Latest Posts

උපවාසයේ නිරතව සිටි හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ වහාම කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරේ!

බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාළිකාව සකස් කළ වාර්තාමය වැඩසටහනකට සහාබාගී වෙමින් හන්සීර් අසාද් මවුලානා විසින් ලබාදෙන ලද සම්මුඛ සාකච්ඡාවක් මුල් කරගමින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ දින 100කට අධික කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) භාරයේ රඳවාගෙන සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ පවත්නා අසාධ්‍ය සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

ඔහු විසින් දියත් කළ මාරාන්තික ආහාර වර්ජනයක් සහ ඔහුගේ නීතිඥ මඬුල්ල විසින් CID අධ්‍යක්ෂවරයා වෙත කරන ලද දැඩි නීතිමය බලපෑමකින් අනතුරුව මෙම පියවර ගෙන ඇති බව වාර්තා වේ.

නීතිඥයන්ගෙන් CID අධ්‍යක්ෂ ශානි අබේසේකරට නිල නිවේදනයක්

සුරේෂ් සලේගේ ශාරීරික හා මානසික සෞඛ්‍ය තත්ත්වය අතිශය බිඳවැටීමකට ලක්ව ඇති බැවින් ඔහුව වහාම රෝහල්ගත කරන ලෙස දන්වමින් ඔහුගේ නීතිඥ අනුශාසක, ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ අසිත් සිරිවර්ධන මහතා විසින් CID අධ්‍යක්ෂ ශානි අබේසේකර වෙත නිල නීතිමය ලිපියක් යොමු කර තිබේ.

එම ලිපිය මඟින් පෙන්වා දී ඇත්තේ දීර්ඝකාලීන රැඳවුම් කොන්දේසි හමුවේ සලේ ආහාර, ජලය, සේලයින් සහ වෛද්‍ය ප්‍රතිකාර ප්‍රතික්ෂේප කරමින් සිටින බවයි. නිලධාරීන් දෙදෙනෙකුගේ ශාරීරික සහය නොමැතිව ඇවිදීමට පවා නොහැකි තත්ත්වයක පසුවන තම සේවාදායකයාගේ ජීවිතයට පැහැදිලි ආසන්න මරණීය අවදානමක් පවතින බවත්, ඔහු සිය අවසාන කැමැත්ත ප්‍රකාශ කිරීමට සහ ඇස් දන් දීමේ කටයුතු සූදානම් කිරීමට ඉල්ලා ඇති බවත් නීතිඥවරයා අවධාරණය කරයි.

“රාජ්‍ය භාරයේ සිටින සෑම පුද්ගලයෙකු කෙරෙහිම පැවරුණු සත්කාරක වගකීමක් (Non-delegable duty of care) රාජ්‍යය සතු වේ. මෙම පැහැදිලි අනතුරු ඇඟවීම නොතකා ක්‍රියා කිරීමට අසමත් වුවහොත් සිදුවන ඕනෑම අනතුරක පෞද්ගලික හා ආයතනික වගකීම (Liability) බලධාරීන් විසින් දැරිය යුතුය.”

– නීතිඥ අසිත් සිරිවර්ධන –

නීතිඥ මඬුල්ල විසින් CID අධ්‍යක්ෂවරයාගෙන් ප්‍රධාන ඉල්ලීම් 4ක් ඉල්ලා තිබේ.

  • සලේ වහාම පහසුකම් සහිත රජයේ හෝ පෞද්ගලික රෝහලක් වෙත මාරු කර යැවීම.
  • මනෝ වෛද්‍යවරුන් ඇතුළු ස්වාධීන වෛද්‍ය විශේෂඥයන් ලවා වහාම පරීක්ෂාවට ලක් කිරීම.
  • නීතිමය නියෝජිතයන්ට සහ පවුලේ අයට ඔහු වෙත පැමිණීමට සාධාරණ ප්‍රවේශයක් ලබා දීම.
  • ඔහුගේ වෛද්‍ය තත්ත්වය සහ ආරක්ෂාව වෙනුවෙන් ගෙන ඇති පියවර පිළිබඳ ලිඛිත වාර්තාවක් ප්‍රමාදයකින් තොරව ලබා දීම.

