Latest Posts

සකුරා දේශයේ සැඟවුණු අඳුර: ‘ප්‍රාණ ඇපකරුවන්ගේ අධිකරණය’ සහ 22 හැවිරිදි තරුණයාගේ ඛේදවාචකය

ජපානය යනු ලෝකයට තාක්ෂණයේ, විනයෙහි සහ මානව ගෞරවයේ පරමාදර්ශයයි. එහෙත් එම දිදුලන සළුපිළිවලට මුවා වී ජපන් ආරක්ෂක අංශ ක්‍රියාත්මක කරන කෲර සහ අමානුෂීය නීතිමය ක්‍රමවේදයක නවතම ගොදුර බවට පත්ව ඇත්තේ 22 හැවිරිදි ශ්‍රී ලාංකික සිසුවකු වන විචක්ෂණයි.

හම්බන්තොට, බෙලිඅත්ත මහහීල්ල ප්‍රදේශයෙන් 2023 වසරේදී කාර්මික පාඨමාලාවක් සඳහා විශාල බලාපොරොත්තු ඇතිව ජපානයට පැමිණ, ඉබාරකි පළාතේ සුචියුරා පොලිස් සිරකූඩුවක් තුළ මාස තුනක් තිස්සේ ලියැවුණු මෙම සිසුවාගේ අමිහිරි කතාව, හුදෙක් තනි පුද්ගල මරණයක් නොව ජපානයේ සමස්ත විදේශීය ශ්‍රමික හා ශිෂ්‍ය ප්‍රජාව මුහුණ දෙන දැවැන්ත මානව හිමිකම් අර්බුදයක පැහැදිලි කැඩපතකි.

සාප්පු සවාරියක් සිරකූඩුවකින් කෙළවර වූ හැටි

2026 පෙබරවාරි 22 වැනිදා විචක්ෂණ සිය මිතුරන් කිහිපදෙනෙකු සමඟ ඉබාරකි පළාතේ සුචියුරා (Tsuchiura) නගරයට පැමිණෙන්නේ අත්‍යවශ්‍ය බඩු භාණ්ඩ කිහිපයක් මිලදී ගැනීමේ අරමුණිනි. එහිදී එක්තරා වෙළෙඳසලක හිමිකරුවෙකු විසින් විචක්ෂණ සහ තවත් තරුණියකට බඩු සොරාගත් බවට චෝදනා කරමින් පොලිසියට පැමිණිලි කරනු ලැබේ. එම සැකය මත සුචියුරා පොලිසිය විසින් මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගත් අතර, ඒ පිළිබඳව ජපානයේම පදිංචිව සිටින විචක්ෂණගේ නැගණිය වන සත්‍යානි ශාක්‍යා වෙතද දැනුම් දීමට පොලිසිය පියවර ගත්තේය.

පුවත ඇසූ සැණින් ක්‍රියාත්මක වූ නැගණිය පොලිසිය වෙත ගොස් සිය සොයුරාට පිහිට වන්නට පියවර ගත්තාය. ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මැදිහත් වී ලබාදුන් නීතිඥවරයාගේ සහාය ඇතිව, අධිකරණ ක්‍රියාමාර්ගවලට සාර්ථකව මුහුණ දීමට ඇය සියල්ල සැලසුම් කළාය. සත්‍යානි පවසන පරිදි මුල් සති දෙක තුළ කිසිදු ගැටලුවක් මතු නොවීය.

සාක්ෂි නැති නඩුවක් සහ ජපානයේ කුප්‍රකට ‘Hostage Justice’ ක්‍රමය

පොලිසිය විසින් විචක්ෂණ අධිකරණයට ඉදිරිපත් කළද, පැමිණිලි පාර්ශ්වය ගොනු කළ සොරකම් කිරීමේ චෝදනාව ඔප්පු කිරීමට තරම් කිසිදු ප්‍රමාණවත් සාක්ෂියක් අධිකරණය හමුවේ තිබුණේ නැත. මේ හේතුව නිසාම නඩුව දිනෙන් දින කල් ගියේය. චෝදනා තහවුරු වී නොමැති, උපකල්පිත සැකකරුවෙකු මාස තුනක් වැනි දීර්ඝ කාලයක් පොලිස් කූඩුවක රඳවා තැබීම පිටුපස ඇත්තේ ජාත්‍යන්තරයේ දැඩි දෝෂදර්ශනයට ලක්ව ඇති ජපානයේ ‘ප්‍රාණ ඇපකරුවන් රඳවා ගැනීමේ අධිකරණ ක්‍රමය’ (Hostage Justice System) යි.

