකි.
එවන් විෂය ප්‍රවීණයකු දැරූ පුටුවකට, වාණිජ නීතිය, ඉඩම් හා දේපළ නීතිය හෝ ජාත්‍යන්තර බේරුම්කරණය පිළිබඳ දශකයකවත් ජ්‍යෙෂ්ඨ පළපුරුද්දක් නැති, පරිපාලන නිලධාරිනියක ලෙස පමණක් කටයුතු කළ රධිකා ඔබේසේකරව පත්කළේ කුමන පදනමකින්ද?
නීතිඥවරියක වූ පමණින්ම මෙවන් සංකීර්ණ ජාත්‍යන්තර නගරයක නීති සම්පාදනය කළ නොහැකි බව ඕනෑම සාමාන්‍ය පුරවැසියකුට පවා තේරුම් ගත හැකිය. එසේ තිබියදීත් ඇයටම නීති අංශයේ බලතල පැවරීම පිටුපස ඇත්තේ පැහැදිලි කුමන්ත්‍රණයකි:
- වාණිජ තීරණ තමන් විසින්ම ගැනීම: වරාය නගරයේ ආයෝජන, ඉඩම් බදුදීම් සහ විකිණීම් පිළිබඳ තීරණ වාණිජ අංශය හරහා ඇය විසින්ම මෙහෙයවනු ලබයි.
- නීතිමය අනුමැතිය තමන් විසින්ම දීම: එම වාණිජ තීරණවල නීත්‍යානුකූලභාවය පරීක්ෂා කර බැලිය යුතු ස්වාධීන නීති අංශයද ඇය යටතේම පවතින බැවින්, තමන් ගන්නා තීරණ තමන් විසින්ම නීත්‍යානුකූල යැයි සහතික කරගනු ලබයි.
කළමනාකාරීත්වය ස්වාධීනව ප්‍රශ්න කළ යුතු නීති අංශය, කළමනාකාරීත්වයේ අතකොළුවක් බවට පත්කිරීම හරහා සිදුව ඇත්තේ පෝට් සිටිය තුළ ඕනෑම අත්තනෝමතික ගනුදෙනුවකට ‘නීතිමය මුද්‍රාව’ හිතුමතේ තබාගැනීමට අවස්ථාව සලසා ගැනීමයි.
පාර්ලිමේන්තුවෙන් වැටුප් හංගන ‘රහස් පාරාදීසය’
මෙම නීතිවිරෝධී පාලන ක්‍රමය පිළිබඳව විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාසමාණික්කම් පසුගියදා පාර්ලිමේන්තුවේදී දැඩි ප්‍රශ්න කිරීමක් සිදුකළේය. නිසි නීතිමය අධීක්ෂණයක් නොමැතිව මෙතරම් දැවැන්ත කොමිසමක් ගන්නා තීරණවල නීත්‍යානුකූලභාවය කුමක්දැයි ඔහු එහිදී සෘජුව විමසා සිටියේය.
එපමණක් නොව, මෙම නිලධාරීන් ලබන සුපිරි වැටුප් පිළිබඳව කළ විමසීම්වලදී, එක් එක් නිලධාරියාගේ තනි වැටුප් විස්තර ලබාදීම කොමිසම විසින් හිතාමතාම මඟහැර තිබුණි. ඒ වෙනුවට සමස්ත වැටුප් බිල පමණක් ඉදිරිපත් කර තොරතුරු වසන් කිරීමට කටයුතු කළේ කාගේ වුවමනාවටද? ජනතා පරමාධිපත්‍යය ක්‍රියාත්මක වන පාර්ලිමේන්තුවට පවා වැටුප් සහ වරප්‍රසාද හෙළි නොකර සිටීමට තරම් මේ නිලධාරීන් බලවත් වූයේ කාගේ ආශිර්වාදයෙන්ද?
රාජපක්ෂ න්‍යාය වත්මන් පාලකයන්ටත් හොඳ වුණේ ඇයි?
වරාය නගර ආර්ථික කොමිසම යනු රාජපක්ෂ පාලන සමයේදී කිසිදු වගවීමකින් තොරව, තමන්ගේම හිතවතුන් ආරක්ෂා කරමින් කටයුතු කිරීමට නීතිය නමමින් නිර්මාණය කරන ලද අත්තනෝමතික ව්‍යූහයකි.
එහෙත් සැබෑ ප්‍රශ්නය ඇත්තේ එතැන නොවේ; යහපාලනය, විනිවිදභාවය සහ පද්ධති වෙනසක් (System Change) ගැන වේදිකා දෙවනත් කළ වත්මන් පාලකයන්ද, රාජපක්ෂවරුන් හැදූ මේ දූෂිත සහ අත්තනෝමතික පාලන ක්‍රමය ඒ ආකාරයෙන්ම ආරක්ෂා කරන්නේ ඇයි?
- MBA ඉල්ලූ තනතුරට මාකටින් ඩිප්ලෝමාධාරීන් හිඳුවා නීති අංශයත් ඒ අතටම පවරා දීම වත්මන් ආණ්ඩුවේ ‘සුදුසුකම් මත පදනම් වූ’ පාලනයද?
- රාජ්‍ය විගණනයෙන්, තොරතුරු දැනගැනීමේ අයිතියෙන් සහ රටේ නීතියෙන් පලායන මෙවැනි අයට වැටුප් ගෙවමින් තවමත් නිහඬව සිටින්නේ තිරය පිටුපස සිදුවන කුමන ඩීල් එකක් නිසාද?
කොළඹ වරාය නගරය යනු ශ්‍රී ලංකාවේ භූමියට සහ නීතියට යටත් කලාපයක් නම්, වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම අනීතික පත්වීම් පිළිබඳ ස්වාධීන පරීක්ෂණයක් පවත්වා, කොමිසමේ පාලනය රටේ විගණනයට සහ නීතියට යටත් කළ යුතුය. එසේ නොමැතිව, මුවින් යහපාලනය දෙසමින් පෝට් සිටිය තුළ මෙවැනි අත්තනෝමතික පත්වීම් රැකීමට කටයුතු කරන්නේ නම්, කොළඹ වරාය නගරය යනු සැබැවින්ම ශ්‍රී ලංකාවේ නීතිය අදාළ නොවන වෙනම රාජ්‍යයක් බව ජනතාවට පිළිගැනීමට සිදුවනු ඇත.



