රටේ ජාතික මංමාවත් පද්ධතියේ නඩත්තුව සහ සංවර්ධනය භාරව ක්‍රියාකරන ප්‍රධානතම රාජ්‍ය ආයතනය වන මාර්ග සංවර්ධන අධිකාරිය (RDA) තුළ මේ වන විට දැඩි අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වී තිබේ. ඊට හේතුවී ඇත්තේ, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක විසින් පත්කරන ලද වත්මන් RDA සභාපතිවරයාගේ අත්තනෝමතික සහ වගකීම් විරහිත ක්‍රියාකලාපය බව HariDeshaya.lk වෙත විශේෂ තොරතුරු වාර්තාකරු අනාවරණය කරයි.
ලංකාවේ සමස්ත ප්‍රාග්ධන වියදමෙන් 30%ක් වැනි දැවැන්ත මුදලක් හසුරුවන, රටේ ආර්ථිකයේ රුධිර නාල පද්ධතිය බඳු වූ RDA ආයතනයේ ඉංජිනේරුවරුන්ගේ වැටුප් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා සකස් කළ අතිශය වැදගත් අධ්යක්ෂ මණ්ඩල පත්‍රිකාවක් සභාපතිවරයා විසින් හිතාමතාම සඟවා ඇති බවට දැන් බරපතළ චෝදනා එල්ල වෙමින් පවතී.

භාණ්ඩාගාර ලේකම් එකඟ වූ පත්‍රිකාවට සභාපති ‘රතු එළි’ දමයි!
RDA ඉංජිනේරු සංගමය සහ මහා භාණ්ඩාගාර ලේකම්වරයා අතර පැවති දීර්ඝ සාකච්ඡාවලින් අනතුරුව, පවතින වැටුප් ගැටලුවට විසඳුම් සෙවීම සඳහා නව වැටුප් පරිමාණයක් සකස් කිරීමට දෙපාර්ශවයම එකඟතාවකට පැමිණ තිබුණි. ඒ අනුව, කැබිනට් අනුමැතිය ලබාගැනීම සඳහා ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අධ්යක්ෂ මණ්ඩල පත්‍රිකාව ද (Board Paper) සම්පූර්ණයෙන්ම සකසා අවසන් කර තිබිණි.
කෙසේ වෙතත්, පසුගිය 11 වන දා පැවති RDA අධ්යක්ෂ මණ්ඩල රැස්වීමට මෙම පත්‍රිකාව අනුමැතිය සඳහා ඉදිරිපත් නොකර, සභාපතිවරයා විසින් එය හිතාමතාම සඟවාගෙන ඇති බව වාර්තා වේ. මේ පිළිබඳව විමසීමට ඉංජිනේරු සංගමය දුරකථනයෙන් සභාපතිවරයා සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද, ඔහු දිගින් දිගටම වෘත්තීය සමිති මඟහරිමින් සිටින බව සනාථ වේ.
වසර 4කට ඉංජිනේරුවන් 200ක් අවුට්: මැයි 11 සිට යළිත් වර්ජනයක්!
පවතින අඩු වැටුප් ගැටලුව සහ බඳවා ගැනීමේ පටිපාටියේ ඇති අක්රමවත්භාවය හේතුවෙන් පසුගිය වසර හතරක කාලය තුළ පමණක් දක්ෂ ඉංජිනේරුවන් 200කට ආසන්න පිරිසක් RDA ආයතනය හැර ගොස් ඇත. පෙර පැවති 700ක ඉංජිනේරු බළකාය මේ වන විට 500ටත් වඩා අඩු මට්ටමකට වැටී තිබීම රටේ ඉදිරි සංවර්ධන ව්‍යාපෘතිවලට එල්ල වූ මාරාන්තික පහරකි.
පසුගියදා රටේ ඇතිවූ ද්විත්ව ආපදා තත්ත්වය හමුවේ මානුෂීය හේතූන් මත තම වෘත්තීය ක්‍රියාමාර්ග තාවකාලිකව අත්හිටුවීමට ඉංජිනේරුවන් කටයුතු කළද, බලධාරීන්ගේ නිද්‍රාශීලී ප්‍රතිපත්තිය හේතුවෙන් පසුගිය මැයි 11 වනදා සිට ඔවුන් යළිත් දැඩි වර්ජන ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වී ඇත.
වර්ජනයේ වත්මන් තත්ත්වය:
- RDA පනතින් පවරා නොමැති සියලුම බාහිර මාර්ග සංවර්ධන ක්‍රියාවලීන්ගෙන් 100%ක්ම ඉංජිනේරුවන් ඉවත් වී ඇත.
- සියලුම ප්‍රාදේශීය සහ දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම් මුළුමනින්ම වර්ජනය කර තිබේ.
පාර්ලිමේන්තු කමිටුවේදී සභාපති කොටු වෙයි; පිළිතුරු නැතිව නිරුත්තර වෙයි!
මේ අතර, දිනෙන් දින උග්‍ර වන මෙම අර්බුදය පිළිබඳව මෑතකදී පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවේදී (Sectoral Oversight Committee) දැඩි ලෙස ප්‍රශ්න කර ඇත. එහිදී කමිටු සාමාජිකයන් හමුවේ තම අසමත්භාවය සහ නොහැකියාව ප්‍රදර්ශනය කළ සභාපතිවරයාට, ගැටලුවට අදාළව කිසිදු පැහැදිලි පිළිතුරක් ලබාදීමට නොහැකිව නිරුත්තර වී තිබේ. එහිදී කාරක සභාවේ දැඩි දෝෂාරෝපණයට ලක්වීමට ද සභාපතිවරයාට සිදුවිය.
ඇමති බිමල් රත්නායක නිහඬ ඇයි?
නව රජයේ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය ගරු බිමල් රත්නායක මහතාගේ සෘජු පත්කිරීමක් වන මෙම සභාපතිවරයාගේ අත්තනෝමතික ක්‍රියාකලාපය නිසා සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයම ලැජ්ජාවට පත්වන තත්ත්වයක් උදාවී ඇත.
පද්ධතියක් ලෙස රට ඉදිරියට ගෙනයෑමට උත්සාහ කරන මොහොතක, තමන් යටතේ ඇති ප්‍රධානතම ආයතනයක ප්‍රධානියා මෙලෙස වගකීම් විරහිතව කටයුතු කිරීම පිළිබඳව අමාත්‍ය බිමල් රත්නායක මහතා වහාම මැදිහත් වී රටට පිළිතුරක් දිය යුතු බව වෘත්තීයවේදීන් මෙන්ම සිවිල් සංවිධාන ද අවධාරණය කර සිටී.
රටේ මාර්ග පද්ධතියත්, ඉංජිනේරු ක්ෂේත්‍රයත් තවදුරටත් අගාධයට ඇද දමන මෙම “ෆයිල් හැංගීමේ සෙල්ලම” පිළිබඳව HariDeshaya.lk ඉදිරියටත් දැඩි අවධානයෙන් පසුවේ.