මෙම ක්‍රමවේදයට අනුව, සැකකරුවෙකු තමන් කළ වරද පිළිගන්නා තෙක් (පාපොච්චාරණය කරන තෙක්) ඔවුන්ට ඇප ලබාදීම සිතාමතාම ප්‍රතික්ෂේප කරනු ලැබේ. දීර්ඝ කාලයක් රඳවා තබා ගනිමින්, නීතිඥයන් හමුවීමට ඇති ඉඩකඩ අවම කර, මානසිකව ඇදවැටීමට සැලැස්වීම මෙහි උපායමාර්ගය වන අතර මෙම කෲර ක්‍රමවේදය නිසාම, ජපානයේ අධිකරණයකට ඉදිරිපත් කරන සැකකරුවන්ගෙන් 99% කටම වරදකරුවන් ලෙස දඬුවම් නියම වෙයි. චෝදනා ඔප්පු නොවුණු විචක්ෂණ ද සිරවී සිටියේ මෙම අනුකම්ප විරහිත පද්ධතිය තුළය.

තමන් බලන්නට පැමිණි නැගණියගේ දෑත් අල්ලාගෙන විචක්ෂණ දිගින් දිගටම හඬා වැටුණේ මෙම අනුකම්ප විරහිත පද්ධතියට මැදිවය.

‘‘අනේ නංගි ලෝයර්ට කියලා මේක ඉවරයක් කරන්න. මගෙ අතේ වරදක් නෑ’’

හෘද සාක්ෂිය කම්පා කළ අවසන් වදන් “මුන් ඒවා ගණන් ගන්නෙ නෑ

දින සති බවටද, සති මාස බවටද පෙරලෙද්දීත් චෝදනා රහිත විචක්ෂණට ඇප හිමි නොවීය. සති ගණනාවක් තිස්සේ පොලිස් අත්අඩංගුවේ දැඩි මානසික පීඩනයෙන් පසුවූ මේ තරුණයාගේ ශරීර සෞඛ්‍යය දිනෙන් දින දරුණු ලෙස පිරිහී ගියේය.

‘‘මගෙ ඔළුව රිදෙනවා, පපුව රිදෙනවා.’’ යැයි ඔහු කීපවිටක් සිය නැගණියට පවසා තිබේ. එහිදී බියට පත් නැගණිය, ‘‘අයියේ…. අයියා පොලිසියේ අයට කියන්න අසනීපයි කියලා.’’ යනුවෙන් සිය සොයුරාට උපදෙස් දීමට උත්සාහ කළත්, විචක්ෂණ දුන් පිළිතුරෙන් ජපන් ආරක්ෂක අංශවල ම්ලේච්ඡත්වය ලොවටම හෙළි වේ.

“මුන් ඒවා ගණන් ගන්නෙ නෑ නංගී… මම කී පාරක් නම් කිව්වද…”

දිනය හරියටම මැයි 19 වැනිදාය. පෙබරවාරි 22 වැනිදා සැකපිට අත්අඩංගුවට ගත් විචක්ෂණ, මාස තුනකට අධික කාලයක් තිස්සේ වෛද්‍ය ප්‍රතිකාර නොමැතිව පොලිස් සිරකුටිය තුළම අභිරහස් ලෙස මියගිය බව සත්‍යානි ශාක්‍යාට පොලිසිය විසින් දැනුම් දෙන ලදී. මෙය ස්වභාවික මරණයක් නොව, මූලික මිනිස් අයිතිවාසිකම් සහ වෛද්‍ය ප්‍රතිකාර හිතාමතාම පැහැර හැරීම නිසා සිදු වූ ‘රාජ්‍ය අනුග්‍රහය ලත් වක්‍ර ඝාතනයක්’ බව පැහැදිලි වන්නේ එබැවිනි.

නිල නිහඬතාවය සහ සාක්ෂි වසන් කිරීමේ උත්සාහය

විචක්ෂණගේ මරණයෙන් පසු ජපන් පොලිසියේ හැසිරීම අතිශය සැකකටයුතුය. සිය සොයුරාගේ අභිරහස් මරණය සම්බන්ධයෙන් සාධාරණයක් ඉල්ලා සහෝදරිය වන සත්‍යානි ශාක්‍යා සුචියුරා පොලිසිය වෙත කළ පැමිණිල්ල භාරගැනීම පවා ඔවුන් විසින් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.

එමෙන්ම, මියගොස් සති කිහිපයක් ගතවී තිබුණද, මළසිරුර මෙතෙක් ශ්‍රී ලංකාවට එවීමට පියවර ගෙන නොමැති අතර එය තවමත් ජපානයේ මෝචරියක තැන්පත් කර තිබේ. මරණයට සැබෑ හේතුව වසන් කිරීමට හෝ සාක්ෂි විනාශ කිරීමට බලධාරීන් උත්සාහ කරන්නේද යන්න මින් බරපතළ සැකයක් මතු වේ. ජපන් මාධ්‍ය ද තමන්ගේම රටේ පද්ධතියේ පවතින නග්න අමානුෂීයත්වය විවේචනය කරනු වෙනුවට, මෙම ඛේදවාචකය පිළිබඳව පවත්වාගෙන යන්නේ අද්භූත නිහඬතාවයකි.

