සරණ ගුප්තගේ නඩුවෙන් ‘ගේමක්’ ගහන්න ගිය මහාධිකරණයේ කා.කා.ස රිමාන්ඩ්!
අධිකරණ පද්ධතියේ ගෞරවය හා ස්වාධීනත්වය හෑල්ලුවට ලක්කරමින්, විනිසුරුවරුන්ගේ නාමයන් අවභාවිත කර අධිකරණ තීන්දු ලබාදෙන බව පවසමින් සිදුකරගෙන ගිය මහා පරිමාණ ජාවාරමක තීරණාත්මක තොරතුරු රැසක් අනාවරණය කරගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සමත්වී තිබේ.
කොළඹ අංක 11 මහාධිකරණයේ විභාග වන හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුප්ත ගුණවර්ධන මහතාට එරෙහි අල්ලස් නඩුවකදී, විනිසුරුවරයා ලවා අත්හිටවූ සිරදඬුවමක් ලබාදෙන බව පවසමින් රුපියල් ලක්ෂ 7 1/2 ක (750,000/-) මුදලක් අල්ලස් ලෙස ලබාගත් කොළඹ මහාධිකරණයේ කාර්යාල කාර්ය සහයකවරයා (කා.කා.ස) අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන ලබන 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (08) නියෝග කළේය.
“මගෙත් එක්ක නඩු ගැන කතා කරන්න ඔයාට පුළුවන්ද?” – විනිසුරු අසයි!
‘හරි දේශය’ වෙත හෙළිවන තොරතුරුවලට අනුව, මෙම සැකකාර කාර්යාල කාර්ය සහයකවරයා මහාධිකරණ විනිසුරුවරයාට දුරකථනයෙන් අමතා අදාළ නඩුව පිළිබඳව විමසීමක් කර තිබේ. එම අවස්ථාවේදී වහා ක්‍රියාත්මක වූ මහාධිකරණ විනිසුරුවරයා “මගෙත් එක්ක නඩු ගැන කතා කරන්න ඔයාට පුළුවන්ද?” යැයි සැකකරුගෙන් විමසා ඇත.
එහිදී සැකකරු පවසා ඇත්තේ මෙම කාරණය උසාවියේදී කතා කළ නොහැකි බවත්, හමුවී කතා කළ හැකි බවත්ය. පසුව විනිසුරුවරයාගේ ප්‍රතිචාරය මත අදාළ කාරණය සැකකරු විසින් දුරකථනයෙන්ම විනිසුරුවරයාට දැනුම් දී ඇති අතර, එම අවස්ථාවේම ක්‍රියාත්මක වූ විනිසුරුවරයා මේ පිළිබඳව අල්ලස් කොමිසමට පැමිණිලි කිරීමට කටයුතු කර තිබේ.
සරණ ගුණවර්ධනගේ බිරිඳගේ වට්ස්ඇප් මැසේජ් සහ රිසිට්පත් මාට්ටු
අත්අඩංගුවට ගත් සැකකරුගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී, හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාගේ බිරිඳ සමඟ වට්ස්ඇප් (WhatsApp) ඔස්සේ දීර්ඝ ලෙස සංවාද පවත්වා ඇති බව අනාවරණය වී ඇත. එමෙන්ම, සැකකරුගේ දුරකථන සංවාද සහ ගිණුම්ගත කිරීමේ රිසිට්පත් පරීක්ෂා කිරීමේදී, රුපියල් පනස් දහස (50,000/-) බැගින් වූ මුදල් වරින් වර ගිණුම්ගත කර ඇති බවටද විමර්ශන නිලධාරීන් විසින් කරුණු තහවුරු කරගෙන තිබේ.
මහේස්ත්‍රාත්ගෙන් ප්‍රශ්නයක්: “පොත් බැඳුම්කරු ධනුෂ්ක ගැන හෙව්වද?”
අද දින නඩුව කැඳවූ අවස්ථාවේදී ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පැමිණිල්ලෙන් විමසා සිටියේ, කියන ලක්ෂ 7.5 ක අල්ලස් මුදලින් රුපියල් ලක්ෂ පහක (500,000/-) මුදලක් දුන්නේ යැයි පැවසෙන මහාධිකරණයේ පොත් බැඳුම්කරුවකු වන ධනුෂ්ක නමැත්තා සම්බන්ධයෙන් විමර්ශන සිදු කළේද යන්නයි.
ඊට ප්‍රතිචාර දැක්වූ අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරීන් සඳහන් කළේ, අදාළ පොත් බැඳුම්කරු (ධනුෂ්ක) අල්ලස් කොමිසම හමුවට කැඳවා ඇති අතර, එම අවස්ථාව වන විටත් ඔහුගෙන් ප්‍රකාශ සටහන් කරගනිමින් පවතින බවයි. මීට අමතරව, සිද්ධියට සම්බන්ධ යැයි කියන අත්තනගල්ල රෙජිස්ට්‍රාර්වරයා සම්බන්ධයෙන්ද තවදුරටත් පුළුල් විමර්ශන සිදුකරන බව විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ වැඩිදුරටත් පැවසීය.
B වාර්තාව (CoL/MC/I/BR/89222/26/B) අනුව ප්‍රධාන තොරතුරු:
- පැමිණිලිකරු: කොළඹ අංක 11 මහාධිකරණ විනිසුරු රජන්ත ලෙකානන්ද ගොඩවෙල මහතා.
- ප්‍රධාන සැකකරු: කොළඹ මහාධිකරණයේ කාර්යාල කාර්ය සහයක (ආර්.වී. නිලය දරන).
- සම්බන්ධ අනෙක් පිරිස්: සරණ ගුණවර්ධනගේ බිරිඳ (WhatsApp සංවාද), මහාධිකරණ පොත් බැඳුම්කරු ධනුෂ්ක (ලක්ෂ 5ක් දුන් බව කියන), අත්තනගල්ල රෙජිස්ට්‍රාර්වරයා.
- අල්ලස් අත්තිකාරම්: වරින් වර රුපියල් 50,000 බැගින් ගිණුම්ගත කළ රිසිට්පත් සොයාගෙන ඇත.
‘හරි දේශය’ ගවේෂණාත්මක නිරීක්ෂණය
අධිකරණ පද්ධතිය තුළ පහළ ශ්‍රේණිවල සේවකයින්ගේ සිට රෙජිස්ට්‍රාර්වරුන් සහ පොත් බැඳුම්කරුවන් දක්වා විහිදී ගිය ජාලයක් මගින් විනිසුරුවරුන්ගේ නාමයන් විකුණමින් සිදුකරන මෙවැනි දූෂිත ජාවාරම් සමස්ත අධිකරණ පද්ධතියටම කළු පැල්ලමකි. නඩුවකට අදාළව විනිසුරුවරයාම වහා ක්‍රියාත්මක වී පැමිණිලි කිරීමත්, මහේස්ත්රාත්වරයාගේ දැඩි නිරීක්ෂණයත් හමුවේ මෙම අල්ලස් ජාලයේ තවත් තොරතුරු රැසක් ඉදිරියේදී හෙළිවීමට නියමිතය.



