Latest Posts

චෝදනා 4කට ලක්ෂ 4ක දඩයක්! නීති කඩකිරීමේ චෝදනාවලට බණ්ඩාරවෙල ‘Barista’ වරද පිළිගනී

පාරිභෝගික නීති උල්ලංඝනය කරමින් කටයුතු කළ බණ්ඩාරවෙල ‘Barista Coffee Lanka Pvt Ltd (Barista Express)’ ආයතනයට බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් 400,000 ක දඩයක් නියම කර තිබේ. ඒ පසුගිය දා (10) අදාළ නඩුව අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීය.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ බදුල්ල දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරීන් විසින් සිදු කරන ලද හදිසි වැටලීමකදී මෙම නීති විරෝධී ක්‍රියාවන් අනාවරණය කරගෙන ඇත.

‘Barista’ ආයතනයට චෝදනා 4ක්

  1. මිල, බර, නිෂ්පාදිත සහ කල් ඉකුත්වීමේ දිනයන් ඇතුළත් කිසිදු ලේබලයක් නොමැතිව කේක් අලෙවි කිරීම
  2. කිසිදු ලේබල් තොරතුරක් නොමැතිව බිස්කට් ඇසුරුම් විකිණීමට ප්‍රදර්ශනය කර තිබීම
  3. පාරිභෝගික නීති රෙගුලාසි උල්ලංඝනය කරමින් කල් ඉකුත් වූ බිස්කට් ඇසුරුම් විකිණීමට තබා තිබීම,
  4. පාරිභෝගිකයා රවටන අයුරින් වෙනත් ආහාර පාන සැකසීම සඳහා කල් ඉකුත් වූ ආහාර ද්‍රව්‍ය සීතකරණ සහ ගබඩා තුළ රඳවාගෙන සිටීම

යන බරපතළ වැරදි 4ක් යටතේ අධිකරණය හමුවේ අදාළ ආයතනයට එරෙහිව නඩු පවරා තිබේ.

අධිකරණයේදී විත්තිකාර සමාගම විසින් තමන්ට එල්ල වූ මෙම සියලුම චෝදනාවලට වරද පිළිගැනීම හේතුවෙන් මහේස්ත්‍රාත්වරයා විසින් මෙම දඩ මුදල නියම කරන ලදී.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ජනතාවට අවධාරණය කරන්නේ කොතරම් ප්‍රසිද්ධ වෙළඳ නාමයක් යටතේ පවත්වාගෙන යන ස්ථානයකින් වුවද ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමේදී එහි ලේබලය, මිල සහ කල් ඉකුත්වීමේ දිනය පිළිබඳව දැඩි ලෙස සැලකිලිමත් වන ලෙසයි.

නල්ලූර් ශුද්ධ භූමිය අසල ‘Barista’ නාම පුවරුවත් ඉවත් කෙරේ

මේ අතර, යාපනය නල්ලුර් කන්දසාමි කෝවිලේ ශුද්ධ භූමියට ඇතුළත් කලාපයක, නිසි නගර සභා බලපත්‍රයක් නොමැතිව අලුතින් ස්ථාපිත කරන ලද ‘බැරිස්ටා’ (Barista) අවන්හල් ශාඛාවේ නාම පුවරුව යාපනය මහ නගර සභාව විසින් මිට දින කිහිපයකට පෙර ගලවා ඉවත් කර තිබේ. කෝවිලට මීටර් 400ක් පමණ ආසන්නයෙන් මෙම නිර්මාංශ නොවන අවන්හල පිහිටුවීම ආගමික සහජීවනයට බාධාවක් බව පවසමින්, නල්ලුර් ශිව ගුරු ආශ්‍රමයේ භක්තිකයන් විසින් එල්ල කරන ලද දැඩි ජනතා විරෝධය, පවත්වන ලද විරෝධතා පෙළපාලි සහ නගර සභා කොමසාරිස්වරයා වෙත භාරදුන් මහජන පෙත්සම් සැලකිල්ලට ගනිමින් බලධාරීන් විසින් මෙම පියවර ගෙන තිබේ.

Latest Posts

spot_imgspot_img