විෂ්මාගේ සිට විචක්ෂණ දක්වා: වෙනස් නොවූ ලාංකික ලේ වැගිරීම්

මෙය ජපානය තුළ සිදු වූ පළමු සහ එකම සිදුවීම නොවේ. රැඳවුම් මධ්‍යස්ථාන තුළ ලාංකිකයන් බිලිගැනීමේ කළු ඉතිහාසයක් ජපානය සතුය.

කාල වකවානුවගොදුර වූ පුරවැසියාරැඳවුම් ස්ථානයනීතිමය පසුබිම සහ පද්ධතියේ හැසිරීම
2021 වසරේදීවිෂ්මා සඳමාලි මෙනෙවියනගෝයා රැඳවුම් මධ්‍යස්ථානයවීසා නොමැති වීමේ චෝදනාව මත රඳවාගෙන, මාස ගණනාවක් වෛද්‍ය ප්‍රතිකාර ප්‍රතික්ෂේප කරමින් මියයාමට හැරීම.
2026 වසරේදී (වත්මන් ඛේදවාචකය)විචක්ෂණ ශිෂ්‍යයා (22 හැවිරිදි)සුචියුරා පොලිස් ස්ථානයසොරකම් චෝදනා ඔප්පු කිරීමට සාක්ෂි නැතත් මාස 3ක් රඳවා තැබීම, රෝගී තත්ත්වය නොසලකා හැරීම සහ මරණයෙන් පසු පැමිණිලි භාර නොගැනීම.

විෂ්මාගේ මරණයේදී ජාත්‍යන්තරය හමුවේ ජපන් රජය කණගාටුව ප්‍රකාශ කළද, ප්‍රායෝගිකව ඔවුන්ගේ පොලිස් රැඳවුම් ක්‍රමවේදයන්හි කිසිදු මානුෂීය වෙනසක් සිදු කර නොමැති බව විචක්ෂණගේ මරණයෙන් යළිත් සනාථ වේ.

කොළඹ නිද්‍රාව සහ ටෝකියෝවේ රාජ්‍යතාන්ත්‍රික අසමත්කම

මෙම සමස්ත ක්‍රියාවලිය තුළ ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශයේ සහ ජපානයේ ලංකා තානාපති කාර්යාලයේ කාර්යභාරය දැඩි දෝෂදර්ශනයට ලක්විය යුතුය. තමන්ගේ රටේ 22 හැවිරිදි තරුණයකු චෝදනාවලින් තොරව මාස තුනක් පොලිස් කූඩුවක සිරකරගෙන සිටින විට, ඒ පිළිබඳව සොයා බැලීමට හෝ රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් ප්‍රශ්න කිරීමට තානාපති කාර්යාලය අපොහොසත් වූයේ මන්ද?

ශ්‍රී ලංකා රජය වහාම ක්‍රියාත්මක වී, ජපානයෙන් කරුණු විමසමින් ස්වාධීන පරීක්ෂණයක් සඳහා බලපෑම් කළ යුතුය. තමන්ගේ පුරවැසියන් වෙනුවෙන් පෙනී සිටීමට අපොහොසත් වන තානාපති කාර්යාලවලින් ජනතාවට ඇති පලක් නැත.

ශිෂ්ටත්වයේ සැබෑ මිනුම්දණ්ඩ

රටක ශිෂ්ට සම්පන්න බව මැනිය යුත්තේ එහි ඇති අහස්කුස සිඹින ගොඩනැඟිලි, සුපිරි දුම්රිය සේවා හෝ ආර්ථික දර්ශකවලින් නොවේ; එම රටේ වෙසෙන, වඩාත්ම අසරණ සහ අවදානමට ලක්වූ මිනිසාට (ඔහු විදේශිකයෙකු වුවද) එම පද්ධතිය සලකන ආකාරයෙනි.

විචක්ෂණගේ අකල් මරණය ලෝකයට කියා දෙන්නේ, දියුණු යැයි සම්මත ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන් සතු මානව හිමිකම් වෙස්මුහුණේ ඇති නිරුවතයි. මේ ම්ලේච්ඡත්වයට එරෙහිව ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන සහ ශ්‍රී ලාංකේය සමාජය එක්ව හඬ නොනැඟුවහොත්, සකුරා සිහිනය සොයා යන හෙට දවසේ තවත් අහිංසක ලාංකික දරුවකු ජපන් සිරකුටියක බිලිවීම වැළැක්විය නොහැකි වනු ඇත.

Latest Posts

spot_imgspot_img