Latest Posts

මිග් යානා නඩුව දේශපාලන පලිගැනීමක් ද? රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයාංග වීරතුංගගෙන් විශේෂ නිවේදනයක්!

මිග් යානා බී වාර්තා නඩුවට මේ වන විට දින 4,067ක් ගතවී ඇති බවත් සැබෑ වරදකරුවන් නිදහස් කර ඇති පසුබිමක මෙය හුදු දේශපාලන අවශ්‍යතා මත ක්‍රියාත්මක වන පලිගැනීමක් බවත් කියමින් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයාංග වීරතුංග විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

2015 වසරේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) විසින් ගොනු කළ මිග් යානා ගනුදෙනුවට අදාළ නඩුව, රාජ්‍ය බලය අවභාවිත කරමින් විරුද්ධ පාර්ශ්වයන්ගෙන් පලිගැනීම සඳහා දියත් කළ ක්‍රියාවලියක් බව උදයාංග වීරතුංග ප්‍රකාශ කරයි.

මිග් යානා බී වාර්තා නඩුවට දින 4,067ක් පිරීම නිමිත්තෙන් විශේෂ සටහනක් නිකුත් කරමින් ඔහු මේ බව අවධාරණය කර ඇත.

වීරතුංග මහතා සිය නිවේදනය හරහා ශ්‍රී ලංකාවේ නීති පද්ධතියේ සහ බලධාරීන්ගේ ක්‍රියාකලාපය පිළිබඳව දැඩි විවේචනයක් එල්ල කර තිබේ.

“මෙම ගනුදෙනුවට සෘජුවම වගකිව යුතු ගුවන් හමුදා නිලධාරීන් සැකකරුවන් ලෙස නම් නොකිරීම එවකට ගත් දේශපාලන තීන්දුවකි. එහි වගකීම එවකට සිටි නීතිපතිවරයා සහ පොලිස්පතිවරයා ඇතුළු බලධාරීන් භාරගත යුතුය”
වීරතුන්ග මහතා සිය සටහන මගින් අවධාරණය කරයි.

ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ වසර 11කට වැඩි කාලයක් ගතවී තිබියදීත් නඩුවට අදාළ උපදෙස් අධිකරණයට ලබා සහ වසර 06ක් පුරාවට නීතිපතිවරයා අධිකරණයට නොපැමිණීම.

නඩුවේ ප්‍රධාන නඩු භාණ්ඩයක් වූ මිග් යානා ගිවිසුමේ මුල් පිටපත අස්ථානගත වීම සහ ඊට වගකිව යුතු සැකකරු නීතිපති විසින්ම නඩුවෙන් නිදහස් කිරීම.

ගතවූ දින 4,067 පුරාවට තම බැංකු ගිණුම් සියල්ල අත්හිටුවා ඇති බවත්, එමගින් තමන් සමාජ, ආර්ථික සහ මානසික වශයෙන් දැඩි පීඩාවකට පත්ව ඇති බවත් හිටපු තානාපතිවරයා ප්‍රකාශ කරයි.

ද්වේශයෙන් සහ කුහකකමින් ක්‍රියාත්මක වන මෙම දේශපාලන පලිගැනීම් නුදුරේදීම අවසන් විය යුතු බව පවසන ඔහු, කපිල චන්ද්‍රසේන මහතාට අත්වූ ඉරණම තවත් කිසිවෙකුට අත් නොවිය යුතු බව ද පෙන්වා දෙයි. තමන් ඇතුළු අනෙකුත් රාජ්‍ය නිලධාරීන්ට නීත්‍යානුකූල හා සාධාරණ විසඳුමක් ලැබෙන දිනයක් ඉදිරියේදී උදාවනු ඇතැයි යන දැඩි විශ්වාසය උදයාංග වීරතුංග සිය නිවේදනය අවසානයේ ප්‍රකාශ කර සිටී.

Latest Posts

spot_imgspot_img