PTA අහෝසි කරනු! – බුද්ධි ප්‍රධානියාගේ ‘මාරාන්තික උපවාසය’

දිවයින තුළ මෙන්ම ජාත්‍යන්තරව ද දැඩි දෝෂදර්ශනයට ලක්ව ඇති ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කරන ලෙස බල කරමින් සුරේෂ් සලේ පසුගිය සිකුරාදා (05) සිට මෙම මාරාන්තික උපවාසය ආරම්භ කර ඇති බව ඔහුගේ පුත් කුෂාල් සලේ මාධ්‍ය වෙත අනාවරණය කළේය.

කාලයක් තිස්සේ සියගණනක් ශ්‍රී ලාංකිකයන් අත්අඩංගුවට ගෙන සිරගත කිරීමට යොදාගත් මෙම පනත, මේ වන විට හිටපු බුද්ධි ප්‍රධානියාට එරෙහිවම ක්‍රියාත්මක වෙමින් පැවතීම දෛවෝපගත කරුණකි. CIDය තුළ තමන්ට “බල්ලෙකුට වගේ” ක්‍රූර සහ අමානුෂික අන්දමට සලකන බව පෙන්වීමට ද සලේ මෙම උපවාසය ආයුධයක් කරගෙන ඇති බව පවුලේ අය පවසති.

රෝහල්ගත කිරීමට කඩිනමින් පියවර නොගතහොත්, මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට පවා පසුබට නොවන බව නීතිඥ වෘත්තිකයෝ අනතුරු අඟවති.

“මගේ සැමියා බිල්ලක් කරගෙන” – පවුලේ සාමාජිකයන් CIDය ඉදිරිපිට හඬා වැටෙයි

ඊයේ (07) දින CID පරිශ්‍රයේදී සලේ හමුවීමෙන් අනතුරුව මාධ්‍ය ඇමතූ ඔහුගේ බිරිඳ මනෝරි බන්දුසේන දැඩි කම්පනයකින් යුතුව අදහස් දැක්වූවාය.

බිරිඳ – මනෝරි බන්දුසේන: “මගේ හස්බන්ඩ් නිර්දෝෂීයි කියලා ඔක්කොමලා දන්නවා. එයාව මේ වෙලාවේ බිල්ලක් කරගෙන ඉන්නවා. අවුරුදු 38ක් රට වෙනුවෙන් ජීවිතය කැප කරපු මනුස්සයෙක්ට මෙහෙම කරන එක හරිම අසාධාරණයි. JMO වාර්තාවෙත් තියෙනවා ඉතාම අමානුෂික විදිහට සලකලා තියෙනවා කියලා.”

සොහොයුරු – විශ්‍රාමික මේජර් සෙල්වින් සාලේ: “සැකකරුවෙක්ව වැරදිකරුවෙක් විදිහට සලකන්න එපා. පවුලේ අය දෙන කෑම ගැන සමාජ මාධ්‍යවල යන කතා පට්ට අසත්‍යයි. ඔහුව වහාම රෝහල් ගත කරන්න.”

පුත් – කුෂාල් සලේ:FBI වාර්තා සහ ජනාධිපති කොමිෂන් සභා වාර්තා මඟින් තාත්තගේ නිර්දෝෂීභාවය තහවුරු වී තිබියදී, දින 100කට අධික කාලයක් මෙලෙස රඳවා තබාගැනීම ඛේදනීයයි.”

විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මේ වන විට කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන අතර, මෙම සිදුවීමත් සමඟ දේශපාලන හා ආරක්ෂක ක්ෂේත්‍රය තුළ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් නිර්මාණය වී තිබේ. ජීවිතයට ඇති විය හැකි අවදානම කලින් දැන සිටියදීත් බලධාරීන් ක්‍රියා කළ ආකාරය පිළිබඳව ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම අධිකරණ, අපරාධ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාපිත හෝ ජාත්‍යන්තර ක්‍රියාමාර්ගවලදී සාක්ෂි වශයෙන් මෙම කරුණු උපයෝගී කරගන්නා බව නීතිඥ පාර්ශවය අවධාරණය කර සිටියි.

Latest Posts

spot_imgspot_img